වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කොහොමද බූරු මොලේ

කොහොමද බූරු මොලේ

මෙය සරත් දසනායක

නිෂ්පාදනය කළ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ මිහිඳුම් සිහින චිත්‍රපටය සැළසුම් කරද්දී සිදු වූ සිද්ධියකි.

මෙම චිත්‍රපටය රූගත වූයේ හැටන්වලදීය. එය අහිගුණ්ඨික රැහැනේ කතාවකි. විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිතවල රඟපෑහ.

එයට බූරුවන් තිදෙනෙක්, වඳුරන් දෙදෙනෙක් සහ පුහුණු කරන ලද නාගයන් තිදෙනෙක් අවශ්‍ය විය. ඔවුන් සපයා දීමේ වගකීම පැවරුණේ මටය.

මා දන්නා හඳුණන අහිගුන්ඨික ගමක් අනුරාධපුර දිස්ත්‍රික්කකයේ තඹුත්තේගම තිබුණි.

අවශ්‍ය සත්ව නළු නිළියන් සහ සතුන් මේච්චල් කිරීමට අහිගුන්ඨික දෙදෙනෙක් ද හැටන් නගරයට ගෙන යමින් ගියෙමු.

බූරුවන් තිදෙනා ගෙන ගියේ ආවරණය කරන ලද බාගේ ලොරියකය. එම වාහනයේ සිටියේ මාත් රියදුරාත් බූරුවන් තිදෙනාත් පමණි. ලොරිය ඇතුළේ යකඩ වැටකි.

තඹුත්තේගමින් ගමන ඇරඹුණේ රාත්‍රියේය.

ලොරිය වංගුවක් ගන්නා විට ඇතුළේ සිටි බූරුවන් වරින්වර ලොරි බදේ ‘දඩාස්’ යන අනුකරණයෙන් වැදෙනු ඇසිණ.

‘වේහැල්ලේ මහත්තයා නුවර පාස් වෙන කොට නුවරඑළි පාරේ වංගු වැඩියි. හැටන්වලට යන කොට බුරුවෝ මැරිල තියේවි ලොරි බඳේ වැදිලා’යි රියදුරා කීය.

‘ටිකක් හෙමිහිට යමු’ මම කීමි.

රියදුරු වාහනය සෙමින් පදවන්නට විය.

එහෙත් වංගු කීපයකදීම බූරුවන් ‘දඩාස්’ යන හඬින් ලොරි බඳේ වැදෙනු ඇසිණ.

සැතැපුම් 15 ක් පමණ යන විට වංගු ගත්තත් බූරුවන්ගේ සද්දය නැවතිණ.

‘වැඩේ සිද්ධ වෙලා වගේ. හැල හොල්මනක් නෑ. ලොරිය අරලා බලමුදැයි’ රියදුරු තැන ඇසීය.

‘වංගුවක නවත්තන්න’ මම කීමි.

වංගුවකදී ලොරි භාගය නැවැත්විණ. රියදුරුත් මාත් ලොරියෙන් බැස පසු දෙර හැර බැලීමු.

එහිදී දුටු දෙයින් අපි විශ්මයට පත්වීමු.

‘අපිට වැඩිය බූරුවන්ට මොලේ තියනවා’ යි රියදුරා කීය.

බුරුවන් තම පස්ස පැති ලොරි බඳට හිර කර ඔලු තුන ත්‍රිකෝණාකාර ආකාරයට එකිනෙකාට හිර කරගෙන සිටියහ. වාහනය වංගුවක් ගන්න විට බූරුවන් ඔලු එකිනෙක හිරකර ගනී.

නිරුපද්‍රිතව බූරුවන් හැටන්වලට ගෙන එන ලදී.

එදාට පසුවදා විවේකයෙන් සිටිද්දී මෙම බූරු කතාව නිෂ්පාදක සරත් දසනායකට කීවෙමි.

‘උඹල දෙන්නට වැඩිය බුරුවො තුන් දෙනාට මොලේ තිබිල තියෙනවා’යි සරත් දසනායක කීවේ එහි සිටි සියල්ලන් හිනස්සමිණි.