වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




N E W S

N E W S

ප්‍රසන්න මයින්ෆීල්ඩ් සමඟ බොලිවුඩ් යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් කොට තැනෙන දැවැන්ත චිත්‍රපටයක් සමඟ සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ බොලිවුඩ් සිනමාව සමඟ නිෂ්පාදනයෙන් දායක වෙයි. පසුගිය ත්‍රස්තවාදී යුද සමයේ සත්‍ය කතාවක් පාදක කරමින් තැනෙන මේ චිත්‍රපටය නම් කොට ඇත්තේ මයින්ෆීල්ඩ් නමිනි. එහි ඉන්දීය නිෂ්පාදකවරුන් වනුයේ මහීෂ් මුන්ඩු සහ විනේ ශර්මාය.

මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය ශිලාදිත්‍ය බෝරාගෙනි. එළඹෙන අප්‍රේල් මාසයේදී රූගත කිරීම් ඇරැඹීමට නියමිත මේ දැවැන්ත සිනමා කෘතියෙහි සියලු දර්ශන කැමරා ගත වනුයේ මෙරට දර්ශන තලයන්හී වීම විශේෂත්වයකි. මයින්ෆීල්ඩ් සඳහා මෙරට සහ ඉන්දියානු නළු නිළියන් රැසක් රංගන දායකත්වය ලබාදීමට නියමිතය.


සිනමාවට 68 යි සංස්ථාවට 43 යි

21 දා හාරලක්ෂය ප්‍රදර්ශනය වේ

සිංහල කතානාද සිනමාව ආරම්භ වී මෙම මස 21 වැනිදාට වසර හැට අටක් සපිරෙයි. කඩවුණු පොරෙන්දුවෙන් ඇරැඹි සිංහල සිනමා වංශ කතාවේ අවසන් වරට අපි මැරෙන්නෙ නෑ සිනමාපටය දක්වා සිංහල චිත්‍රපට 1188 ක් තිරගත වී ඇත. 22 සිට තිරගත වීම ඇරැඹෙන මගේ යාළු මාළු සිනමාපටය 1189 වන චිත්‍රපටයයි. 23 වැනිදා ප්‍රදර්ශනය වෙන්නට පටන් ගන්නා මහරජ ගැමුණු 1190 වැනි චිත්‍රපටයයි.

1972 වර්ෂයේදී ජාතික චිත්‍රපට සංස්ථාව ඇරැඹීම සිංහල සිනමාවේ සුවිශේෂී ජයග්‍රහණයකි. එය ස්ථාපිත වූයේ ද සිංහල සිනමාව ආරම්භ වී හරියටම වසර 25 ක් සපිරෙන එනම් 1972 ජනවාරි 21 දිනයි. ඒ අනුව චිත්‍රපට සංස්ථාවේ 43 වැනි සැමරුම මෙම මස 21 වනිදාට නියමිතය. මෙම සැමරුම් වෙනුවෙන් 21දා සවස 5.30ට ටයිටස් තොටවත්තයන්ගේ හාරලක්ෂය සිනමා පටය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත වේ.


සවනට ගී මධු සියතට

සවනට ගී මධු වැඩසටහනෙහි ආකෘතිය වෙනස් වේ. එය නව මුහුණුවරකින් මෙම මාසයේ සිට සෑම ඉරු දිනකම රාත්‍රී 7 ට සියත නාළිකාව ඔස්සේ විකාශය වේ. සවනට ගී මධු හි නිෂ්පාදක වනුයේ එස්. ඒ. බෙනට්ය. කථනය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේගෙනි. මෙරට දීර්ඝතම රූපවාහිනි විචිත්‍රාංග වැඩසටන වන මෙහි වැඩසටහන් පන්සියයකට අධික ප්‍රමාණයක් විවිධ නාළිකා ඔස්සේ විකාශය වී ඇත.


තිලක්ගෙන් මාතරට නාට්‍යකරණ වැඩ මුළුවක්

තිලක් ගුණවර්ධන මෙහෙය වන රංගන නාට්‍යකරණය සහ රූපවාහිනීකරණය පිළිබඳ උසස් පාඨමාලාව මෙම මස 18 වැනිදා සිට සෑම ඉරු දිනකම මාතර නූපේ විශ්ව කොලේජ් හිදී පැවැත් වේ. රංගනය, නිවේදනය, පිටපත් රචනය මෙන්ම නාට්‍ය හා රංග කලාව සන්නිවේදනය මාධ්‍ය අධ්‍යනය විෂයක් වශයෙන් හැදෑරීමට උනන්දුවක් ඇති අයට මෙයට සහභාගි විය හැකිය.


උලත් එකයි පිලත් එකයි අද වැඩ අරඹයි

උලත් එකයි පිලත් එකයි නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් නවක අධ්‍යක්ෂවරයකු සිංහල සිනමාවට එක් වෙයි. ඔහු හර්ෂ උඩකන්දයි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වනුයේ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයයි. මෙහි මූලික වැඩ කටයුතු අද උදෑසන බෙල්ලන්විල පන්සලේදී පැවැත්වෙන මුහුරත් උළෙලින් පසුව ආරම්භ වනු ඇත. මෙතෙක් වැඩි වශයෙන් පෙම්වතාගේ චරිතයට සීමාව සිටි රොෂාන් රණවන හිතුවක්කාර චණ්ඩියකුගේ චරිතයට පණ පොවමින් මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරයි. එමෙන්ම සිංහල සිනමාවට අලුත් තාරකාවක් උලත් එකයි පිලත් එකයි සමඟින් හඳුන්වාදීමට නියමිතයි. ඇය රුක්ෂානා දිසානායකය. රොෂාන්, රුක්ෂානා ඇතුළුව දර්ශන් ධර්මරාජ්, මිහිර සිරිතිලක, දමිතා අබේරත්න, දෙනුවන සේනාධි, ගංගු රොෂානා, බියංකා ෆොන්සේකා, රමණී සිරිවර්ධන, කමල් දේශප්‍රිය, කුමාර වඳුරැස්ස, ජගත් ඇපලදෙණිය, රාජි මෙන්ඩිස්, ජයතිස්ස අතුලසිරි, කුමාර රණපුර, අනුරුද්ධ ගාම්භීරආරච්චි, බුද්ධික රණතුංග, සමාධි පෙරේරා, සැනෙට් දික්කුඹුර, සුනිල් ශාන්ත වනසිංහ, සුගත් විජේසේකර, සුනෙත් මැල්සිරිපුර, කීර්ති රංජිත් පීරිස්, බිංදු සමරසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගන දායකත්වය සපයති.


උලත් එකයි පිලත් එකයි දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහගේ නිෂ්පාදනයකි.

මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. රසික තෙන්නකෝන් අංග රචනයෙන් දායක වෙයි. අසේල ඉන්ද්‍රලාල්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. උපාලි උදයසිරි කලා අධ්‍යක්ෂණයෙන් ද, නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද උලත් එකයි පිලත් එකයි සඳහා එක් වෙති. ගීත ගායනා මරියෝ ආනන්ද සමඟ කමනි ලසන්තිකාගෙනි. පසන් නදී නන්දන සහ කාවින්ද රණවීර නිශ්චල ඡායාරූප ශිල්පීන් වේ. ලලිත් කල්දේරා නිෂ්පාදන කළමනාකරුය.


දේශීය සිනමාවේ 68 සපුරමින් මගේ යාළු මාළු තිරයට එයි

ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ නවතම සිනමාපටය මගේ යාළු මාළු මෙම මස 22 වැනිදා සිට සී. ඊ. එල්. සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. කතාව දෙබස් තිර රචනය සහ රූප ගතකිරීම් අධ්‍යක්ෂණය ලාල් ප්‍රියදේව විසින් සිදු කළ මෙහි කාර්මික අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙනි.

චාන්දනී සෙනෙවිරත්න, සරත් චන්ද්‍රසිරි, චිලී තිවංක, දෙනුවන සේනාධි, පියුමි බොතේජු, ඩී. බී.ගංගොඩතැන්න, ජීවන් හඳුන්නෙත්ති, මහින්ද ඉහළගමගේ, ලිතුම් සේමික, කවීශා දෙවුමිණි, පංකජ චන්දේවු ආදීහු රංගන දායකත්වය සපයති. මේ අයට අමතරව අපූරු නළුවකු ද මගේ යාළු මාළු හැඩ කරයි. ඒ ඩොල්ෆින් මාළුවකි. ත්‍රිමාණ සජීවිකරණය ද එකමුතුවෙන් මේ මාළුවා අපේ යාළු මාළු හරහා සිනමා ලෝලීන් හමුවීමට නියමිතයි.

මෙරට මෙන්ම තායිලන්තයේ ද රූගැන්වුණ මගේ යාළු මාළු කැමරාකරණණය බුද්ධික මංගලගෙනි.

සංස්කරණය අනුර බණ්ඩාර ගෙනි. අංග රචනය තාරක අධිකාරිගෙනි. ප්‍රියන්ත දසනායක කලා අධ්‍යක්ෂණයෙන් එක් විය. සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙන්ය. ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කොට ඇත. ශබ්ද පරිපාලන උදය කුමාර (ඉන්දියාව) සහ ච් ඊ ඉ ශබ්ද සංකලනය ශශික රුවන් මාරසිංහගෙනි.

මගේ යාළු මාළු ජනිතගේ තෙවැනි නිෂ්පාදනය වේ. කිව්වද නහී නොකිව්ව ද නහී, මගොඩිගෝ ඩයි ඔහු මීට ප්‍රථම නිෂ්පාදනය කල චිත්‍රපට වේ.