වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

වෙනසක් කිව්වට වෙනසක් නෑ

අලුත් අවුරුද්ද පටන් ගත්තත් හරි උදය ශ්‍රී වික්‍රමසිංහ වෙනස් විදිහේ ගීතයක් ගයලා. වෙනස්ම කිව්වට මේකේ කියන්න තරම් ලොකු වෙනසක් නැහැ. මෙච්චර කල් උදය ගැයුවේ විරහ ගීතනේ. මේක එහෙම ගීතයක් නොවන හින්දයි වෙනස් ගීතයක් කියලා මං කිව්වේ. මේ වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙනුයි උදය ගීතයක් ගයලා තියෙන්නේ. ඒ අනුව බලනකොට මෙය උදයගේ පළමු දිරිමත් කිරීමේ ගීතය වෙනවා.

ශ්‍රී ලංකා නම ඔන්න අර අහසේ දිලෙන්නා ආදී වශයෙන් මෙය රචනා කරලා තියෙන්නේ අප හිතවත් මාධ්‍යවේදියකු වන ආරියවංශ කුලතිලකයි. උදයට මේ ගීතය ගයන්න කියලා ඇරැයුම් ලැබිලා තියෙන්නේ හදිස්සියේ. ඉක්මනින් මෙය නිම කොට දෙන්න කියලත් කියලා තියෙනවා. ඒ හින්ද ඔහු තම සියලුම වැඩ කටයුතු නවත්වලා එයට මහන්සි වුණාලු. ඉතින් කඩි මුඩියේ සිංදුව කරල එයට වීඩියෝවක් ද නිර්මාණය කරන්නට සූදානම් වූ උදයට එයට යොදා ගන්න අතිරේක නළු නිළියක් කිහිප දෙනෙකු ඕනෑ කරලා තියෙනවා.

උදය දන්න දන්න අයට කතා කරලා මේ බව දැන්නුවලු. එක් කෙනෙක් උදයට අතිරේක නළු නිළියන් දෙන්න පොරොන්දු වෙලා. ඔහු ඒ සඳහා මුදලක් උදයගෙන් ඉල්ලුවලු. ගණන අහලා උදයට තරු පෙනිලා. ඒ මොකද දන්නවද, ඔවුන් ඉල්ලපු මුදලට වඩා පොඩ්ඩයිලු වැඩි උදයගේ රූප රචනාවේ රූපගත කිරිම්වලට යන සම්පූර්ණ මුදල. බලාගෙන ගියාම දැන් අතිරේක නළු නිළියන් සැපයීමත් බිස්නස් එකක් වෙලා. කොහොම හරි උදය රඟපෑමට උනන්දුවක් ඇති තරුණ තරුණියන් පිරිසකට සැලකිය යුතු මුදලක් ගෙවලා වීඩියෝවට අරගෙන.

ටාසන්ගේ අලුත් ජේන්

මේ දවස්වල සමහරු එල්ලෙන්න වැල් හොයනවා. ඒ අතරේ ඇතැම් අය මානසික ආතතිය දරාගත නොහැකිව වැල්වල එල්ලිලා දිවි නසා ගන්නවා. එහෙම වැල්වටාරම් කියලා මං දැන් මේ සැරසෙන්නේ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් වැලක එල්ලුනු නිළියක් ගැන කියන්නයි. ඒ තැනැත්තිය තමයි ඔබ හොඳින් හඳුණන උදාරි වර්ණකුලසූරිය.

උදාරිට වැලක එල්ලෙන්න සිද්ධ වෙලා තියෙන්නේ බිනරමලී ටෙලි සිතුවම හින්දා. උදාරි ඉතින් කොල්ලා වගේ ගිහිින් අජන්ත මහන්තත්ත ආරච්චි නාට්‍ය වෙනුවෙන් නිර්මාණය කරලා දුන්න වැලේ එල්ලෙන්න හැදුවලු. ඇයගේ ඇඟිලි වෙල්වට්වලටත් වඩා සිනිදු හින්දා උත්සාහය නම් සාර්ථක වෙලා නැහැ.

අන්තිමේ අජන්තටම සිද්ධ වෙලා සවි ශක්තිය ඇති ලී කැබැල්ලක් වැලේ කෙළවරේ එල්ලන්න. එයට අඩිය තියලයි උදාර වැලේ එල්ලිලා ඉඳලා තියන්නේ. ළඟ හිටපු කෙනෙක් තල්ලු කෙරුවට පස්සේ උදාරි ඔරලෝසුවේ බට්ටා වගේ වැනෙන්න පටන් අරන්.

බයෙන් බයෙන් වැලේ එල්ලුන උදාරි ටිකක් වෙලාවකට පසු හොඳට හිනාවෙවී ඉන්නවලු. කොහෙම හරි රූගත කීරීමත් නිමවෙලා සෑහෙන්න වෙලාවකට පසුවයි උදාරි වැලෙන් බැහැලා තියෙන්නේ. ඇය පැද්දුන පැද්දිල්ල ටාසන් චිත්‍රපට හදපු මහත්තයෙක් දැක්කා නම් ෂුවර් එකට ටාසන්ගේ නෝනගේ ඒ කියන්නේ ජේන්ගේ චරිතයට උදාරිව අරගෙන අලුත් චිත්‍රපටයක් හදනවා.

මෙන්න පිළිගන්න ඔබේ ආදරණීය ගායක . . .

හන්තානෙට පායන සඳ ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

අමරසිරි පීරිස් ගයන මේ ගීතය ආධුනික ගායකයකුට නම් ගයන්න ටිකක් අපහසුයි. ඒ අමරසිරිගේ විශිෂ්ට ගායන කුසලතාවයට සමීප වන්නට පුළුවන් වන්නේ එහෙමටත් කෙනෙකුට නිසා. එක්තරා උත්සව සභාවක මේ ගීතය කෙනෙකු ඉතාම හොඳින් ගැයුවා. ඇත්තටම ඔහු දෙවැනි වුණේ අමරසිරිට පමණයි. ඒතරම්ම ඔහු එයට සාධාරණය ඉටු කළා. ඒ කවුද යන්න කිව්වොත් ඔබ පුදුම වනු නිසැකයි. ඔහු තමයි සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන බර්ට්‍රම් නිහාල්. බර්ට්‍රම් හැදූ නාට්‍ය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

නමුත් ඔහු ගීත ගයනවා නම් අප දැකලා නැහැ. කෙසේ වෙතත් එතැන සිටි හැමෝම වගේ බර්ට්‍රම්ගේ ගී ගැයීමේ කුසලතාවයන්ට පුදුම වුණා. ජනප්‍රිය නිවේදක ප්‍රියන්ත විජේසිංහයි බර්ට්‍රම් ගැන වර්ණනා කරලා ගීතයක් කියන්නට ඇරැයුම් කළේ. ඔන්න බර්ට්‍රම්ට හොඳට සිංදු කියන්නත් පුළුවන් කියලා ඔබ දැන් දැන් ගත්තනේ. වාද්‍ය වෘන්දයක් සිටින උත්සව සභාවක බර්ට්‍රම් හිටියොත් ඔහුට අවස්ථාවක් දෙන්නකෝ ගීතයක් කියන්න. ඔබ මවිතයට පත්වේවි ඔහුගේ ගායන හැකියාවට.

ඇලට පැනලා තරු පෙනිලා

ඉස්සර නම් රසික රසිකාවෝ ආදරය කළේ විශ්ව ලංකා නැමැති නිවේදකයාට. ඒත් දැන් වැඩි දෙනෙකු කැමැති විශ්ව ලංකා නමැති නළුවාට. පසුගිය කාලය පුරා විශ්ව නළුවකු විදිහට කැපී පෙනුණා. ඒ හින්දම ඔහු නිවේදකයකු කියලා ඇතැම් අයට අමතකයි.

විශ්ව මේ දිනවල ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයේ රඟපානවා. එහි නිෂ්පාදන කළමනාකරු විදිහට ඉන්නෙත් ඔහු. මෙහෙම යනකොට වැඩි දිනක් යන්නට පෙර ඔහු අධ්‍යක්ෂණයටත් පිවිසෙනු ඇතැයි ඇතැම් අය මත පළ කරනවා. වැල්වටාරම් ඇති. විශ්ව ගැන කියන්න තියෙන කතාව මෙන්න මෙහෙම කියලා දාන්නම්කො. මං කලින් කිව්ව නාට්‍යයේ විශ්වට රඟපාන්න තියෙන චරිතය ටිකක් දුවලා පැනලා රඟපාන්න ඕනෑ එකක්.

විශ්වත් තමන්ට පුළුවන් හැටියට වීරයා වගේ ඒකේ රඟපානවා. ඔන්න දවසක් විශ්වට තිබුණලු ඇලකට පනින දර්ශනයක්. සාමාන්‍යයෙන් ඔවැනි අවස්ථාවල යොදා ගන්නේ ආදේශක නළුවන්නේ. හැබැයි විශ්ව හිතට හයිය අරගෙන අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ට කිව්වලු මමම පනින්නම් කියලා. සාරංගත් ඉතින් හා නොකියා ඔළුව වැනවලු. ඔහු ඇක්ෂන් කිව්වට පස්සේ විශ්ව දුවලා දුවලා ගිහින් ඇලට පැනලා. පැන්නට පස්සේ තමයි විශ්වට තරු පෙනිලා තියෙන්නේ. ඇලේ වතුර මතුපිටට නිසලයිලු.

නමුත් යට දියවැල් නම් ටිකක් සැරට තිබිලා. විශ්ව හිතුවටත් වඩා ඇල ගැඹුරුයිලු. දන්න ශිල්ප ඔක්කොම දාලා විශ්ව උඩට මතුවෙලා තියෙන්නේ. පැන්න තැනට වඩා අඩි විස්සක් විතර එහායින් විශ්වව දුටු වෙලාවේ තමයි අධ්‍යක්ෂ සාරංග ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට අස්වැසිල්ලක් දැනුණේ. මොන දේ වුණත් විශ්වගේ එම දර්ශනය බොහොම අපූරුවට රූ ගැන්විලා. ආයෙත් එවැනි දර්ශනයක් තිබුණොත් තමාම එහ රඟපාන බව විශ්ව කිව්වේ ඇල දිහා බලන ගමන්.

ඇඳ උඩ සිටි පත්තෑයා

රුවී හේරත්ව ඔබ වඩාත් හොඳින් හඳුනා ගත්තේ තරුමලී ටෙලි සිතුවමේ සුබා නිසා. එමෙන්ම මුතුපලසේ මිනෝලි නම් වූ චරිතය මැව්වෙත් ඇයයි. නාට්‍ය කිහිපයක්ම එක දිගට විකාශය වූ හින්දා රුවීට නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණා. ජනප්‍රිය වෙන්න වෙන්න සතුරොත් වැඩි වෙනවලු. සාමාන්‍ය සමාජයේ විතරක් නම් මදැයි. සත්ව ලෝකයෙත් රුවීට සතුරෝ ඉන්නවලු. එහෙම කියන්නේ පත්තෑයෙක් රුවීව හොයාගෙනම ඇවිත් කෑව නිසයි. සාමාන්‍යයෙන් පත්තෑයෙක් දෂ්ඨ කළාම කරන්නේ ගොඩ වෙදකම්.

නමුත් රුවීට නම් එහෙම කරලා නම් යහතින් ඉන්න බැරි වෙලා. සිද්ධිය මෙන්න මේකයි. ඡන්ද කාලේ නිසා රුවී ගමේ ඇවිල්ලා. පුරුදු කාමරේ නිදාගෙන. පාන්දර හතරට විතර මුළු ඇඟම කසන්න පටන් ගත්තලු. ඇයට හිතාගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. රෑට ඇලජික් වන කෑම කෑව ද කියලත් මතක් කරලා. එහෙම මතකයකුත් නැහැලු. දුවලා ගිහිල්ලා කාමරේ ලයිට් එක දාපුවාමයි කසන හේතුව දැකලා තියෙන්නේ. තඩිම තඩි පත්තෑයෙක් ඉන්නවලු රුවීගේ ඇඳ උඩ.

එවලේම දකුණතේ වැලමිට ගාවට රුචීගේ ඇහැ ගිහිල්ලා. එතන දත් පාරවල් දෙකක් තියෙනවා. එවලේ තමයි ඇඟ ඇතුළෙන් ගින්දර පිටවෙන හේතුව හොයාගෙන තියෙන්නේ. එන්න එන්න කසන එකත් වැඩිවෙන හින්දා ගෙදර අයත් එක්ක රුවී හොස්පිටල් ගිහිල්ලා. සෑහෙන්න බෙහෙත් කරලා. ඒත් හරි ගිහින් නැහැ. අන්තිමේ Injection  ගහලයි රුවී ගොඩ ඇවිල්ලා තියෙන්නේ.

හඳමාමා අමුතු ඇඳුම් හැඳගෙන

ලක්ෂ්මන් අමරසේකරව ඔහුගේ නමින් හඳුන්වා දුන්නට වැඩක් නැහැ. මොකද ඒ නමට වැඩිය ඔහුව අපි හඳුන්වන්නේ අලිඩොං යන චරිත නාමයෙන් හින්දා. ඒ වගේම සේපාළිකා නාට්‍යයේ මන්ද මානසික කීරාගේ චරිතයත් රඟපෑවේ ලක්ෂ්මන්. රංගනයට අමතරව ලක්ෂ්මන් ගායනයේද නිරත වෙනවා. ඔහුට ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනා ද එමටයි.

ඒවාල වැඩිපුරම ගයන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ ගීත. ටිකක් වචන අමතක වන හින්දා කොලයක සිංදු ලියාගෙන තමයි ලක්ෂ්මන් වේදිකාවට ගොඩ වෙන්නේ. ඔන්න දිනක් ලක්ෂ්මන්ට ප්‍රසංගකට ඇරැයුම් ලැබුණා. ඔහු ගයන්නට නියමිතව සිටි ෆ්‍රෙඩී සිල්වාගේ හඳමාමා සහ අමුතු ඇඳුම් යන ගීත දෙකත් මුතු වගේ අකුරින් ලියා ගත්තා. නිවේදකයා ලක්ෂ්මන්ගේ අලගිය මුලගිය වැලගිය තැන් ඔක්කොම කියලා නම කිව්වා.

ලක්ෂ්මන් ස්ේට්ජ් එකට නැගලා අතේ තිබුණු ගීත දෙක එතැන තිබුණු රඳවනයක තියලා නට නටා සිංදුව කියන්න පටන් ගත්තා. මුලින්ම ගැයුවේ හඳමාමා ගීතය. එහි ස්ථායි කොටස බොහොම හොඳින් කියලා සංගීතයට අනුව නැටුමකුත් නටලා අන්තරා කොටස කියන්න ගීත කොලය ළගට ආවලු. අන්තරා කොටසට අදාල වචන ලක්ෂ්මන් කියන්න පටන් අරගත්තම පොඩි වෙනසක් දැනිලා. ඒවා හඳමාමා ගීතයේ තාලෙට ගැළපෙන්නෙ නැතිලු. සංගීත කණ්ඩායමත් තක්කු මුක්කු වෙලා.

ටිකක් වෙලා ගියාට පසුවයි ලක්ෂ්මන්ට සිද්ධ වෙලා තියෙන දේ දැනිලා තියෙන්නේ. හඳමාමා සිංදුව ලියූ කොලය හුළඟේ ගිහිල්ලා. ඉතින් කලබලේට ලක්ෂ්මන් ගයලා තියෙන්නේ අමුතු ඇඳුම් සිංදුවේ අන්තරා කොටස. වැඩ දන්න හින්දා ලක්ෂ්මන් කාටවත් නොදැනෙන්න යළිත් හඳමාමා සිංදුව පටන්ගෙන. එදා ඉඳලා ලක්ෂ්මන් මොන ප්‍රසංගයට ගියත් සිංදු ලියපු කොලය අතින් බිම තියන්නේ නැතිලු.