වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට 68 යි අනෝජාට 60යි

උරුමය, අරුමයක් කරගත් හෙළ සිනමාවේ දිරිය කත
 

සිනමාවට 68 යි අනෝජාට 60යි
 

ජීවිතයේ යථාර්ථය මට වැටහුණේ බුදු දහම නිසයි

1947 ජනවාරි 21 වැනි දින 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් ඇරඹි 'සිංහල සිනමාව' 68 වැනි වියට පා තබන්නේ හරියටම තවත් දින හයකිනි. ඈ මෙලොව එළිය දුටුවේ සිංහල සිනමාවේ උපත සිදු වී වසර අටකට පසුවය. පරණ පල්ලියගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන නමින් 1955 ජනවාරි 21 බදුල්ලේ තයිලගොඩදී උපන් ඈ ජගත් කීරතිධර නිළියක වේ යැයි එදා කිසිවකුත් නොසිතන්නට ඇත.

සිංහල සිනමවේ 68 වැනි උපන් දිනය දා ඇය ද සිය 60 වැනි උපන් දිනය සමරන්නීය. ඒ දිවි මගේ සිවු දශකයකට ආසන්න කාලයක් ඈ ගත කළේ මෙරට සිනමාව හා කලාව සමඟිනි.

අනෝජා වීරසිංහ නම් වන ඈ ලාංකේය ස්ත්‍රීත්වයේ විවිධ හැඩතල හා ස්වරූපයන් රැසක් රිදී තිරය මත වඩාත් විශිෂ්ට ලෙස නිරූපණය කළ අපේ කාලයේ අද්විතීය නිළියක යැයි මට සිතේ. සැබෑ චරිතාංග නිළියක ලෙස ඈ අප හදවතෙහි සදාකල්හි විරාජමානව වන්නේ මහ පොළොව මත පයගසා ජීවත් වූ ගැහැනියත් ඇයම වූ නිසාවෙනි. සිනමාවේ සොඳුරු සිහිවටනයන් හා පෞද්ගලික දිවියේ කටුක, අමිහිරි අත්දැකීම් අතර සැරිසරමින් ඇය අප හා කළ හෘදයාංගම කතාබහකි මේ.

කුඩා කාලේ ඔබ හැදුණේ වැඩුණේ කලාකාමී පරිසරයක මම හිතන්නේ?

අපේ පවුලේ සහෝදර, සහෝදරියෝ දොළොස් දෙනෙක්. ගැහැනු ළමයි හත් දෙනයි. පිරිමි පහයි. මම හත්වැනියා. බොහොම කෙළි දෙලෙන්, සහෝදරත්වයෙන්, ආදරයෙන් අපි පුංචි කාලේ ගත කළේ. ඇත්තටම ඔබ කිව්වා වගේ අපේ පවුලට කලාව ආගන්තුක දෙයක් වුණේ නැහැ. මගේ තාත්තා 'බැරිස්ටර් හාමු', 'හිඟන කොල්ලා' වගේ වේදිකා නාට්‍යවල රඟපානවා මම දැක්කා පුංචි කාලේ.

එතකොට ඔබේ වයස?

අවුරුදු අටක් විතර ඇති. 'බැරිස්ටර් හාමු' නාට්‍යයේ තාත්තා වෙඩි තියාගෙන මැරෙනවා. මම ශාලාව දෙවනත් වෙන්න හූ තියලා ඇඬුවා තාත්තා බලන්න ඕනෑ කියලා. මොකද ඒක රඟපෑමක් කියලා මට තේරුණේ නෑ. ඊට පස්සේ වේදිකාව පිටුපසට ගිහින් තාත්තව පෙන්නුවම තමයි මගේ ඇඬිල්ල නතර වුණේ. ඔය සිද්ධිය අදටත් මට මතකයි. තාත්තා රඟපාපු තවත් නාට්‍යය ගොඩක් තිබුණා. ඒත් මට මතක ඔය නාට්‍ය දෙක විතරයි. අපේ අම්මටත් හොඳට සිංදු කියන්න පුළුවන්.

ටිකක් බරපතල පවුලක්. කොහොමද ඒ කාලේ අඟහිඟකම් එහෙම තිබුණාද?

අපේ තාත්තා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකේ බ‍්‍රාන්ච් මැනේජර් විදිහට සේවය කළේ. ඒ නිසා තාත්තිට හොඳට සල්ලි තිබුණා. ගමේ ළමයින්ට උදවු කළා තාත්තා. මට මතකයි ඒ කාලේ තාත්තාට කාර් දෙකක්ම තිබ්බා. ඔස්ටින් කේම්බ්‍රිජ් එකයි, මොරිස් මයිනර් ස්ටේෂන් වැගන් එකයි. අද කාලේ ගෙදරක වාහන දෙකක් තියෙන එක සුළු දෙයක් වුණාට ඒ කාලේ ඒක ලොකු දෙයක්. හැම සිකුරාදාම ඒ කාර් දෙකේ අපිව දාගෙන ට්‍රිප් එක්ක යන පුරුද්දක් තාත්තාට තිබුණා. ආපහු එන්නේ ඉරිදා හැන්දෑවට.

ඒ කාලය ගත වුණේ ඔබේ ගමේ. බදුල්ලේ?

ඔව්. පස්සේ අපි මොණරාගල පදිංචියට ආවා. ඒ දේශපාලන පළිගැනීමකට ලක් වෙලා තාත්තට රැකියාව අහිමි වුණ නිසා. මොකක්ද ප්‍රශ්නේ කියලා මට හරි වැටහීමක් තිබුණෙත් නෑ. හැබැයි ඒ කාලේ නම් අපේ පවුලට යම්, යම් අඟහිඟකම් දැනුණා. මගේ අම්මා පවුලේ හුරතලේට හැදුණ කෙනෙක්. මුදල් කළමනාකරණය ගැන එයාට හරි අවබෝධයක් තිබුණේ නෑ. තාත්තා මාසෙ වියදමට එවන සල්ලි අම්මා සතියෙන් වියදම් කරනවා. බදුල්ලේ අපේ ගෙදර දන්සල වගේනේ. ගමේ අයට කන්න, බොන්න දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. මොණරාගලදීත් අම්මා ඒ විදිහටම කරන්න ගියා. තාත්තා එතකොට බාප්පත් එක්ක කොළඹ හිටියේ. සල්ලි නොතිබුණා නෙවෙයි. නමුත් ඒ සල්ලි හරියට කළමනාකරණය නොකළ නිසයි අපිට එක කාලයක දුක් විඳින්න සිදු වුණේ.

දුක, සැප අතර දෝලනය වුණ කාල පරිච්ඡේදයක්?

එහෙම කිව්වොත් හරි. බදුල්ලේ ජීවිතයට වඩා මොණරාගල අපි ගත කළ ජීවිතය කටුක, අමිහිරි එකක් වුණා. අපි හැතැප්ම හතර, පහ පයින් ස්කෝලෙට ගිහින් තියෙනවා බස් එකට සල්ලි නැතුව. ස්පෝට්ස් ප්‍රැක්ටිස්වලට යන්නේ කන්න නැතුව. ඔය සුමේධා ජී. ජයසේන හිටියේ මගේ පාසලේමයි. එයා මට දවල්ට කන්න කෑම දෙනවා. අපි හොඳ යාළුවෝ. අවේ ගියේ එකට. මගේ ජීවිත කතාව ලියවෙද්දි සමහර පත්තරවල පළ වුණේ අපි අඟහිගකම් මැද ජීවත් වුණ පවුලක් හැටියට. ඇත්තටම එහෙම නෙවෙයි. ඒත් අර වගේ දේවලුත් වුණා.

කොහොම වුණත් ආපසු ජීවිතය දිහා හැරී බලද්දී එය සුන්දර මතකයක්?

ඇත්තෙන්ම නිළියක් හැටියට අභියෝගවලට මුහුණ දුන්න ගැහැනියක් විදියට, මම මේ ජීවිතය පවත්වාගෙන ගියේ එදා ඒ ලැබූ පන්නරය නිසා. විශේෂයෙන්ම මොණරාගල ගත කළ ජීවිතය.

තව දින හයකින් ඔබේ ජීවන ගමන් මඟට අවුරුදු හැටක් සපිරෙනවා?

ඔව්. සික්ස්ටි නොටවුට්. හරියටම සිංහල සිනමාව උපන් දවසෙමයි මමත් ඉපදුණේ. අවුරුද්ද විතරයි වෙනස්. කොහොම හරි මම ඉපදෙන කොට අපේ සිනමාවට අවුරුදු අටයි.

සාමාන්‍යයෙන් නිළියකට වයස කියන්නේ හරියට නයාට අඳුකොළ වගේ දෙයක්. ඒත් ඔබ කවදාවත් වයස හැංගුවේ නෑ?

මොකටද එහෙම කරන්නේ අසංක. මම නිළියක් වුණාට මේ මහ පොළොවේ පය ගහලා ජීවත්වන ගැහැනියක්. සිනමාව මායාවක් වුණාට ජීවිතය කියන්නේ මායවක් නෙවෙයිනේ. ඒ යථාර්ථයත් එක්ක ජීවත් වෙනකොට මට වයස ප්‍රශ්නයක් නෙවෙයි.

හොඳයි අපි යමු ඔබේ රංගන ජීවිතයේ ආරම්භයට?

මුලින්ම මම රඟපෑවේ යසපාලිත නානායක්කාරගේ ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයනේ. ඒක තත්පර තිහක පුංචි දර්ශනයක්. මම රක්ෂණ සංස්ථාවේ ස්කැලේටර් එකෙන් බැහැගෙන එන දර්ශනයක් තියෙන්නේ. ‘ටක් ටික් ටුක්’ කියන කොට සීන් එක ඉවරයි. ‘මොණරතැන්න’ තමයි මගේ ෆස්ට් කැරැක්ටර් එක. ඒකත් යසපාලිත අයියගේ.

කොහොමද ඒ අවස්ථාව ඔබට ලැබුණේ?

යසපාලිත නානායක්කාර මොණරතැන්නේ ‘සුරංජි’ට ගෑනු ළමයෙක් හොය හොයා හිටියා. ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වූ චන්ද්‍රිකා කාරියවසම් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් එකේ මා එක්ක එකට වැඩ කලානේ. මම එතකොට ඒකේ ක්ලාක් කෙනෙක්. සුනිල්සෝම අපේ මිතුරෙක්. එතකොටත් එයා සිනමාවට සම්බන්ධයිනේ. ඔහු ආවාම අපි එක එක විස්තර අහනවා. මාලිනී ෆොන්සේකාට එහෙම අප හරි ආදරෙයි.

ඒ කාලේ ප්‍රධාන නිළිය මාලිනී. සෙකන්ඩ් රෝල් කළේ හයිසින්ත් විජේරත්න. ජෙනිටා සමරවීර, මානෙල් වානගුරු වගේ නිළියෝ. ඒ නිළියෝ එක්කෙනෙකුටවත් ඩේට්ස් තිබිලා නෑ. පස්සේ බැරිම තැන යසපාලිත කියලා තියෙනවා සුනිල්සෝමට ‘කෝ අර උඹ කිව්ව කෙල්ලවවත් එක්ක වරෙං’ කියලා.

එහෙම තමයි මොණරතැන්නේ සුරංජි වුණේ?

හෙට ෂූටිං කියලා අද තමයි මට කිව්වේ. හැන්දෑවේ 6.00 ට විතර office එකට චීත්ත රෙදි දෙකක් ගෙනත් දුන්නා මේකෙන් ගවුම් මහගන්න කියලා. පස්සේ එවෙලෙම ගිහින් ඇඳුම් මහන්න දුන්නා. පාන්දර 6.00 ට යුනිට් වැන් එකට නග්ගගෙන තමයි මාව දර්ශන තලයට එක් කරගෙන ගියේ. හැන්දෑවේ හයයි මාතරට යනකොට. මාතරනේ ෂූටිං තිබුණේ.

බියක්, චකිතයක් දැනුණේ නැද්ද?

නෑනේ. ඒකනේ පුදුමේ කියන්නේ. ඇත්තටම විජය අයියයි, මාලනී අක්කයිනේ ඒ චිත්‍රපටයේ රඟපෑවේ. ඒ අය හරිම නිහතමානියිනේ. අපි ඉක්මනටම මිතුරු වුණා. අනෙක මම එතකොට ඩොනල්ඩ් රත්නවීරගේ ‘සටන’ වේදිකා නාට්‍යයේ රඟපාලා තිබුණානේ. ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයේ නම් මම කළේ එක්ස්ට්‍රා කැරැක්ටර් එකක් නිසා ඒකෙන් ලොකු අත්දැකිමක් ලැබුණේ නැහැ.

ඒ විදිහට සිනමා ගමන අරඹන කොටත් ඔබ පෞද්ගලික ජීවිතයේ වගකීම් රැසකට මැදිවයි සිටියේ?

ඔව්. ඇත්තටම ඒ වෙනකොට මම විවාහ වෙලා දරු සුරතල් බලමින් හිටියේ. එතකොට දිල්කි ඉපදිලා. එයා ඉපදුණේ 1976 දීනේ.

සැමියාගේ විරුද්ධත්වයක් තිබුණේ නැද්ද රඟපානවට?

නැහැ. ඔහු මගෙත් එක්ක මොණරතැන්න ෂූටිංවලට පවා ආවා. ෂූටිං ඉවරවෙලා ඒද්දී ප්‍රධාන නළු, නිළියන් යන වාහනවල මාව නග්ග ගන්න කවුරුත් කැමැති වුණේ නැහැ. ඊට පස්සේ මමයි, මහත්තයයි කොච්චියේ ආවේ. අපි අලුත්ගම හරියට එනකොට ඇඳිරි නීතිය පැනෙව්වා. ඒ 1977 දී තිබුණ කලබල නිසා අපි මරදානෙන් බහිනකොට කිසිම වාහනයක් පාරේ තිබුණේ නැහැ. මරදනේ ඉඳලා කොළොන්නාවට යනකල් පයින් ගියේ සූට්කේසුත් එල්ලගෙන. එදා නම් හස්බන්ඩ්ට හොඳටම තරහ ගියා.

‘මොණරතැන්න’ තිරගත වෙන්නටත් කලින් ඔබට තව චිත්‍රපට කිහිපයක් සඳහාම ආරාධනා ලැබෙනවා?

සිලෝන් ස්ටුඩියෝ එකේදී ‘මොණරතැන්න’ ඩබින් දැකලා ඒක රිලීස් වෙන්න ඉස්සර වෙලා මට චිත්‍රපට හතක් ලැබුණා. ඒ කාලේ ෆිල්ම් හතක් කියන්නේ විශාල ගාණක්. අනුරාගම්, ගීතිකා, පරසතුරෝ, මැණික් මාළිගා වගේ චිත්‍රපට. මට හරියටම මතක නෑ. කොහොම හරි චිත්‍රපට හතක්.

කා එක්කද වැඩියෙන්ම රඟපෑවේ?

මොණරතැන්න, ගීතිකා චිත්‍රපටවල රඟපෑවේ විජය අයියත් එක්කනේ. ඊට පස්සේ රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග එක්ක තමයි වැඩිපුර රඟපාන්න අවස්ථාව උදා වුණේ. මේ හැමෝගෙන්ම මට ලැබුණේ ලොකු සහයෝගයක්.

මල් ගස් වටේ දුවන සරල, සුන්දර පෙම්වතියගේ චරිත මෙන්ම අනේකවිධ ජීවන ගැටලුවලට මුහුණ දෙන දිරිය කාන්තාවගේ චරිතත් ඔබට එකසේ රඟපාන්නට ලැබෙනවා.

මෙතෙන්දි මට මුලින්ම මතක් වෙන්නේ මාලනී අක්කා. ඇය වාණිජ සිනමාවේ ජනප්‍රිය තාරකාවක්ව සිටියදීම ‘බඹරු ඇවිත්’, ‘නිධානය’ වගේ කලාත්මක චිත්‍රපටවලටත් රඟපෑවා. ඇත්තෙන්ම ඒ විදිහටම මටත් ඒ වාසනාව හිමි වුණා කිව්වොත් නිවැරදියි.

අභියෝගයක් වුණේ නැද්ද එය ඔබට?

මගේ මුළු ජිවිතේම අභියෝගයක්නේ අසංක. ඒක හරියට නාට්‍යයක් වගේ. දැන් ඔයා කියන එක මට හොඳටම දැනෙන්නේ අපේ පැරණි චිත්‍රපට අද නරඹනකොට. දෙයියනේ අපි මේවා කළානේ කියලා හිතෙනවා. ඒ කාලේ අපට ඒ ගැන ලොකු තේරුමක් තිබුණේ නෑ. ඒවා අභියෝග කියලා හිතුණෙත් නෑ. නමුත් එදා ඉඳන්ම මගේ තිබුණා යමක් ඉගෙන ගෙන කරන්න ඕනැයි කියන හැඟීම. චරිතයක් ලැබුණ ගමන් රයිට් හරි කියලා ගිහින් මම ඒකේ රඟපෑවේ නෑ.

දක්ෂතාවය වගේම ඔය අවබෝධය නිසා වෙන්නට ඇති අපේ වාණිජ හා කලාත්මක සිනමා ධාරාවන් දෙකේම ඔබ සාර්ථක නිළියක් වුණේ?

ඔය වාණිජ, කලාත්මක කියන බෙදිල්ලට මම එච්චර කැමැති නෑ. මොකද මගේ කලාත්මක චිත්‍රපටත් හොඳට හිට් වුණානේ. ‘සුරබිදෙන’, ‘සිරිමැදුර’, ‘ගුරු ගෙදර’, ‘ජුලියට්ගේ භූමිකාව‘ වගේම ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයත් හිට් වුණානේ. ඒවා හොඳට මුදල් ඉපයූ චිත්‍රපටනේ. ඉතින් ඒ නිසා ඒවා වාණිජමය නෙවෙයි කියන්න බැහැ. හැබැයි ඔය යථාර්ථයෙන් බැහැර ඔබ කිව්ව මල් ගස් වටේ දුවන චරිත රඟපෑ චිත්‍රපටත් සාර්ථක වුණා.

අතිශය ක්‍රියාදාම චිත්‍රපටත් තිබුණා ඒ අතර?

ඔව්. ඒ හැම චිත්‍රපටයකම ස්ටන්ට් කළේ මමමනේ. අස්සයෝ පදිනවා, කඩු හරඹ කරනවා, වෙඩි තියනවා. සමහර චිත්‍රපටවල භරත නාට්‍යම් නටනවා. ඒ වගේ විවිධ දේවල්. මම ගමකින් ආපු කෙනෙක් හැටියට මුලින් ඒ අත්දැකීම් මට තිබුණේ නැහැ. ඒත් මම ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෑ කියලා හිතුණා. අපේ ක්ෂේත්‍රයේ හොඳටම ඉංග්‍රීසි කතා කරන රොබින් අයියා, රවි අයියාගෙන් මම ඉල්ලීමක් කළා මට උදවු කරන්න කියලා. .

ඉතින් ඒගොල්ලෝ හරි ආදරයෙන් මට උදවු කළා. අදටත් මට වචනයක් එහා මෙහා වුණාම රවි අයියට කතා කරලා ඒකේ තේරුම අහනවා. ඊනි බිලයිට්න්ගේ ‘ෆේමස් ෆයිව්’ වගේ පොත් සෙට් එකට අරන් ගිහින් මම ඒවා කියෙව්වා. ඒ හතරේ, පහේ ශ්‍රේණිවල ළමයි කියවන පොත්. ඩේලි නිවුස් වගේ පත්තර අරගෙන ඩික්ෂනරි එක ෆලෝ කර කර ඒවායේ තිබුණ වචන ඉගෙන ගත්තා. ඒ විදිහට තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ.

ඔබ ස්ටන්ට්ස් ඉගෙන ගත්තෙත් මම හිතන්නේ කිසියම් අරමුණක් පෙරදැරිව?

මුල් කාලේ මට ප්‍රධාන චරිත ලැබුණේ නැහැ. මාලිනී අක්කලාට තමයි ඒවා ලැබුණේ. හඳවල් වගේ ලස්සන මූණු තිබුණ නිළියෝ අතරේ මට තිබුණේ බොහොම සාමාන්‍ය පෙනුමක්නේ. එතනදි මම කල්පනා කළා රයිට් මේ වගේ දෙයක් කරන්න ඕනෑ කියලා. කඩු හරඹ, අස්සයෝ පිටේ යාම, කරාටේ ක්‍රීඩාව, බයිසිකල් පැදීම මේ හැමදේම මම ඉගෙන ගත්තා. නන්ද සිරිවර්ධනගෙන් මම කරාටේ ඉගෙන ගත්තා. භරත නාට්‍යම් ඉගෙන ගත්තා වාසුකී ෂන්මුගම්පිල්ලේගෙන්. එතකොට විශාරද බී. වික්ටර් පෙරේරා ළඟ ගායනය හැදෑරුවා. මම විශාරද පාර්ට් වන් වෙනකල් කළානේ භාත්ඛණ්ඩේ එක්සෑම්ස්.

ඊට පස්සේ වාණිජ සිනමාවේ ඔබට නව මාවතක් විවර වුණා?

ඔව්. එතනින් පස්සේ දිගටම මට ස්ටන්ට්ස් කැරැක්ටර්ස් ලැබුණා. ඔබට රහසක් කියන්නම්, ඔබට දිවුරා කියන්නම් වගේ චිත්‍රපට ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ ස්ටන්ට් කරන්නේ මමමනේ. ඩබල් නෙවෙයිනේ. දැන් ඔය ෆ්ලයින් කික්ස් එහෙම වෙන අයනේ කළේ සමහර නිළියන්ගේ. නමුත් මමමයි මම රඟපෑ චිත්‍රපටවල ඒවා කළේ. එනිසා වාණිජ චිත්‍රපටවල රඟපෑම මට ගොඩක් ලේසි වුණා. එතකොට කලාත්මක සිනමාවේ චරිත මට එතරම් අරුමයක් වුණේ නෑ. ඒ මම ගමේදී සාමාන්‍ය තරුණියක් විදිහට ලබපු අත්දැකීම් නිසා වෙන්නට ඇති.

කලාත්මක සිනමාව් පුළුල් පරාසයක් ඔබට විවර කර දෙන්නේ ඩී. බී. නිහාල්සිංහයන්?

අනිවාර්යයෙන්ම. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටයේ මම රඟපෑවනේ. එතනදි තමයි මම නිහාල්සිංහයන් හඳුනා ගන්නේ. නිහාල් අයියා ඒකේ කැමරමන් නේ. ඊට පස්සේ සුනිල් ආරියරත්නගේ ‘මිහිඳුම් සළු’ චිත්‍රපටයෙත් මම රඟපෑවානේ. ඒකටනේ මට මුලින්ම ‘සරසවිය’ සම්මානයක් ලැබෙන්නේ. කුසලතා සම්මානයක්. ඉතින් ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටයේ මගේ රඟපෑම් දැකලා තමයි ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයට නිහාල් අයියා මාව තෝරා ගත්තේ.

මම දන්නා තරමින් නිෂ්පාදක විජය රාමනායක මුලින් කැමැති වුණේ නෑ ඔබ ඒ චරිතයට යොදා ගන්නවාට?

විජය රාමනායක විතරක් නෙවේ ‘මල්දෙණියේ සිමියොන්’ නවකතාව ලියූ ඇරැව්වල නන්දිමිත්‍රත් මට කැමැති වුණේ නෑ. මොකද ඒ අය මගේ හරි ඇක්ටින් එකක් දැකලා තිබුණේ නෑනේ. ඒක ද්විත්ව චරිතයක්නේ. මව සහ දුව විදිහට ඒ චරිත දෙකම රඟපෑම මට අසීරු වේ යැයි ඔවුන් සිතුවා. ඉතින් හරි සාධාරණයි ඒ මිනිස්සු. ඇරැව්වල නන්දිමිත්‍ර මහත්තයා කියලා තිබුණා ‘අනේ මගේ දරුවෙක් වගේ මේ කෘතිය. අනෝජාට ඒක හරියට කරගන්න බැරි වෙයි’ කියලා. පස්සේ නිහාල්සිංහයන් කියා තිබුණා ‘අනෝජා විතරයි මේ චරිතයට ගැළපෙන්නේ. එයා නැතිනම් මේ චිිත්‍රපටය මම කරන්නේ නෑ’ කියලා. ඒ නිසාම තමයි ඒ චිත්‍රපටය මට හම්බ වුණේ.

ඉතාම නිවැරදි තීන්දුවක් අරගෙන තියනවා එතුමා?

අදත් නිකං හීනයක් වගේ අසංක. ඇත්තටම ඒකෙ තනි ගෞරවය මම ගන්න කැමැති නැහැ. මොකද ඒ චරිතය රගපාන්න මම ගියේ අමු මැටි පිඩක් වගේ. අද වගේ මතකයි මුල සිට අග දක්වාම ඒ චරිත ස්වභාවයන් ගැන නිහාල් අයියා මට හරි හොඳට කියා දුන්නා. ඊට අමරතරව ජෝ අයියා, රවි අයියා, ස්වර්ණා අක්කා මේ හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා මේ චරිතය ගොඩ නගාගන්න. ඒ දැවැන්තයෝ ඉස්සරහ මම ආධුනිකයෙක්. ඒ වගේම සනත් හිටියා. දයා අල්විස් හිටියා. හොඳ නළු, නිළියාත් එක්කනේ මම ඇක්ට් කළේ. ඒ සියලු දෙනාගේම දායකත්වය තමයි මගේ සම්මානය. ඒක මම තනියම ලබා ගත්තා කියලා කියන්න බැහැ.

ඒ සම්මානය ඔබට, ඒ කණ්ඩායමට පමණක් නොවේ, අපේ සිනමාවට, මුළු රටටම ලැබුණු ගෞරවනීය සම්මානයක්?

ඔයා එහෙම කියනකොටත් හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. 11 වැනි ජාත්‍යන්තර නවදිල්ලි සිනමා උළෙලේදී ඒ රඟපෑම වෙනුවෙන් මට ලැබුණේ ‘රජත මයුර’ (Silver Peacock) සම්මානය. ඒ 1989 අවුරුද්දේ ජනවාරි 24 තමයි මට සම්මානය ලැබුණේ. සම්මානය ලැබුණාම කීප දෙනෙක් මට කතා කළා බොලිවුඩ් යන්න. ‘බොම්බේවලට යමු, එහෙදි ඔයාට චිත්‍රපට ලැබෙයි’ කියලයි ඒ අය කිව්වේ.

නමුත් ඔබ ආපහු ලංකාවට ආවා?

ඔව්. එතකොට මෙහෙම මට සම්මානයක් ලැබුණා කියලා විශාල ප්‍රසිද්ධියක් මාධ්‍යයෙන් ලබා දීලා තිබුණා. සම්මානය ලැබුණ දවසේ රෑ 8.00 රූපවාහිනී ප්‍රවෘත්ති අතරමග නවත්වලා  Breaking News එකක් හැටියට විනාඩි පහක් විතර පෙන්නලා තියෙන්නේ මම ලබා ගත්ත සම්මානය ගැන ප්‍රවෘත්තිය. මාත් එක්ක දිල්ලි ෆෙස්ටිවල් එකට ගිහින් හිටපු නිහාල්සිංහයනුත් කිව්වා ‘අමෝජා මේ වෙලාවේ ඔයාට කරන්න තියෙන හොඳම දේ ලංකාවට යන එක කියලා. ඉතිං මම අර ආරාධනා ප්‍රතික්ෂේප කරලා ලංකාවට ආවා.

එබඳු සම්මානයක් ලැබිලත් ඔබ රංගනය පිළිබඳ වැඩිදුර හදාරන්නට “ලන්ඩන් ඇකඩමි ඔෆ් මියුසික් ඇන්ඩ් ඩ්‍රැමටික් ආට්” (Lamda) ආයතනයට සම්බන්ධ වෙනවා?

1989 දී මම ඊට සම්බන්ධ වුණේ. විවිධ ජාතීන්ට අයත් අයැදුම්කරුවන් 3600ක් අතරින් තිස්හයදෙනයි එම පාඨමාලාවට තෝරගත්තේ. මමත් ඒ අතර සිටියා. අවුරුද්දක පාඨමාලාවක් තිබුණේ. නමුත් ඊට පසුවත් මම ඒ අධ්‍යයන කටයුතු සඳහා ලන්ඩනයට, කැනඩාවට හා ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී මා ලත් දැනුම සහ අවබෝධය තමයි පසු කලෙක ‘අභින’ රංගන පාසල හරහා මම දැයේ දූ දරුවන් වෙත ලබා දුන්නේ සහ තවමත් ලබා දෙන්නේ.

මේ කාලෙම තමයි ඔබ Island චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේත්?

Island චිත්‍රපටයේ අධ්‍යක්ෂ පෝල් කොක්ස් මට මුණ ගැහෙන්නේ ‘වැන්කුවර්’ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී. ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයට ලොව පුරා රටවලින් ආරාධනා ලැබුණානේ මගේ එවෝඩ් එකත් එක්ක. ගොඩක් රටවලට මමත් ගියා ෆිල්ම් එකත් එක්ක. එතකොට මම කැනඩාවේ වැන්කුවර් ෆෙස්ටිවල් එකට යද්දී පෝල් ඇවිත් හිටියා පෝල් කොක්ස් ‘මල්දෙණියේ සිමියොන්’ ජූරියේ ඉඳලා තියෙනවා.

නමුත් ඔහු එක්ක සමීප ඇසුරකට ඔබට මග පෑදෙන්නේ අහම්බෙන්?

වැන්කුවර් මගේ දෙවැනි ෆිල්ම් ෆෙස්ටිවල් එක. පළවෙනි එක නිව්දිල්ලි ෆෙස්ටිවල් එකනේ. අමරනාත් ජයතිලකත් වැන්කුවර් ෆෙස්ටිවල් එකට ගියා. ඔහු මට හඳුන්වා දුන්නා උමාදා කුන්දා කියන ප්‍රකට විචාරිකාව.

එයා තමයි කිව්වේ පෝල් කොක්ස් කියලා හොඳ අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් පෙන්වනවා, ඒක බලන්න යමු කියලා. අපි තුන්දෙනාම ගියා. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාට පස්සේ නරඹන්නන් අසුන්වලින් නැඟිට අත්පොළසන් දෙමින් ඔහුට ප්‍රණාමය පුද කළා. ඒ අතරේ ඔහු එළියට දිව යනවා අපි දැක්කා. හැමෝම හෙව්වා. ඒත් පෝල් නෑ.

ඊට පස්සේ?

මමයි, උමයි දෙන්නා එළියට ආවා. අපි දැක්කා ඈත නවතා තිබුණ වෑන් රියකට හේත්තු වෙලා පෝල් අඬනවා. අපි එතනට දිව්වා. අපි දෙන්නව අත් දෙකෙන් තුරුල් කරගෙන මෙයා අඬනවා. ඊට පස්සේ අපි තුන් දෙනා කෝපි බොන්න ගියා. පෝල්ගේ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට තෝරා ගෙන නොතිබූ නිසා අර ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඔහුට දරා ගන්න බැරි වුණා. ඒකයි ඔහු දුක් වුණේ. එතනදි තමයි පෝල් මගෙන් ඇහුවේ Island කියලා Film එකක් කරනවා, ඒකේ රඟපාන්න කැමැති ද කියලා.

මොකද හිතුණේ?

මම පුදුමයට පත් වුණා. ආයේ දෙපාරක් හිතන්නේ නැතිව හා කිව්වා. එහෙමයි ඒකට Join වුණේ. චිත්‍රපටයේ තිර රචනයේ මුලින් තිබුණේ ඉන්දියන් ලේඩි කෙනෙක් දූපතකට ඇවිත් අතරමං වෙනවා. ඊට පස්සේ ලංකාවේ කාන්තාවක් දේශපාලන බලපෑම්වලින් බේරෙන්න දූපතට එන විදිහට ඒක වෙනස් කළා. විජය කුමාරණතුංග ඝාතනය ගැන මගෙන් තොරතුරු අහලා තමයි පෝල් අර මුල් කතාව වෙනස් කළේ . ක්‍රිස් හේවුඩ් සහ අයිරින් පපා කියන ජගත් කීර්තිධර නළු නිළි දෙපළ එක්ක තමයි මම Island චිත්‍රපටයේ රඟපෑවේ.

ඔබ නිෂ්පාදනය කළ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයෙන් අපේ වාණිජ සිනමාවේ එක්තරා ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙනවා. සුනිල්සෝම පීරිස් අධ්‍යක්ෂවරයකු වන්නේත් ශෂී විජේන්ද්‍ර රංගනයට එක් වන්නේත් මේ චිත්‍රපටයෙන්. දින සියය ඉක්මවා එය ප්‍රදර්ශනය වෙනවා. සිනමාවේ තවත් පැත්තකින් ඔබ ලැබූ විජයග්‍රහණයක්?

ඒ වෙනකොට ප්‍රේක්ෂකයෝ අපේ සිනමාවෙන් ඈත් වෙලයි හිටියේ අසංක. ‘ඔබට දිවුරා කියන්නම්’ මාර Hit එකක් වුණානේ. සමහරු මට දොස් කිව්වා. මේ ඊයේ පෙරේදා ජැක්සන් ඇන්තනිත් කිව්වා අපේ සිනමාවට කොපි කරන්න පුරුදු කළ කෙනෙක් මම කියලා. ශෂී එතකොට වැඩ කළේ ඩුබායිවල. එයා ඩුබායිවලින් Films අරගෙන ඇවිල්ලා තිබුණා. ඒක ලස්සනයි කියලා කිව්වාම මම සුනිල්සෝමට දුන්නා මේකෙන් චිත්‍රපටයක් කරමු කියලා. මමත් තරුණයි. ඒ කාලේ තේරුමක් තිබුණෙත් නැහැනේ. සුනිල් ඒක එහෙම්ම කොප්පේ ගැහුවා.

එහෙම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ එක ගැන අද පසු තැවෙනවාද?

අනේ නෑ. ශෂී සිනමාවට ආවා. ඒ වගේම එච්. ආර්. ජෝතිපාලයන්ට හොඳම ගායකයාට හිමි ‘සරසවිය’ සම්මානය හිමි වුණා ‘පාළු සුසානේ’ ගීතයට. ආපහු ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට ආවා. මම මුලින්ම නිෂ්පාදනයෙන් දායක වුණේ ‘කැලෑ මල්’ චිත්‍රපටයට. ඊට පස්සේ ‘කෙළි මඬල’, ඒකට සරසවිය සම්මාන දාහතරක් ලැබුණා. ‘ජුලියට්ගේ භූමිකාව‘ චිත්‍රපටයත් නිෂ්පාදනය කළානේ. ඒ නිසා ඒ පැත්තෙනුත් සිනමාවට හොඳ දෙයක් කළාය කියන පිවිතුරු හැඟීම මගේ සිතේ තියෙනවා.

සිනමාවේ ඒ සියල්ල එසේ සිදු වෙනකොට ඔබේ පෞද්ගලික ජීවිතයෙත් යම් යම් වෙනස්කම් සිදු වෙනවා?

ඒ වෙනකොට මගේ පළමු විවාහය බිඳ වැටිලා. 1991 දී මම දෙවැනි වරටත් විවාහ වෙනවා. ඔහු වැවිලිකරුවෙක්. ඒ විවාහයත් ඇත්තටම දික්කසාදයකින් තමයි කෙළවර වුණේ. අවුරුදු දොළහක් තිබුණ අපේ විවාහය බිඳ වැටුණේ ඔහුගේ වරදක් නිසාවත් මගේ වරදක් නිසාවත් නෙවෙයි. වෘත්තීමය වශයෙන් අපි දෙන්නගේ තිබුණ නොගැළපීම් නිසා. ඒ කියන්නේ ඔහු තේ වත්තක ජීවත් වුණේ. මම කොළඹ. මේ කාර්යබහුලත්වය නිසා දෙන්නට එකට ඉන්න බැරිව ගියා. මට එහෙ යන්න බෑ. එයාට මෙහෙ එන්න බෑ. ඔය හේතුව උඩ. ඔය ඝට්ටනය තමයි ඇති වුණේ. මහේෂ් හොඳම හොඳ, ගුණ යහපත් මනුස්සයෙක්. ඔහු මට හමු වුණ කල්‍යාණ මිත්‍රයෙක්. ජීවිතය ගැන මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

ඔබ ජීවිතයේ විවිධ අභියෝග, අර්බුදවලට මුහුණ දුන් කෙනෙක්. ඒ කටුක, අමිහිරි අත්දැකීම් නිසා කලකිරීමට, මානසික කඩා වැටීම්වලට ඔබ නිරන්තරයෙන්ම ලක් වුණා. මේ ආ ගමන් මඟ දෙස හැරී බලනකොට ඒ අඳුරු අතීතයක් අමතක කරන්නට බැහැ?

2000 ජනවාරි 02 වැනිදා මගේ මොණරාගල නිවස පිච්චුවානේ. ඒක දේශපාලන පළිගැනීමක් කියලා කවුරුත් දන්නවනේ. එදා තිබුණු ආණ්ඩුවේ මැරයන් අපේ කලාකරුවන්ට පහර දීපු වෙලාවේ ඒක වැරදියි කියන්න මම විරුද්ධ පක්ෂයේ දේශපාලන වේදිකාවට නැංගා. මගේ දේශපාලන ජීවිතය දවස් තුන හමාරයි. මීටින් හතක විතරයි මම කතා කළේ. මාධ්‍යයට මගේ කතාව අල්ලන්න ඇති. ඊ. ඍ. චැනල්ස්වල පෙන්නුවෙත් මගේ ස්පීචස්. පත්තරවල ගියෙත් මගේ ඒවා. ගේ ගිනි තියන්න කලින් 1999 දෙසැම්බර් 25 නත්තල් දවසේ මගේ කලාපුර නිවසට බෝම්බ ගැහුවනේ. බිත්ති පෙනේරයක් වගේ වුණා. මගේ දුවට එතකොට බබා හම්බ වෙන්න හිටියේ. මම හිටියේ මොණරාගල.

කොහොම හරි රට හැර යන්න පවා ඔබට සිදු වුණා?

භාත්ඛණ්ඩේ විභාගවලට පෙනී සිටින්න මම ලක්නව් ගියා. තිබුණ ජීවිත අවධානම නිසා මමම දින වෙන් කරගෙනයි එහෙම ගියේ. ජනවාරි 02 වැනිදා මොණරාගල ගේ ගිනි තියන කොට මම හිටියේ ලක්නව්වල. දිල්කි තමයි මට Call කරලා කිව්වේ ගෙට ගිනි තිබ්බා කියලා. පෙබරවාරි මාසේ මාව ගෙන්වනවා ලයනල් වෙන්ට්ඩ් එකට ‘ට්‍රෝජන් කාන්තාවෝ’ පෙන්නන්න. මට මරණ තර්ජන එනවා. එහෙම තියෙද්දි තමයි අපි ඒ නාට්‍යය පෙන්නුවේ.

අනෝජා වීරසිංහ සිනමාවෙන් උපයා ගත් බොහෝ දේවල් දේශපාලනය නිසා අහිමි වුණා?

ඇත්තටම අසංක ඒක තමයි වුණේ. මොණරාගල මගේ ගේ ගිනි තියපු වෙලාවේ ගෙයි බිත්තියේ එල්ලලා තිබ්බ බුද්ධ රූපේ විතරයි ඉතිරි වුණේ. අනෙක් පිනතූර සියල්ල පිච්චිලා. එතකොට මගේ සහතික, පේපර් කටින්ස්, ස්කෝල සහතික පවා විනාශ වුණානේ. පරණ ස්කෝලේ සහතිකයක්වත් මට නෑ දැන්. මේ ඊයේ පෙරේදා කවුරු හරි ‘සිරිමැදුර’ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක මගෙන් ඉල්ලුවා පොතකට දාන්න. හොයන්න යනකොට ‘අනේ ඒකත් අර පිච්චුන ගොඩේනේ තිබ්බේ’ කියලා එක පාරටම මතක් වුණා. ජීවිත කාලය පුරාවටම ඒ අඩුව තියෙනවා.

එවැනි සිදුවීම් නිසා ඔබේ ජීවිතයේ ඇති වූ කළකරීම්, මානසික ආතතීන් ඔබ විඳ දරා ගන්නේ කොහොමද?

ජීවිතයේ යථාර්ථය, මේ සියලු දේ අනිත්‍යය බව මට වැටහුණේ සුනාමි ව්‍යසනයත් එක්ක. එක කාන්තාවක් මට හමු වුණා සුනාමියෙන් එයාගේ දරුවෝ හතර දෙනයි, මහත්තයයි සේරම ගහගෙන ගිහින්. මුළු නිවසම සුනාමියට ගියා. ඒ කාන්තාව හඬා වැළපෙනවා ‘අනේ මට එයාලගේ පින්තූරයක්වත් නෑනේ’ කියලා. එදා මට හිතුණා අනේ අපි මේ මොනවද අපේ කියලා බදාගෙන, ගොඩ ගහගෙන ඉන්නේ කියලා. ඒත් අද මම හරි සතුටෙන් ඉන්නේ. ‘සරසවිය’ පත්තරේම පළ වූ මගේ පරණ ආර්ටිකල්ස් අරගෙන බලන්න. ජීවිතය කඩා වැටුණ, කළකිරුණ, දිවි නසා ගන්න හදපු, ඩිස්ප්‍රේසන්ස් ආපු අනෝජා වීරසිංහ කෙනෙක් තමයි ඔයාලට හමුවෙන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතපු එහෙම චරිතයක් නේ මම.

දිවි නසා ගන්න පවා හිතුණා?

එක පාරක් නෙවෙයි හත් පාරක්. ආපස්සට හැරිලා බලද්දී මට හිතෙනවා ඒ මම ද කියලා. මගේ ගේ ගිනි තියපු එකත් එක්ක හරියට මම බුදු දහමට සමීප වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක නේද කියලා මට දැනෙන්න පටන් ගත්තා. අනිත්‍යය කියන එක මට හොඳට දැනුණා. එදා බිත්තයේ එල්ලි එල්ලි තිබුණ බුදුහාමුදුරුවන්ගේ රූපය දැක්කාම මට නිකං පොල්ලෙන් ගැහුවා වගේ එකක් වුණා. මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ගැන මට ලොකු පැහැදීමක්, භක්තියක් ඇති වුණා. බුදු දහම ගැන මගේ දැනුම අල්පයි. බුදු දහම ගැන ගැඹුරින් හදාරන්න මට ලොකු ආසාවක් තියෙනවා. තාමත් ඒකට මට පින නෑ.

යෝග භාවනා තුළිනුත් ඔබ ජීවිතයට වටිනාකමක් එකතු කර ගත්තා?

මේ ලිපිය පත්තරේ පළ වෙන කොට අසංක මම ඉන්දියාවේ යෝග ආශ්‍රමයට ගිහින්. එහෙ මාසයක් පමණ මම ඉගැන්වීම් කටයුතු කරනවා. යෝග ආශ්‍රමයේ කටයුතු අපි කරන්නේ නොමිලයේ. ඒකට කියන්නේ කර්ම යෝගා කියලා.

අපි කරන්නේ අන් අය වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය වැය කිරීමයි. ඒකට අපි මුදල් අය කරන්නේ නෑ. ආපසු එනකොට අපි යෝග ගුරුවරු විසිතුන් දෙනෙක් මෙහෙට එක්කරගෙන එනවා. භාවනා සහ යෝග යුධ හමුදාව තුළ අද ගොඩක් ප්‍රචලිතයි. යුද හමුදාපති දයා රත්නායක ඒ කාර්යයට අපට සහාය වෙනවා. නන්ද සිරිවර්ධන මහතාත් මාත් යුද හමුදාවේ ඒ යෝග පුහුණු කිරීම් කරගෙන යනවා.

දිගු විරාමයකින් පසු නිලෙන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයේ ඔබ සුළු චරිතයක් නිරූපණය කළා. කොහොමද සිනමාවේ ඉදිරි ගමන?

සමහරු අහනවා මම සිනමාවෙන් සමු අරගෙන ද කියලා. නෑ එහෙම නෑ. හෙට මට හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. හැබැයි ඒ චරිතය මට ගැළපෙන, මට කරන්න යමක් තිබෙන චරිතයක් විය යුතුයි. එහෙම මිසක් මම සිනමාවෙන් සමු අරගෙන නෑ. සමුගන්න අදහසකුත් නෑ.