වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




බෝයි කෙනෙක් නැත වේකන්සියක් ඇත

බෝයි කෙනෙක් නැත වේකන්සියක් ඇත

සිංහල සිනමාවට එන අලුත්ම තරුව

ඔබේ නම කියන්න?

කවීශා කාවින්දි.

කවිශාගේ අම්මයි තාත්තයි මෙරට ජනප්‍රිය තරු යුගළයක් ඔවුන් ගැන කියමු?

අම්මා ජනපි‍්‍රය නිළි ඩිලානි අබේවර්ධන. තාත්තා තමයි ජනප්‍රිය ගායක සමන් පුෂ්පවර්ණ. එයාව වැඩිපුරම හඳුනන්නේ 'මල්කා' නමින්.

ඔබ පදිංචි වෙලා ඉන්නේ අමෙරිකාවේ?

ඔව්.

කොයි කාලේ විතර ද ලංකාවෙන් ඈත් වුණේ?

හරියටම අවුරුදු දොළහකට කලින්. විදෙස් ගත වෙන කොට මට වයස අටයි.

කවිශා හදිසියේම ලංකාවට ආවේ විශේෂ කටයුත්තකට. කියන්න ඒ ගැන?

මට චිත්‍රපටයක රංගනයට ආරාධනා ලැබුණා.

කාගෙන්ද?

චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ අංකල්ගෙන්.

කොහොමද ඔබව ඔහු සම්බන්ධ කර ගත්තේ?

ෆේස්බුක් හරහා.

කැමැත්තෙන්ද හිටියේ රංගනයට?

අමෙරිකාවේදී ස්ටේජ් ඩ්‍රාමාවලට දායක වුණා. නමුත් චිත්‍රපටයක රඟපාන්නේ පළමුවරටයි.

චිත්‍රපටයේ නම සිංග මචං චාලි?

හරියටම හරි. එය ලාල් වීරසිංහගේ අධ්‍යක්ෂණයක්.

ඔබ එහි කවුද?

මගේ චරිතයේ නම සෙව්වන්දි. ලාල් වීරසිංහගේ පෙම්වතිය.

පළමු රංගනයම පෙම්වතියක් වීම පිළිබඳ දැනුණේ කොයි විදිහටද?

මට කලින් පිටපත ලැබුණ නිසා බොහොම ආසාවෙන් චරිතයට පණ පෙව්වා. තිරයේදී පෙම්වතියක් වීම ටිකක් අමාරු වුණා. මොකද සැබෑ ජීවිතයේදී තවම පෙම්වතියක් නොවන නිසා.

ඒ කියන්නේ ඔබ ආදරවන්තියක් නොවෙයි? පුදුමයි?

පුදුම වෙන්න දෙයක් නැහැ. මට තවම බෝයි කෙනෙක් නොමැත කියලයි කියන්න තියෙන්නේ.

කවීශා විවාහ වන්නට හිතාගෙන ඉන්නේ අමෙරිකවේ කෙනෙක් එක්කද?

අපෝ නැහැ. මගේ සහකරුවා නොවැරදීම ලංකාවේ කෙනෙක් විය යුතුමයි.

අමෙරිකාවේ අවුරුදු දොළහක් හිටියට ඔබට හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වුණේ කොහොමද?

අමෙරිකාවේ හිටියට හිතිං මම ලංකාවේ ඉන්නේ. එහෙදි අම්මයි තාත්තයි එක්ක කතා කළේ සිංහලෙන්. ලංකාවට මම හරි ආදරෙයි. මම දැනට එහෙ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිග්රියක් කරනවා. විශ්වවිද්‍යාලයේ අවුරුදු හතර නිමා වෙලා උපාධිය අරගෙන කෙලින්ම එන්නේ ලංකාවට. ඇවිත් මෙහෙ මිනිස්සුන්ට සේවය කරනවා.

ඔබේ පියාගේ අඩි පාරේ යන්න හිතිලා නැතිද?

මම මේ වන විට මගේම ගීත දෙකක් පටිගත කළා. තාත්තාගේ පැරැණි යුග ගීතයකට ළඟදීම මගේ හඬ මුසු කරලා තාත්තත් එක්ක ගයනවා. නමුත් වැඩිපුර ආස රංගනයට.

කවීශා සාමාන්‍යයෙන් ඇඟ පේන්න අඳිනවා. ඇයි ඒ?

නැහැ. මම එහෙම අඳිනවා අඩුයි.

ඒත් ඔබ බාගෙට ඇඳුම් ඇඳගෙන ගත් සේයාරූ කිහිපයක්ම අන්තර් ජාලයේ පළ වුණානේ?

අමෙරිකාවට ගිම්හානය එළඹෙද්දී හරිම රස්නෙයි. එතකොට ගොඩක් අය අඩුවෙන් ඇඳුම් අඳින්නේ. මාත් එහෙමයි. ගිම්හාන කාලෙදි මම ගත්තු ඡායාරූප වගයක් කවුරුන් හෝ මට හොරෙන් අන්තර් ජාලයට දාලා.

ඒ කියන්නේ ඔබ ඒ ගැන දන්නෙම නැහැ?

ඔව්. ඒක හරිම වැරැදි වැඩක්. ඒත් වෙබ් පිටුවක පළවුණායින් අනතුරුව තවත් වෙබ් පිටු ගණනාවකම ඒක අරන් පළ වෙලා තිබුණා.

ඔබව වැඩි දෙනෙකු හඳුනා ගත්තේ ඒ ඡායාරූපවලින්. සමහරු කවීශා ගැන වැරදියටත් හිතන්නට ඇති?

ඒක නම් ඇත්ත. මට ලොකු හානියක් වුණා එමගින්. මගේ ඡායාරූප ගන්න එන අය ඇඟ වැහෙන්න ඇඳගෙන හිටියොත් පුදුම වෙනවා. ඒ අය කියනවා ෂෝට් ඇඳුම්වලින් ෆොටෝ ගමු කියලා. මාව මුලින්ම අර වගේ ඡායාරූපවලින් දැකපු නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.

අම්මා රඟපෑව නිර්මාණ නරඹලා තියෙනවාද?

ඔව්. ඇයගේ සමහර නාට්‍යවල මම අදටත් ආසයි.

ඔබ ක්ෂේත්‍රයට එනකොට අම්මා මොන වගේ උපදෙසක් ද දුන්නේ?

ලංකාවේ අයත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි කියලා තමන්ගේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්නයි කිව්වා.

ඇත්තද ඒක?

සමහර අවස්ථාවන්වල එහෙම හිතුණා. ඒත් බහුතරයක අය හොඳයි.

අමෙරිකාවේ සහ මෙරට නිර්මාණ අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?

අපේ අය දක්ෂයි. කෙටියෙන්ම කිව්වොත් අපේ නිර්මාණකරුවෝ අමෙරිකානු නිර්මාණකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. නමුත් අපේ අයට එච්චර සල්ලි නැහැ නිර්මාණ ඉදිරිපත් කරන්න.

සාමාන්‍යයෙන් කවිශාට දුක හිතුණාම මොකද කරන්නේ?

කාමරේට වෙලා දුක නැති වෙනකම්ම සිංදු අහනවා.

කවුද කවීශගේ ආසම ගායකයා?

කසුන් කල්හාර.

තාත්තගේ පැරැණි ගීත රීමික්ස් කරන්න අදහසක් නැතිද?

ඒක එයාම කරයි. මං ඒවට අත ගහන්නේ නැහැ.

කවිශගේ උපන් දිනය කියමු?

1994 සැප්තැම්බර් 12.

එතකොට ලග්නය?

වෘශ්චික.

සුරතල් නාමය?

කවී.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

සංවේදී කෙනෙක්. නිතර හිනා වෙලා ඉන්න තමයි කැමැති.