වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




රෑන හදද්දී ඔක්කොම නාලා

රෑන හදද්දී ඔක්කොම නාලා

රෑන දර්ශන තලයේ රසවත් සිදුවීම්

සිරස නාළිකාවේ හැන්දෑවේ හයට විකාශය වන රෑන වඩා ජනප්‍රිය ළමයින් අතරය. එහි අද විකාශය වනුයේ දෙසිය දෙවැනි කොටසය. (පසුගිය 17 වැනිදා 200 සපිරිණි). එය අධ්‍යක්ෂණය කරන ලද්දේ රන්ජන් ප්‍රසන්න විසිනි.

රන්ජන් මීට ප්‍රථම සිහින පුරය අධ්‍යක්ෂණය කරන ලදී. ප්‍රසන්න විතානගේ, නාලන් මෙන්ඩිස්, බෙනට් රත්නායක වැනි අධ්‍යක්ෂවරුන් මෙන්ම මේ දිනවල විකාශය වන බොරදිය පොකුණ හි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රන්ජන් ක්ෂේත්‍රයේ නමක් දිනූ තැනැත්තෙකි. රෑන මුලින්ම විකාශය වූ දින රන්ජන්ට කෝල් එක් ඇවිල්ලා. ඔහු එය විස්තර කළේ මෙහෙමයි.

කතා කළේ ජයලාල් රෝහණ අයියා. මං ෂුවර් එකටම හිතුවේ ජයලාල් අයියා මට අම්බානෙකට බනියි කියලා. හැබැයි ඔහු මගේ වැඩේ ගැන අගය කළා. මට පුදුම සතුටක් දැනුණා. ඊට පසුව ශ්‍රියන්ත මෙන්ඩිස් කතා කළා. ඔහුත් වැඩේ හොඳයි කිව්වා.

රෑන එදා මෙදා බොහෝ දෙනෙකුගෙන් ලැබුණේ හොඳ පැත්තේ ප්‍රතිචාර. එහෙත් නොසෑහෙන්න බැනුම් අහපු දිනයක් ද තිබුණා. ඒ දර්ශන් ධර්මරාජ් හා ඉෂාන් මෙන්ඩිස් අතර සටනක් සිදු වූ දිනය.

වැඩේ හොඳට කරන්න ඕනෑ හින්දා අපි මේකට ඇත්තම ආයුධ ගෙනාවා. හැබැයි ඒ එපිසෝඩ් එක ටෙලිකාස්ට් වෙච්ච වෙලාවේ අහපු තරම් බැනුම් කවදාවත් අහලා නැහැ. ඒ රෑනට ඇබ්බැහි වෙලා ඉන්නේ පොඩි ළමයි හින්දා.

මේ දවස්වල රෑන හින්දා නිල්මිණි තෙන්නකෝන් අතට පත්තු බඳිනවලු. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. දර්ශනයක් තිබුණලු නිල්මිණිව තල්ලු කරන. නිල්මිණිව තල්ලු කරන්න යොදා ගත්තේ අලුත් නළුවෙක්. ඉතින් මේ හාදයා තම ශක්තියම යොදලා නිල්මිණිව කොතරම් තදින් තල්ලු කළා ද කිව්වොත් අන්තිමේ අතට පත්තු බඳින්න වුණා. ඒ වගේම අකරතැබ්බයක් ඩිනක්ෂිටත් සිදු වුණාලු. කතාවේ හැටියට බයිසිකලයක් ඇවිත් ඇගේ ඇඟේ වදින දර්ශනයක් තිබුණා. බයිසිකලය පැද්දෙත් අලුත් නළුවෙක්. මිනිහ බයිසිකලයට නැග්ගට පසුවලු දැනගෙන තියෙන්නේ ඒකේ බ්රේක් නෑ කියලා. අන්තිමේ බයිසිකලය ඇවිත් ඩිනක්ෂිගේ ඇඟේ ඇත්තටම වැදුණා. ඩිනක්ෂි ටිකක් වෙලා යනතුරු අන්දුන් කුන්දුන් වුණාලු. හැබැයි රෑන රූගත කරන විට අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්නට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ එහි ඉන්න ගායකයෙක් ගෙන්ලු. රූගත කිරීම් අතරතුර ලැබෙන සෑම විවේකයකදීම මේ ගායකයා ගිටාර් එක අරගෙන සිංදු කියන්න පටන් ගන්නවා. රන්ජන් ඊළඟ දර්ශනය රූගත කරන්නේ සිංදුව ඉවර වුණාට පස්සේ. මේ ගායකයා කසුන් කුමානායකයි. කසුන් නිතරම ගයන ගීතය වායෝ සංගීත කණ්ඩායමේ ‘අපි කවුරුද’ කියන ගීතයයි.

කසුන් මේ සිංදුව දවසට හත් අට වතාවක් විතර කියනවා. දැන් මේක අපිට අහලම ඇති වෙලා. අපි දැන් කට්ටියම කියන්නේ කසුන්ට වෙන සිංදුවක් හොයා ගන්න කියලා.

රෑන රූපගත කරන්නේ එතරම්ම විනෝදයෙන්. දවසක් රෑන කට්ටියම විනෝද චාරිකාවක් ගිහිල්ලා. එදා නම් කට්ටියම හොඳට නෑවා කියලා ආරංචියි. රූපගත කිරීම් පැත්තකට දමාපු රන්ජන් කළේ ඔක්කොම නළු නිළියෝ වතුරට තල්ලු කරපු එක. රොෂාන් පිලපිටිය, සරත් කරුණාරත්න, රාජසිංහ ලෝලුවාගොඩ ඊට සපෝට් කරලා. දන්නෙම නැතුව අවසානයේ රන්ජනුත් වතුරට වැටිලා.

රෑනෙ සිංහල නළු නිළියෝ වගේම දමිළ නළු නිළියනුත් රඟපානවා. ඒ අතරින් දර්ශන් ධර්මරාජ්, රාජා ගනේෂන්, සුභාෂිනි බාලසුබ්‍රමනියම් කැපී පෙනෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පෙර පුහුණුවීම් කරන්නේ සහාය අධ්‍යක්ෂ කිව්වාම වුණත් රෑන කට්ටිය කොච්චර උනන්දු ද කිව්වොත් දර්ශනය කීයට ගත්තත් පෙර පුහුණුවීම් නියමෙට කරනවා. රෑන ජනප්‍රිය හින්දම ඒකට කොටස් පන්සීය දක්වා යන්නට ඉල්ලුමක් ලැබිලා.