වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්තයේ මල් පොකුරු නෙළා......

වසන්තයේ මල් පොකුරු නෙළා......

‘ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ’

පසුගිය පෙබරවාරි 14 වැනිදා හෙවත් වැලන්ටයින් දවසේ රාත්‍රිය එළැඹී හෝරා එක හමාරකට පමණ පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ගීතය ඇසුණේ වයලීන නාදයකිනි. සදාකාලික ප්‍රේම වෘතාන්තයක් වන නල දමයන්ති පුවත පාදක කොට ගෙන 1956 වසරේදී චිත්‍රසේනයන් විසින් එනමින්ම කරළියට නංවන ලද මුද්‍රා නාට්‍යයේ එන මේ ගීතය එයින් වියුක්තව ශ්‍රවණය කරන කල්හි ද ප්‍රේමය පිළිබඳ අපූර්ව හැඟීමකින් රසික සිත් පිනා යන්නේය.

මේ වැලන්ටයින් දවසේ පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය මුවෙන් නොගයා සිය සුපුරුදු වයලීනය මඟින් වයා යළිත් අපේ හදවත් සුවපත් කළේය. ව්‍යාපාරිකයන් අත මල් සැණකෙළියක් වන වැලන්ටයින් දවසේ ගීත නිර්මාණක කේන්ද්‍රය හෙවත් ඔස්කා ආයතනය මෙවර මහත් වූ පුණ්‍ය කර්මයක් කළේය. ඒ පණ්ඩිත් අමරදේවයන්ගේ ගායනයෙන් හා සංගීත නිර්මාණයන්ගෙන් ඔපවත් වූ ප්‍රේමය කේන්ද්‍ර කරගත් ‘අමර ධ්වනි’ නම් මාහැඟි නිර්මාණය ඉදිරිපත් කිරීමෙනි. ප්‍රේමය කොතරම් මනරම් ද ප්‍රේමය නිසා බිහි වූ ගීත කොතරම් අලංකෘතදැයි ගුරු අමරදේවයන් එදින අපට පසක් කළේය. වර්තමානයේ අපට අසන්නට ලැබෙන්නේ ප්‍රේම ගීතිකා නොව යාදිනිය. ප්‍රේම විලාපයන්ය. ක්ෂණික කෑම හා වර්තමානයේ සුලබව ඇසෙන ප්‍රේම ගීත අතර කිසිදු වෙනසක් නැත. එහෙත් පණ්ඩිත් අමරදේවයන් ‘අමර ධ්වනි’ය එබන්දක් නොවේ. එය ප්‍රේමයේ විවිධ අරුත් ඔප් නැංවූයේය. අමරදේවයන් ගයන පරිදි ‘ගණ අඳුරේ හුදකලාව - නැඟි කඳුළකි’ ආදරේ.

වර්තමාන පරම්පරාවට සුභාවිත ගීතය රස විඳින්නට ලැබෙන ඉඩකඩ ඉතා අල්පය. බොහෝ යෞවන - යෞවනියන් මෙකී භාවපූර්ණ ගීත ශ්‍රවණය නොකරන බවට වැඩිහිටියෝ ද විද්වත්තු ද දොස් කියති. එහෙත් යොවුන් පරම්පරාවට එලෙස දොස් පවරා වගකීමෙන් මිදෙන්නට හැකියාවක් අප කිසිවෙකුට හෝ නැත. ඔවුන්ට අසන්නට ලැබෙන්නේ මොනවාද? පූර්වාදර්ශ තිබෙන්නේ කොතැනද? මෙයට වසර තිහකට පමණ පෙර ගීතය ශ්‍රාවකයා වෙත ගෙන ගිය ප්‍රධාන මාධ්‍යය වූයේ රේඩියෝවයි. හොඳට හෝ නරකට තිබුණේ ද ආණ්ඩුවේ ගුවන් විදුලි සංස්ථාවයි.

එහි සිටි ඇතැම් හණමිටිකාර බලධාරීන් සංගීතයේ නව ප්‍රවණතා හෝ තමා උගත් ගුරු කුළයෙන් පිටත සම්ප්‍රදායන්ට හෝ එයට ඇතුළු වීමට නොදීමෙන් බලවත් වරදක් කළ බව ඇත්තය. වර්තමානයේ එබඳු සීමා අතික්‍රමණය කර නිර්මාණාත්මක ගීතය ශ්‍රාවකයා අතරට පිවිසෙන්නට තිබෙන ඉඩකඩ විශාලය. එහෙත් තරගකාරී මාධ්‍ය හරඹය ඔස්සේ ශ්‍රාවකයා වෙත ගෙන යන්නේ එකී මාධ්‍ය ලැබූ යහපත් ඵල නෙළා ගත් ගීත නොවේ.

තරගකාරී මාධ්‍ය යුගයක් නොමැති අපේ ළමා කාලයේදි අපට බලහත්කාරයෙන් හෝ අසන්නට සිදු වූයේ ගුවන් විදුලියෙන් විකාශය කළ ගීත පමණි. එබැවින් පාසලෙන් සාහිත්‍ය රස වින්දනය යන විෂය බැහැර කළ යුගයක හැදුණු අපට පවා අසන්නට ලැබුණේ යහපත් ගීතයයි. වයසින් හා දැනුුමෙන් මුහුකුරා යත්ම වඩා නිවැරැදි භාවිතය තෝරා ගන්නට බලහත්කාරයෙන් අසන්නට ලැබුණු ගීත මහෝ්පකාරී විය. එහෙත් වර්තමානයේදී තරගකාරී මාධ්‍ය අතර එකිනෙකට පරයමින් ශ්‍රාවකයාට කවන්නේ දහ ජරාවය. සැන්දෑවරුවේ රාජකාරී නිමවා නිවෙසට යන බස් රථවල අසන්නට ලැබෙන කාලකණ්ණි ගීත ඝෝර, කටුක ඉරණමකට අප ලක් කරයි. එයටත් වඩා වර්තමානයේ තවත් වසංගතයක්ව ඇත්තේ සංගීත සංදර්ශන නමින් බස් රථවල බලයෙන් මඟීන්ට පෙන්වන ජුගුප්සාජනක ගායනාය. සවස හයෙන් පසු රාත්‍රී නවය දක්වා කාලය ඇතුළත යහපත් සංගීතයක් විසුරුවා හරින එකම ටෙලිවිෂන් චැනලයක්වත් අපට නැත. දරුවෙකුට යහපත් ගීතයක් ලබා දෙන්නේ කොතැනෙන්ද? ගීතයක විවිධ ප්‍රභේද තිබේ.

එය තමනට කැමැති ආකාරයක කැමැති තැනක රස වින්දාට කිසිවෙකුට දොස් පැවරිය නොහැක. අසභ්‍ය චිත්‍රපටයක් පෞද්ගලිකව රස විඳගැනීම වෙනම කතාවකි. එහෙත් එය ප්‍රසිද්ධියේ කරන්නට ගතහොත් වියවුලකි. ගීතය සම්බන්ධයෙන් අද ඇත්තේ මේ වියවුලයි. යහපත් ගීතය පිළිබඳ කතිකාව ලත් තැනම ලොප් වන්නේ ද ඕනෑකමින් අසන්නට නොව ඇසෙන්නට සලස්වා ඇති අවිනීත කසිකබල් ගීතය හේතුවෙනි. අතිශය තරගකාරී ලෙස පවත්වනු ලබන ළමා සුපිරි හපනුන් තෝරන ටෙලිවිෂන් වැඩසටහන්වල ළමයින් ලවා ගායන කර වන්නේ ද ඒවායේ සිටින ජූරි සභා මඟින්. උඩ දමා අනුමත කරනු ලබන්නේ ද බොහෝ විට මේ අවර ගණයේ ගීතයයි. ‘අමර ධ්වනි’ය මහා රසෝඝයක් වන්නේ එබඳු ඝොරතර පරිසරයකින් මිදී එය නැරඹූ නිසාම නොවේ. තාරුණ්‍යය විසින් වර්තමානයේ මහත් අභිරුචියෙන් සලකනු ලබන ආදරවන්තයින්ගේ දවසේ මේ වන විට අසූ හය හැවිරිදි ගැටවරයෙකු වන පණ්ඩිත් අමරදේවයන් මෘදු යෞවනය අරබයා ගැයූ ගීත දිගු කලකට අමතක නොවේ.

එතුමන් එකී ගායනයේ යෙදුණේ සජීවීමය. පටිගත කිරිමක් නොවේ. මේ නිසා ගීතය සමඟ බැඳුණු රසවත් අත්දැකීම් ද මකාලිය නොහැකි සජීවි සටහන්ය. අල්කා යාග්නික් නම් ඉන්දීයානු ගායිකාව කලින් පටිගත කර වේදිකාවේ තොල් මුමුණමින් ගයන ගීත අපේ බොහෝ දෙනෙක් අභිරුචියෙන් රස විඳින අයුරු එදිනම රාත්‍රියේ ටෙලි විෂනයේ විකාශය වනු මම දුටුවෙමි. එහෙත් අමරදේවයන් ස්වකීය අමර ස්වරය ගොඩ නැංවූයේ ආයාසයකින් තොරව එයට අවශ්‍ය ප්‍රාණය ලබා දෙමිනි. අතරින් පතර වේදිකාවට ගොඩ වූ එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, රශ්මි සංගීතා, සුභානි අමරදේව, අමිතා වැදිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, ජානක වික්‍රමසිංහ ආදීන් අමරදේවයන්ගේ නිර්මාණ රසවත් කළහ. ආදරවන්තයන්ගේ දිනය ආදරයෙන් පුරවන්නට ආදරයෙන් අරුත් ගන්වන්නට ඒ සැන්දෑව මහෝපකාරී වූයේය. ඒ අතර තව එකක් ද කිව යුතුය. මා මිත්‍ර බන්දුල නානායක්කාරවසම් එම උළෙල මෙහෙය වූයේය.

ඔහු වර්තමාන පරම්පරාවේ විශිෂ්ටතම ගේය පද රචකයන්ගෙන් කෙනෙකි. අතිශය සාර්ථක පිටපත් රචකයෙකි. ඒ පිළිබඳ කිසිදු වාදයක්, විවාදයක් නොමැත. එමෙන්ම ‘රෑ ඉරපාන’ ගීත රස වින්දනය පිළිබඳ ඔහුගේ අපූර්ව ප්‍රතිභාව හෙළි කරයි. එහෙත් මා හිතවත් බන්දුල සජීව ප්‍රසංගයක මා දුටු අසාර්ථකම නිවේදකයා බව නම් නොකියා බැරිය. එකම වචන පෙළක් මුමුණමින් කියන්නට අවශ්‍ය දේ නොකියා තටමමින් බන්දුල නිවේදකයකු වන්නට ගත් උත්සාහය අපට වඩාත් පසක් වූයේ අමරදේවයන් ඉතා පැහැදිලිව අපූර්ව වාග් විලාශයෙන් ද විටෙක හාස්‍යයෙන් ද ගී පිළිබඳ අර්ථ දක්වන විටය. ඉතා සුළු කතනයකින් පවා එඩ්වඩ් ජයකොඩි ද සිය හැකියාව මනාව ඔප්පු කර සිටියේය.

ඒ කෙසේ වෙතත් සුභාවිත ගීතය පිළිබඳ කථිකාවන් සීමා වන යුගයක ‘අමර ධ්වනි’ය විඳින්නට එහි පැමිණි බොහෝ දෙනා පින් කළ ඇති වග දැනිණි. අමරදේවයන්ගේ ගායන විලාශය අපි දකින්නේ, අසන්නේ 1947 තරම් ඈතක සිටය. මෙරට සිනමා රංගනයේ පමණක් නොව, ගායනයේ ද එතුමා මෙරට සිටින ජ්‍යෙෂ්ඨතමයාය. සංගීතඥයකු වන්නට සප්ත ස්වරය පමණක් නොව ලෝකයේ බොහෝ ඇසූ පිරූ තැන් අවැසි වග මෙරට සංගීත ක්ෂේත්‍රයට උදාහරණ කර දැක්විය හැක්කේ එතුමන්ගේ පාණ්ඩිත්‍යය සමඟය.

බොහෝ සංගීතඥයන්ගේ දැනුම සිීමා වනුයේ සප්ත ස්වරය හරහා හරඹ කරන්නට පමණි. එහෙත් අමරදේවයන්ගේ සංගීත ඥානය වූ කලී එබඳු ස්වරයක ලඝු කර දැක්වීමක් නොවේ. ඒ නිසාම සැලෙන ගහ කොළ ද, ගලන දියකඳ ද, වියත් පොත පත ද අමරදේවයන්ගේ ස්වර ගුරු කොට ගන්නා බැව් අපට පසක් වෙයි. අසූ හය හැවිරිදි වියේ වුව ද එකී දැනුම යාවත්කාලීන වනවා විනා යල්පැන ගියේ නැත. නෙවිල් ප්‍රනාන්දු වැනි බටහිර සංගීතයෙන් ජනප්‍රිය වූවකු මෙරටට ඔපකොට දුන්නාක් සේම රූකාන්ත වැන්නකු හඳුන්වන්නට ‘රූකාන්ත ජනකාන්ත මනකාන්ත’ යැයි අර්ථ ගැන්විය හැක්කේ අමරදේවයන්ට පමණි.

යුග යුග ගණනාවක සංගීතයේ වෙනස්වීම් උසුලන්ටත්, එකී පරම්පරාවන්ගේ හැකියා හොඳින් වටහා ගන්නටත් අමරදේවයන්ගේ මුදිතා ගුණය (එම වචනය මා උපුටා ගත්තේ බන්දුල නානායක්කාරවසම් මිත්‍රයා වේදිකාවේදී අට වරක්ම පැවසූ හෙයිනි) මහෝපකාරී වූයේය. මේ මුදිතා ගුණය ඇති අනෙක් විශිෂ්ටතමයා වනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එම මුදිතා ගුණය පහළ වන්නේ ද ඔවුන් සතු අපරිමිත දැනුම හා ප්‍රතිභාව කිසිවකු හා සම කළ නොහැකි නිසාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අමරදේවයන් හා මුල් වරට සුසංයෝග වනුයේ ‘ගම්පෙරළිය’ උදෙසාය. එය ගීත අඩංගු නොවූ මුල්ම සිංහල චිත්‍රපටයයි. සිනමා සංගීතය යනු තවත් රූපකායක් විනා පාළු කපන්නක් නොවන වග අමරදේවයන් එහිදී ප්‍රත්‍යක්ෂ කර දුන්නේය.

‘අමර ධ්වනි’යේදී අමරදේවයන් අතෙන් ‘සරසවිය’ වෙනුවෙන් හැදුණ සර්වකාලීන ගීතය ද ගායනා කෙරිණ. ‘ජගත් මෝහිණී - මධුර භාෂිණී’ නම් වූ සරස්වතී අභිනන්දන ගීතයයි. මේ ගීතය පණ්ඩිත් අමරදේවයන් හඬින් සජීවීව ගයනු අසන්නට තරම් මම පිං කර ඇත්තෙමි. එමෙන්ම ප්‍රේමය පිළිබඳ මධුර වූ ගීතාවලියක් අසා රැය පහන් කරන්නට වාසනාවක් මට ද ඇති වග දැනුණේ ගත වූ පෙම්වතුන්ගේ දිනයේය. එහෙත් එදා අමරදේවයන් වෙතින් නොගැයුණු වඩාත්ම ප්‍රේමණීය ගීතයක් මට සිහියට නැඟෙයි.

‘පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුවෙ පැතුම ඇයයි’