වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ෆිල්ම්ෆෙයාර් පළමුවැනි කවරය ඇයයි

ෆිල්ම්ෆෙයාර් පළමුවැනි කවරය ඇයයි

මෙවර යාවජීව සම්මානයත් ඇයටයි

කාමිණී කෞශාල්

දිලිප් කුමාර්ගේ සදා නොවෙනස් ආදරය

ජීවිතයේ හිරිමල් වයසේදීම ඇය ආත්ම පරිත්‍යාගයක් කළාය. මියගිය සොයුරියගේ සැමියා සමඟ ඇයට විවාහවීමට සිදුවුණේ, දරුවා කුඩම්මා කෙනකුගේ කෙනෙහිලිකම්වලට ලක්වීම වාවා ගත නොහැකි නිසයි. සොයුරා ද ඇයට එසේ විවාහවීමට බලකර සිටියේය. එහෙත් සැබෑ ආදරයකින් හදවත වෙළී ගියේ රිදී තිරයේ කථා නායකයා ලෙසින් පැමිණි කඩවසම් තරුණයා සමඟ, 1948 දී 'සහීඩ්' සිනමා දර්ශන තලයේදීයි. මේ හාදයා අන් කවරකුවත් නොව භාරත රිදී තිරයේ ශෝකාන්තයේ රජු දිලිප් කුමාර්ය. ඔහුට පෙම් බැඳි ඇය කාමිණී කෞශාල් නම් සුරූපී තාරකාවයි. විවාහය තීන්දු කිරීමට තරම් දෙදෙනාගේ ආදරය දුර දිග ගියේය. එහෙත් කාමිණීගේ සොයුරා දිලිප්ට සම්බන්ධය නතර කරන ලෙසට තර්ජනය කළේය. කාමිණී - දිලිප් පෙම් පුවත කඳුළින් නිමා විය. ඒ හරියටම බොලිවුඩ් සිත්තමක් සේය.

දශක ගණනාවක් ගත වුණ ද දෙදෙනාගේ සෙනෙහස මහලු වූයේ නැත. දිලිප්ට සුළු හෘදයාබාධයක් සෑදී මෑතකදී රෝහල් ගත කළ අවස්ථාවේදී අසූ අට හැවිරිදි වියේ සිටි කාමිණී මගේ ප්‍රියතම කථා නායකයාට ඉක්මනින් සුව වේවායි පැතුවාය.

දිලිප් කුමාර් තම ජීවන චරිතයේ ප්‍රථම ප්‍රේ්මය වශයෙන් හඳුන්වා ඇත්තේ කාමිණී කෞශාල් සමඟ පැවති ප්‍රේමයයි.

කාමිණී කෞශාල් ලැබූ සම්මාන -
1956 - ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය (බිරාජ් බහූ රංගනයට)
2013 - කල්පනා චව්ලා සම්මානය
2015 - ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානය

1946 දී 'නීච් නගර්' සිනමාපටයේ 'රූපා' ලෙස රඟමින් තාරකාවක වූ ඇය මෑතකදී බොහෝ දෙනාගේ කථාබහට ලක් වූයේ 2015 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ යාවජීව සම්මානයේ හිමිකාරිණිය වීම නිසයි. 'චෙන්නායි එක්ස්ප්‍රස්' සිනමාපටයේ රාහුල්ගේ (ෂාරුක්ගේ) මිත්තණිය ලෙස කළ රංගනයෙන් ද කාමිණී අද පරපුරේ පේ‍්‍රක්ෂකයන්ගේ හද දිනගෙන සිටින්නීය.

කාමිණී රැඟූ පළමු සිනමාපටයම 1946 දී කාන්ස් සිනමා උළෙලේදී ගෝල්ඩන් පාම් (ර්‍ථචතථඥ ඤ'ධප) සම්මානය දිනා ගත්තේය. ඇයට පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය හොඳම නිළිය ලෙස හිමි වූයේ බිරාජ් බහූ (1955) රංගනයටයි. ෆිල්ම් ෆෙයාර් කවරය සැරසූ පළමු තාරකාව ද ඇය වන්නීය.

සමකාලීන නිළියන් වූ නිරූපා රෝයි, නිඩියා වැන්නියන් පමණක් නොව ඇයට පසුකාලීන නිළියන් වූ වහීඩා රෙහෙමාන්, වෛජයන්ති මාලා, ආශා පරේක් වැන්නියන්ට ද වඩා ඇය අති සුවිශේෂීය. ඒ හතළිහේ දශකයේ සිට අද දක්වාම එනම් අසූ අට හැවිරිදි විය තෙක්ම රංගනයේ යෙදෙන නිසයි.

'කාමිණී කෞශාල්' යනු ඇයගේ තිරයේ නමයි. 'උමා කාශ්‍යප්' කාමිණීගේ උපන් නමයි. උමා 1927 ජනවාරි 16 වැනිදා ඉපදුණේ කලා පසුබිමක් ඇති පවුලක නම් නොවෙයි. ඇයගේ පියා උද්භිද විද්‍යා මහාචාර්යවරයෙකි. ඇයට ද ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් තිබේ. සොයුරියගේ අකල් මරණයෙන් පසු ඇයගේ සැමියා සමඟ විවාහ වන්නට සිදු වුණත්, දෛවයෙන් කලාවට තිබූ උරුමය අහිමිවීමට එය හේතු වූයේ නැත. තමන්ට කියා දරුවකු නොමැතිවීම නිසා කලාව වෙනුවෙන් කාලය සොයා ගැනීම ද ඇයට අසීරු නොවීය. මුලින්ම ඇය වේදිකා නිළියකි.

ජ්‍යෙෂ්ඨ නළු දේව් ආනන්ද්ගේ වැඩිමල් සොයුරු චේතන් ආනන්ද් ඇය 'නීච් නගර්' සිනමාපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගන්නා විට උමා විවාහ වී නොසිටියාය. සිනමාපටය තිරගත වූයේ ද ඇය විවාහ වීමට පෙරය.

විවාහයෙන් පසු බොම්බායට පිවිසි ඇය යුගයක තාරකාවක වීමට 'කාමිණී කෞශල්‍යා' ලෙසින් මුල පිරුවාය. ක්ෂේත්‍රයේ එවකට සිටි සෑම ප්‍රධාන තරුවකටම ඇය පෙම්වතිය වූවාය. එවකට තිරයේ රජ කළ අශෝක් කුමාර්, රාජ් කපූර්, දිලිප් කුමාර්, දේව් ආනන්ද්, මනෝජ් කුමාර් ඇයගේ තිර පෙම්වතුන්ය.

භාරත සිනමාවේ සියලු සුදුසුකම් ලත් තාරකාවක වීමට ඇය 'භාරත නාට්‍යයම්' ද හැදෑරුවාය.

පසු කාලයේ කාමිණී පුංචි තිරයට ද නැතිවම බැරි තාරකාවක වූවාය. 'ෂානො කි ෂාදි' ස්ටාර් ප්ලස් නාළිකාවේ අතිශය ජනප්‍රිය නාට්‍ය මාලාවේ ඇය ෂානෝගේ මිත්තණිය ලෙස රැඟුවාය. ඇය 1986 දී 'මේරි පාරි' නම් සජීවීකරණ සිනමාපටය ද නිපද වූවාය.

දැන් කාමිණීගේ දිවිය කැප වී ඇත්තේ සිනමාවට පමණක් නොවෙයි. ඇය දරුවන් වෙනුවෙන් කථා රචනා කරන්නීය.

තවමත් මේ ජ්‍යෙෂ්ඨ නිළිය සිනමාව වෙනුවෙන් හඬ නඟන්නීය. 'නීච් නගර්' බොලිවුඩයට සියවස සපිරි වසරේ මතකයට නොගැනීම ගැන මාධ්‍ය මඟින් ඇය කනගාටුව පළ කළාය.