වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අනුන්ගේ පව් අපට කර ගහන්න වෙලා

අනුන්ගේ පව් අපට කර ගහන්න වෙලා

මූණු පොතේ දකින චතුනි

* නම කියන්න බලන්න?

මම චතුනි නිවර්තනා.

* ඔබ වෘත්තීය නිළියක්?

නැහැ.

* එහෙනම් රඟපාන්නේ?

හිතේ තියෙන ආසාවට.

* මොනවද ඔබ රඟපෑව ටෙලි නාට්‍ය දෙකක් තුනක් කියන්න බලන්න?

මගේ පළමු ටෙලි නාට්‍යය තමයි ලොබ නොසිඳේයා. එය රෙජිනෝල්ඩ් ජයමාන්නගේ අධ්‍යක්ෂණයක්. සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ නවකතාවක් ඇසුරෙන් එය නිර්මාණය වුණේ. දෙවැන්න වෙද මුදියන්සේ. එහි මං ප්‍රධාන චරිතයක් මැව්වා. තෙවැන්න මේ දිනවල විකාශය වන මූණුපොත.

* චතුනිගේ ගම කොහේද?

මං ඉපදුණේ වැලිගම. දැනට පදිංචි වෙලා ඉන්නේ ගාල්ල, මාගාල්ලේ.

* එතකොට පාසල් ගියෙත් එහෙ වෙන්න ඇති නේද?

ඔව්. වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ.

* අනිත් නව පරපුරේ නිළියන් තරම් ඔබව ටෙලි නාට්‍යවලින් දක්නට නැත්තේ ඇයි?

මං ලැබෙන සෑම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. අනික අර චරිතය කරන්න ඕනෑ, මේ චරිතය කරන්න ඕනෑ කියලා ලෝබකමකුත් නැහැ. ලැබෙන ආරාධනාවලින් සුදුසුම එක බාර ගන්නවා. ඒක උපරිමයෙන් රඟපානවා.

* චතුනිට ජනප්‍රියත්වය අවශ්‍ය නැතිද?

නැහැ. මට ජනප්‍රිය වෙන්න නෙවෙයි මං වෑයම් කරන්නේ.

* එහෙනම්?

මට ඕනෑ දක්ෂ නිළියක් වෙන්න.

* චතුනි වෘත්තීමය නිළියක් වෙන්න ආස නැහැ වගෙයි?

හොඳ චරිත රඟපානවා. ඉදිරියේදී සැලොන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

* වැඩිපුර රඟපාලා වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත්තොත් ඉදිරියේදී විවෘත කරන්නට තිබෙන සැලොන් එකට කස්ටමර්ලා වැඩි කර ගන්න පුලුවන්නේ?

ඔබේ කතාව හරි. අනේ මන්දා මට එහෙම ජනප්‍රිය වෙන්න උවමනා නැති එකයි ප්‍රශ්නේ.

* චතුනි කලක් මෝස්තර නිරූපිකාවක් විදිහටත් හිටියා නේද?

ඔව්. මං මේ ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපණය සඳහා.

* මෝස්තර නිරූපිකාවන්ට තැනක් තියෙනවාද ලංකාවේ?

මොකද නැත්තේ. අද අපේ මෝස්තර නිරූපිකාවෝ ජාත්‍යන්තරය පවා නියෝජනය කරනවා.

* ඒත් තවමත් මොස්තර නිරූපිකාවන් දෙස සමාජය බලන්නේ වපර ඇසින්?

මුල් පිරිස කරපු වැරැදි නිසයි එහෙම වෙලා තියෙන්නේ. අන්තිම් අපිට අනුන්ගේ පව් කරගහන්න සිද්ධ වෙලා තියෙනවා. මුල හොඳ වුණා නම් එහෙම වෙන්නේ නැහැ.

* ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් බහුතරයක් නවක නිළියන්ට අයුතු යෝජනා කරනවා. ඔබටත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවාද?

එහෙම තත්ත්වයක් නම් තියෙනවා තමයි. හැබැයි දෙවියන්ගේ පිහිටෙන් මට නම් එහෙම යෝජනා ඇවිත් නැහැ.

* ක්ෂේත්‍රයේ නවක නිළියන්ට රැඳෙන්න අපහසුයි නේද එවන් අය නිසා?

ඔව්. එහෙම අයව ක්ෂේත්‍රයෙන් එලවලාම දාන්න ඕනෑ.

* චතුනිට කෙනෙකු දිගින් දිගටම කරදරයක් වුණොත් මොකද කරන්නේ?

හොඳවැයින් දෙකක් කියනවා.

* ඒ කියන්නේ ඔබ හරි සැරයි?

ටිකක් සැරයි. වැඩිපුර සැර, සැර අයට.

* චතුනි ජීවිතේ මේතාක්කල් කළ ලොකුම මෝඩකම මොකක්ද?

මිනිස්සුන්ව ඕනෑවට වඩා විශ්වාස කරපු එක.

* ඔබට වෙනස් කරගන්න ඕනෑ, ඔබ සතු ගති ගුණය මොකක්ද?

මට ඉවසීම හරිම අඩුයි. ඉවසීම තමයි වැඩි කරගන්න ඕනෑ.

* චතුනි සාමාන්‍යයෙන් කොටට ඇඳුම් අඳින්නේ ඇයි?

එහෙම විශේෂ හේතුවක් නැහැ.

* වැඩිපුර කොටට ඇඳුම් අඳින්නේ මොන වගේ අවස්ථාවන්වලදීද?

යම් තැනකට එවැනි ඇඳුම් සුදුසුයි නම් එහෙම අඳිනවා. නැතුව ඕන තැනටයි එපා තැනටයි කොටට අඳින්නේ නැහැ.

* චතුනිට පෙම්වතකු ඉන්නවාද?

ඉස්සර හිටියා. දැන් නැහැ.

* ඇයි යොවුන් නිළියන් තම ආදරවන්තයා ගැන සඟවන්නේ. එයාව වෙන අය දැනගනියි කියන බයටද?

හැම දෙයක්ම හැමෝටම කියන්න හොඳ නැති නිසා.

* චතුනි දවසක් උදෑසන මුහුණ හෝදන්නේවත් නැතුව ටෙලි නාට්‍යයක රඟපෑවලු. මොකක්ද ඒ කතාව?

අම්මෝ, එහෙම වුණේ නැහැ. හැබැයි මේ වගේ දෙයක් සිදු වුණා. වෙද මුදියන්සේ කරන කාලේ පාදුක්කේ ලොජ් එකක තමයි මං නැවතිලා හිටියේ. දිනක් උදේ නැගිටලා මුහුණ හෝදන්න බලද්දී ටැප්වල වතුර නැහැ. ඉතින් මොකද කරන්නේ, වතුර බෝතල්වලින් මූණ කට හෝදගෙන රඟපෑවා.

* චතුනිගේ පවුලේ විස්තර කතා කරමු?

මමයි, අම්මයි, තාත්තයි මල්ලියි. ඒ වගේම අපේ ගෙදර නැන්දලා දෙන්නෙකුත් ඉන්නවා.

* මේතාක් පැමිණි ගමන් මගේදී ඔබට උදව් කළ අය කවුද ඉන්නේ?

චන්න සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, නාලන් මෙන්දිස්.

* චතුනි, ඔබ ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

හිත හොඳ, ඉක්මනින් කේන්ති යන කෙනෙක්.