වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අපි දැන් දොඩම් ලෙලි වගේ

අපි දැන් දොඩම් ලෙලි වගේ

ලංකාවේ එකම ජ්‍යෝතිර්වේදී නිළිය මමයි

එඩ්නා සුගතපාල යන නම ඇසුන සැනින් අප මතකයට නැඟෙන්නේ කලක් ලාංකේය සිනමාවේ සිටි ජනකාන්ත නිළියයි. ඇය අන් නිළියන් අතරින් සුවිශේෂී වන එක්තරා කරුණක් තිබේ. ඒ මෙරට ජ්‍යෝතිර්වේදය හැදෑරූ එකම රංගන තාරකාව එඩ්නා වන නිසාය. නළු නිළියන්ගේ කේන්දර බලා ඇය ඔවුනට පැවසූ අනාවැකි හරියටම හරි ගියේ කිරි ගහට අනින්නාක් මෙනි. එහෙයිින් පසුකාලීනව එඩ්නා ජ්‍යෝතිෂ්‍යවේදිනියක් ලෙස ද ජනප්‍රියත්වයක් ලැබීය. ඇය මේ දිනවල ඇගේ නිවසට වී විවේකී සුවයෙන් කාලය ගත කරයි.

නව පරපුරේ නිර්මාණකරුවෝ මාව වැඩිය හඳුනන්නේ නැහැනේ. ඒක නිසා නිර්මාණවලට කතා කරන්නේම නැති තරම්. අපි දැන් ඉතින් වයසක නිළියොනෙ. සමහර අයට මාව මතකවත් නැතුව ඇති.

මඳ වෙලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටි ඇය එලෙස පිළිතුරු සැපයුවේ 'ඇයි දැන් වැඩිය පෙන්න නැත්තේ' යැයි මා ඇසූ පැනයටයි. අප එඩ්නාව සොයා ආවේ ඇය පැවසූ අනාගත වාක්‍ය පිළිබඳ වැඩි තොරතුරු දැනගැනීමේ අටියෙනි.

ජ්‍යෝතිෂය ගැන මට උනන්දුවක් ඇති වුණේ එක්තරා සිද්ධියක් හින්දා. මගේ අම්මා තමයි ස්වර්ණ මේරි බර්නෙදත් ප්‍රනාන්දු. ඇය උග්‍ර කතෝලික බැතිමතියක්. කේන්දර විශ්වාස කළේම නැහැ. අපේ පවුලේ ළඟම ඥාතියෙක් දිනක් මවත් සමඟ ජ්‍යෝතිෂය ගැන තර්ක කළා. ඔහු කිව්වා ජ්‍යෝතිෂය නිවැරිදි ශාස්ත්‍රයක් බවයි. අම්මා ඊට විරුද්ධ වුණා. අන්තිමේ පහුවෙනිදා අර ඥාතියා මාවයි අම්මාවයි කැටුව එකල ජනප්‍රිය ජ්‍යෝතිර්වේදියකු වූ නුගේගොඩ ඩැනියෙල් ගමආරියව මුණගැහෙන්න එක්ක ගියා. අම්මගෙන් ලග්නෙ එහෙම අහලා පලාඵල කියන්න පටන් ගත්තා. හැබැයි ඒ සේරම බොරු. කේන්ති ගිය අම්මා ඔහුටත් හොඳවයින් දෙකක් කියලා යන්න නැගිට්ටා. ඩැනියෙල් කෙන්ති ගත්තේ නැහැ.

අම්මාගේ උපන් වෙලාව සවස දෙකයි හත. ඔහු අනුමාන කළා ඇතැම් විට අම්මා උපන් මොහොතේ කේන්දරය හැදුව ජ්‍යෝතිෂකරු කාගෙන් හෝ වෙලාව අහද්දී 2.04, 2.07 ලෙස ඇහෙන්නට ඇති කියලා. ඩැනියල් 2.04 ට අම්මගේ කේන්දරය හදලා පලාඵල කිව්වා. මෙන්න අම්මා පුදුමෙන් අහගෙන ඉන්නවා. ඒ කියපුව හරියටම හරි. එන ගමන් මම කිව්වා මටත් ජ්‍යෝතිෂය ඉගෙන ගන්න ඕනෑ කියලා. අම්මා ගෙදරටම කෙනෙක්ව ගෙන්නුවා. මට එතකොට වයස අවුරුදු 12 ක් 13 ක් විතර ඇති. ඒ කාලේ මම හරි සීරියස් ළමයෙක්. කාත් එක්කවත් වැඩිය කතා කරන්නේවත් නැහැ. එච්. එම්. ප්‍රේමරත්න කියන ඒ ගුරුන්නාන්සේ මගේ දිහා බැලුවේ අමුතු විදිහට. මේ හිච්චි කෙල්ලට මොන ජ්‍යෝතිෂය ද කියන්න වගෙ බැල්මක් තිබුණේ. ඔහු මට අතේ තිබුණු ලිතක් දිගහැරලා එහි උඩ තියෙන මාතෘකාව කියන්න කිව්වා. මම ඔහු කියන දේ කළා. ගුරුන්නාන්සේ පුදුම වුණා. එදා ඉඳලා මම ඔහුගෙන් ජ්‍යෝතිෂය ඉගෙන ගත්තා. එතුමා කිව්වා මම පෙර ආත්මෙක ඉන්දියාවේ බ්‍රාහ්මණ පරපුරේ කෙනෙක්ලු. ඒක නිසාලු මට ජ්‍යෝතිෂය ඇඟේම පිහිටලා තියෙන්නේ කියලා.

එතකාට ඔබ කොයි කාලෙ පටන් ද අනාවැකි කියන්න ඇරැඹියේ?

1970 විතර මම සුමනදාස සමරසිංහගේ ඇරැයුමින් දවස පත්තරේට ජ්‍යෝතිෂය ගැන ලියන්න පටන් ගත්තා. එතකාට මම නිළියක් විදිහටත් ගමන ආරම්භ කරලයි තිබුණේ. අර ලිපි පෙළත් සමඟ මම ජ්‍යෝතිෂවේදිනියක් විදිහටත් ජනප්‍රිය වුණා. මම මුලින්ම අනාවැකියක් කිව්වේ රුක්මණී දේවිට. 1976 පස්සේ ඇයට ඉතාමත් නරක කාලයක් උදාවෙන්න තිබුණා. මම එය ඇයට සඳහන් කළා.

රුක්මණී දේවි මොන වගේ ප්‍රතිචාරයක් ද එයට දැක්වූයේ?

ලොකුවට තැකුවේ නැහැ. හැබැයි මම කිව්ව දේ හරියටම සිදු වුණා. 78 දී ඇය අපෙන් වෙන් වී ගියා.

එඩ්නා 1967දී පළමුවරට යෝගි ව්‍යායාම්වල යෙදෙමින් සිටියදී ගත් සේයාරුවක්

සබීතා පෙරේරාගේ විවාහය ගැනත් ඔබ ප්‍රසිද්ධ කතාවක් කියලා තිබුණා?

ඒ අනූව දශකයේ මුල් භාගයේ. ඔන්න දවසක්දා ආනන්ද පද්මසිරි අපේ ගෙදර එනවා කියලා එන්න පරක්කු වුණා. හරියටම පැය එකහමාරකට පස්සේ අවේ. හේතුව ඇහැව්වාම කිව්වේ සබීතාගේ වෙඩින් එකට කාඩ් බෙදන්න ගියා කියලා. මගේ ගාව සබීතාගේ කේන්දරේ තිබුණා. ඒකට අනුව ඇයගේ විවාහය ඒ කාලයේ කොහෙත්ම සිද්ධ වෙන්න විදි'හක් තිබුණේම නැහැ. මං ඒ ගැන සබීතාට කිව්වා. ඇය මාත් එක්ක තරහත් වුණා. නමුත් මගේ කතාව වැරදණේ නැහැ. ඊට අවුරුදු ගණනකට පසුවයි ඇය උපාලි හා විවාහ වුණේ.

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කලක් ඔබ හා තරමක් නුරුස්සන ගතියකින් හිටියලු නේද?

ඒකට හේතුවත් මම කියපු අනාවැකියක්. මම ඔහුට කිව්වා 2004 සැප්තැම්බර් 06 වැනිදායින් පසු ඔහුගේ ජීවිතයට තර්ජනාත්මක කාලයක් එනවා කියලා. ඔහු ඒක අහලා හිත නරක් කර ගත්තා. ඉපදුනා නම් අපි මැරෙනවානේ කිය කිය හිටියේ. මට පුළුවන් සෑම අවස්ථාවකදීම මා ගාමිණී අයියාව බලන්න යනවා. ගිහින් එන වාරයක් ගාණේම ඔහු මට වත්තේ තියෙන ගහකින් මලක් කඩලා දෙනවා. එහෙම දුන්න අන්තිම මලක් මා සතුව අදටත් තියෙනවා. මං කිව්වා වගේම ඔහු මිය ගියේ මං ඔහුට කියූ අපල කාලයේදී.

චිත්‍රපටවල නම් පවා ඔබ වෙනස් කර දීලා තියෙනවා ජ්‍යෝතිෂයට අනුව?

ඔව්. මම මීගමුවේ පදිංචි වෙලා ඉන්න කාලේ විජය කුමාරතුංගගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා එහේ ආවා. චිත්‍රපටයේ නම වුණේ 'අලුත් ලොවක්'. මම කිව්වා වහාම නම වෙනස් කරගන්න කියලා. විජය ටිකක් නාහෙට අහන්නේ නැති කෙනානේ. නම වෙනස් කළේ නැහැ. චිත්‍රපටය රූගත කිරීම් සෑහෙන්න ඇදුණා. ඒ වගේම එහි වැඩ හරියාකාරව කරගන්න බැරි වුණා. පසුකාලීනව අලත් ලොවක් නම අයින් කරලා වරදට දඬුවම නම යෙදුවා මගේ කීමට. අන්න එතකොටයි ඒක ප්‍රදර්ශනය වුණේ.

තිමති වීරරත්න දැවෙන පිපාසය චිිත්‍රපටය නිර්මාණය කරද්දී මම කිව්ව නම හරි නැහැ කියලා. ඔහු එය විශ්වාස කළේ නැහැ. අන්තිමේ වුණේ චිත්‍රපටය සාර්ථකව තිරගත නොවුන එකයි. ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය මතකද? එහි නිෂ්පාදක අනෝජා වීරසිංහ ඊට මුලින් යොදලා තිබුණේ 'දිවුරා කියන්නම්' නම. මමයි ඔබට කියන වචනය ඇතුළත් කළේ. චිිත්‍රපටය කොච්චර නම් සාර්ථක වුණාද. මේ වගේ මම චිත්‍රපටවල නම් සෑහෙන්න හදලා තියෙනවා.

මා දන්නා පරිදි ඔබ කියන්න තියෙන අනාවැකි කෙළින්ම කියලා දානවා කිසිම බයක් සැකක් නැතිව. එහෙම කියනවට සමහරු අකැමැතියි?

මම ඒක දන්නවා. නමුත් කෙනෙකුගේ කේන්දරයක් බලලා සුරංගනා කතා කියන්න මම ලැහැස්ති නැහැ. ඇතැම් නළු නිළියන් මගෙන් ඈත් වුණා මම එයාලට කියපු අනාවැකි හින්දා. කෙනෙකුට අපලයක් තියෙනවා කියලා පෙනෙන්නට තියෙනවා නම් ඒක නොකියා ඉන්න හොඳ නැහැ. ඒ ගැක කිව්වොත්නේ ආරක්ෂා වෙන්නේ. අනික මම අපලවලට යන්ත්‍ර සූත්‍ර දාන්න, තොවිල් නටන්න කියන කෙනෙක් නෙවෙයි. මම එන හැමෝටම උපදෙස් දෙන්නේ ජය පිරිත කියන්න කියලා.

ඡ්‍යෝතිෂයේ නියැලෙන වැඩි දෙනෙකු අනුන්ගේ කේන්දර බැලුවට තමන්ගේ කේන්දරය බලා ගන්නේ නැහැ?

අන්න එතන තමයි වරද්ද ගත්තු තැන. අනුනට උපදෙස් දෙනවා, තමන්ට වෙන දේ දන්නේ නැහැ. මම තුලා ලග්නයේ කෙනෙක්. එහි සංකේතය තරාදියනේ. මගේ තරාදිය එක පැත්තක බුදුරජාණන් වහන්සේත්, අනෙක් පැත්තේ ජේසු ස්වාමි දරුවොත් වැඩ සිටිනවා. ඒක හින්දා බය නැහැ. කේන්දරය බල බල මගේ අපලවලට මමම පිළියම් යොදනවා.

එඩ්නාට හොඳට පියානෝ වාදනය කරන්නටත් පුළුවන් නේද?

පියානෝව විතරක් නොවෙයි, පියානා එකෝඩියන් එක, විදුලි ඕගනය සහ හවායන් ගිටාර් එක වැනි වාද්‍ය භාණ්ඩත් මට හොඳට වයන්නට පුළුවනි. මම තමයි ලංකවේ එකම ජ්‍යෝතිර්වේදී නිළිය වගේම පියානෝ වාදනයට ලන්ඩන් ඩිප්ලෝමාවක් තියෙන එකම නිළිය.

ඔබේ සංගීත කුසලතාවය ගැන තවමත් බොහෝ දෙනා දන්නේ නැහැ?

මම ඒකට ළඟදීම සී. ඩී. එකක් අවුට් කරනවා. ජනප්‍රිය ගීත දොළහක් මවිසින් අනුවාදනය කොට එහි ඇතුළත් කරනවා. එතකොට මගේ සංගීත ප්‍රතිභාව කොතෙක්දැයි දැනගැනිමට පුවවන් වේවි.

ආයෙත් රඟපාන්න ආරාධනා ලැබුණොත්?

නොවැරැදීම ඊට සහභාගි වෙනවා. අවසන් වතාවට මම රංගනයෙන් දායක වුණේ කිඳුරංගනා නාට්‍යයට. අපිත් හරියට දැන් දොඩම් ලෙලි වගේ. සාරය අරගෙන පැත්තකට විසික් කරලා තියෙනවා වගේ දැනෙනවා.

අලුත් පරපුරේ නළු නිළියන්ට අනාවැකි කියන්නේ නැත්තේ ඇයි?

මම අලුත් පරපුරේ අයව හඳුනන්නේ නැහැනේ. කවුරු හරි මගෙන් කෙන්දරයක් ගෙනල්ලා පලාඵල ඇහැව්වොත් නොකියා ඉන්නෙත් නැහැ.