වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සුසිල් නැති ලෝකය තවම හිස්

සුසිල් නැති ලෝකය තවම හිස්

භද්‍ර නන්දනි

වේදිකාව, ටෙලි නාට්‍ය එක් යුගයක අපේ ජීවිත වෙලාගෙන තිබුණි. සුසිල්ගේ වියෝවත් එක්ක මේ හැම දෙයක්ම ඈත් වූණේ ඉබේටම. මගේ පවුලේ අයට වගේම එයාගේ පවුලේ අයගේ ශක්තිය වුනෙත් සුසිල්. සුසිල් නැති ලෝකේ අපිට හිස්. ඒත් හිත හදාගෙන දුක තුනී කර ගත්තා.

ඒකයි මම ආයෙත් රංගනයට ආවේ. වේදිකාව, ටෙලි නාට්‍යය මට නුපුරුදු තැනක් නොවෙයි. සුසිල් නැති වෙලා මේ වසරේ පෙබරවාරි 23 වැනිදාට අවුරුදු අටක්.

මේ අවුරුදු අටක කාලය ගෙවිල ගියේ හරියට හීනයක් වගේ. මාවත් එකම දුව සචින්දනී උත්තරාත් එයා මේ ලෝකේ තනි කරලා ජීවිතයෙන් සමුගෙන ගියත් මගේ ආදරණීය සුසිල් අදත් මාත් එක්ක ජිවත් වෙනවා. සුසිල් හින්ද මම මේ කලා ක්ෂේත්‍රයේ වැජඹුණා. කවුරුත් මාව හඳුනා ගන්නේ, මාව අන් අයට කවුද කියලා හඳුන්වලා දෙන්නේ සුසිල් ගුණරත්නගේ බිරිය කියලා.

සුසිල්ට මට ජීවිත දෙකක් තිබුණේ නෑ. සුසිලුත් මමත් එක් කෙනෙක්. මට ඔහු ආදරණීය සැමියෙක්. උත්තරා දුවගේ පණත් හරි සුසිල්ගේ පණත් හරි. එයාගේ හදිසි වියෝව අපි දෙන්නව පුදුම විධියට කම්පනයට පත් කළා. දුවගේ හිත හදන එක ලේසි වුණේ නැහැ. එයා තමයි මගෙත් දුවගෙත් හිටිය එකම ආරක්ෂකයා. අපිට කිසිම අයුරකින් දුකක් දුන්නේ නැහැ.

සුසිල් නැති වෙන කොටත් අපිට කියලා ස්ථිර නිවහනක් තිබුණේ නැහැ. කුලියට තමයි අපි ජීවත් වුණේ. සුසිල්ට අවශ්‍ය වෙලා තිබුණා අපිටම කියලා ගෙදරක් හදා ගන්න. එයාගේ පවුලේ යුතුකම් සියල්ල ඉෂ්ඨ කරලා ඒවායින් නිදහස් වෙලා අපේම කියලා ගෙයක් හදා ගන්න තමයි සුසිල් හීන මැව්වේ.

හදිස්සියේම අපි කවුරුවත් නොසිතූ වෙලාවක එයා අපිව දාලා ගියා. මමත් දුවත් මේ ලෝකේ කර කියා ගන්න දෙයක් නැතිව තනි වුණා. සුසිල් නැති වෙන කොට එයා වැඩ කරමින් හිටියේ ලේක්හවුස් ආයතනයේ. 80 දශකයේ පුවත්පත් කලාවට එක් වන සුසිල් 83 වසරේදී ස්ථිර මාධ්‍යවේදියෙක් ලෙස පත්වීම් ලබනවා.

සරසවිය පත්තරයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන සුසිල් එහි නියෝජ්‍ය කර්තෘවරයා. ප්‍රධාන කර්තෘවරයා මෙන්ම උපදේශක කර්තෘවරයා දක්වා දීර්ඝ ගමනක් ආවා. එයා නැති වෙන කොටත් සරසවිය පත්තරයේ උපදේශක කර්තෘවරයා.

සුසිල්ගේ හදිසි වියෝවත් සමඟ අපිට වෙච්ච අසරණකම නිසාම මම ආයෙත් තීරණය කළා රඟපාන්න යන්න. සුසිල්ගේ වියෝවත් සමඟ මම නතර කරලා තිබුණ මගේ රංගන ජීවිතය මම ආයෙත් පටන් ගත්තේ සරා ටෙලි නාට්‍යයෙන්.

බර්ට්‍රම් නිහාල්, අජිත් ලොකුගේ. ජී. නන්දසේන, ඉරේෂ් ලොකු බණ්ඩාර වගේ ගොඩක් කට්ටිය මට උදවු කළා ඒ අයගේ නිර්මාණ සඳහා මාව සම්බන්ධ කර ගනිමින්. කොච්චර මූල්‍ය අපහසුතා තිබුණත් මම නාට්‍ය ගොඩක් භාර ගන්නේ නැහැ. ගෘහණියක් ලෙස මගේ කටයුතු සිද්ධ කර ගන්නා අතරේ තෝරා බේරා ගත් නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. මම රඟපෑ දේවි සුගලා, රිදී පහන්, පිණිමුතු වැස්ස, ළෙන්ගතු අසපුව ආදී ටෙලි නාට්‍ය කීපයක්ම ඉදිරියේදී විකාශය වෙන්නත් තියෙනවා.

නැවතත් මම කලාවට එක්විම තුළ මට දැනෙනවා සුසිල් මාව දාලා ගිිහින් නැහැ කියලා. සුසිල් මිය ගිහින් අවුරුදු අටක් වුණත් ඔහු මගේ ළඟ තවම ඉන්නවා කියලා මට අදටත් දැනෙනවා. එයා නැති වුණ අවුරුද්දේ ඉඳලා එයා වෙනුවෙන් අපි දානමාන පිංකම් සිද්ධ කළා.

ගිය අවුරුද්දේ මහරගම පිළිකා රෝහලට මමත් දුවත් සුසිල් සිහිපත් කරලා දානයක් පිළිගැන්නුවා. මේ ගමන සුසිල්ගේ අට වන ගුණ සැමරුම නිමිත්තෙන් මේ මාසේ 23 වැනිදාට ගෙදරට සංඝයා වහන්සේලා වඩමවා මමත් දුවත් අපිට පුළුවන් හැටියෙන් සාංඝීක දානයක් පිරිනමනවා. මමත් දුවත් මේ ආකාරයට එදාට පිංකමක් සිද්ධ කළත් එදාට මගේ නෑදෑයොත්, සුසිල්ගේ නෑදෑයොත්, සහෝදර සහෝදරියොත් සුසිල් වෙනුවෙන් හැම වර්ෂයකම දානමාන පිංකම් කටයුතු සිද්ධ කරනවා.

සුසිල් නැති වුණාට පස්සේ ඉඩමක් ලබා ගන්න මම වින්ඳ දුක් අපමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා ඉන්න කාලේ එතුමාව ජනාධිපති කරන්න සුසිල් දිවි හිමියෙන් එතුමාට වැඩ කළා.

කලාකරුවන් සමඟ මුලිකත්වය ගෙන රට පුරා එතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. ඒත් සුසිල් එහෙම කළා කියලා ජීවත් වෙලා ඉන්න කාලේ ආණ්ඩුවකින් ලබා ගත්ත දෙයක් නැහැ. සුසිල් නැති වෙන කොට වුණත් අපි හිටියේ කුලී ගේක. එයා නැති වුණාට පස්සේ අපේ කලාකරුවන් ජනාධිපතිතුමාට කිව්වා අඩුම තරමින් සුසිල්ට ඉඩමක් හරි ලබා දෙන්න කියලා.

සමහර කලාකාරයෝ ඒකට විරුද්ධ වුණා. ජනාධිපතිතුමන් වටා සිටි සමහර නිලධාරීන් පවා එතුමාගේ උපදෙස් පිළිනොපැද ඒ නියෝගය පවා වලකාලමින් අපිට දැඩි සේ පීඩාවට පත් කළා. එවක ටවර් හෝල් අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්තයා තමයි අපි වෙනුවෙන් පෙනී හිටල මට කලාපුරෙන් ඉඩම් කෑල්ලක් ලබා දුන්නේ.

අදටත් මම මේ ඉඩම් කෑල්ලේ ගේ හදා ගන්න බැරි වෙලා තියෙන්නේ මට ස්ථිර ආදායමක් නැති නිසා බැංකුවකින් ණය මුදලක් දෙන්න ප්‍රතික්ෂේප කරන හින්දා. මගේ දුවට ස්ථිර රස්සාවක් නැති නිසා දුවගේ නමටවත් ණය මුදලක් ගන්න ක්‍රමයක් නැහැ. ඩග්ලස් සිරිවර්ධන මහත්තයා ගොඩක් අයගේ විරෝධතා මධ්‍යයේ තමයි රජයෙන් ඒ ඉඩම් කෑල්ල මට ලබා දුන්නේ. ඔන්න ඔය ඉඩම විතරයි සුසිල් රජය වෙනුවෙන් කළ කැප කිරීමට අවසානයේ ලැබුණේ.

නුඹ විතරක් තල එළළුයි, මුහුණු දෙකක්, සිර කඳවුර, දෙනුවර දෙන්නෙක් වේදිකා නාට්‍ය සේම පරෙවි ධේනුව, කිඳුරු අඩවිය, මාරුක් මල් ආදී ටෙලි නාට්‍යය සුසිල් අධ්‍යක්ෂණය කළා.

මේ නාට්‍යවලින් රංගනයට අත් පොත් තැබූ නළු නිළියෝ බොහොමයි. සමහරු මුල්වරට සම්මානයට පාත්‍ර වුණේ සුසිල්ගේ නාට්‍යය හරහා. ඒත් මේ ආකාරයට සුසිල්ගෙන් උදවු ගත්ත බොහෝ දෙනෙක් අද සුසිල් ගැන වචනයක් කතා කරන්නේ නැහැ. සමහර කලාකරුවන්ට ගුණ සමරු උත්සව තියන්න බොහෝ අය ඉන්නවා. ඒත් සුසිල්ට එහෙම අය නැහැ.

මට ලොකු ආශාවක් තියෙනවා සුසිල්ගේ නාට්‍ය නැවත වේදිකාවට ගේන්න. ඒත් ඒ සඳහා කළ යුතු කැප කිරීම සුළුපටු නැහැ. දෙනුවර දෙන්නෙක්, සිර කඳවුර නාට්‍ය දෙක නැවත නිෂ්පාදනය කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

සුසිල් අද ජීවතුන් අතර නැතත් එයා අමතක කරලා මට අපේ අතීතය ගැන කතා කරන්න බෑ. අපි දෙන්නා පාසල් කාලයේ පටන් හඳුන ගත්තු පෙම්වතුන්. එදා ඉඳන් සුසිල් මිය යන තුරුම එයා මගේ සෙවනැල්ල වුණා. අපි අනුරාධපුරයේ නිර්මාණ සේනා කියලා කලා කවයක් හදාගෙන ඒ හරහා කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. මට මතකයි 1979 දී අපි දෙන්නාම ‘යුරේකා’ වේදිකා නාට්‍යයේ එකට රඟපෑවා.

ඒ නාට්‍යයේ රඟපෑම උදෙසා එකම වේදිකාවේ එයා හොඳම නළුවා වුණා. මම හොඳම නිළිය වුණා. ඔය විධියට අපි දෙන්නම එකට සම්මානයට පාත්‍ර වෙලා තමයි අපේ කලා ජීවිතය ඇරැඹුවේ. වේදිකාවේ සම්මාන අරන් ටෙලි නාට්‍යවලට ආවා. පුංචි තිරයේ ලාහිරු දහසක් ටෙලි නාට්‍යයේ රංජනී වෙමින් මම ප්‍රේක්ෂකයන් අතර නොමඳ ආදරය දිනුවෙත් ඔය වගේ ගමනක් ඇවිත්.

මට අද වගේ මතකයි සුසිල්, මාවත් දුවත් තනි කරලා මේ ලෝකෙන් සදහටම සමුගත් දවස. වෙනදා වගේම සුසිල් උදෙන් කුරුණෑගල බලා ගෙදරින් පිටත් වුණේ ඒ වෙන කොට එයා රාජකාරි කරමින් සිටි සරසවිය පත්තරය සංවිධානය කරන සරසවියේ සම්මාන උළෙලට සමගාමීව පවත්වන චිත්‍රපට උළෙලක සංවිධාන කටයුතු සිද්ධ කරන්න. එදා රාත්‍රියේ එයා නැවත ගෙදර ඇවිත් ගෙයි මැද සාලයේ සැටියේ වාඩි වුණේ භද්‍රා අද මට හරි මහන්සියි කියලයි. එහෙම කියලා වැඩි වෙලාවක් ගියේ නෑ. සුසිල්ගේ හිස සැටිය උඩම පහතට කඩා හැලුණා. අනේ සුසිල් අදටත් ඔයා මාත්, දුවත් එක්ක ජීවත් වුණා නම්?