වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමය නම් . . .

රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි පාරිශුද්ධයි

සමාධි සැමියා දෙස බලාගෙන සිටියේ ඇසිපිය නොසොල්වමිනි. ඇගේ එක් අතක වූයේ ගමන් මල්ලකි. අනෙක් අතේ වූ යතුරු කැරැල්ල කරකවමින් කල්පනාවක නිරත වි සිටි ඇයගේ හාත්පස වූ නිහඬතාව බිඳුණේ යතුරු කැරැල්ලෙන් නැඟෙන ශබ්දයෙනි. වහින්නට ඔන්න මෙන්න තියෙන අහසක් හා සමාන වූ ඇගේ උවනින් පළ වූ සෝබර බව ප්‍රකාශ කළේ ඈට මෙලෙස වෙන්ව යෑමට සිදු වීම නිසා ඇති වූ ශෝකයයි. තවත් තත්පර කිහිපයක් උන් සිටි ඉරියව්වෙන්ම සිටි සමාධි පා පෙරට තැබුවේ ආපසු හැරී නොබලන්නට කර ගත් දැඩි අධිෂ්ඨානයකින් විය යුතුය. ඕ ගමන් මල්ල සුඛෝපභෝගී රථයට දමා රියැදුරු අසුනේ අසුන්ගෙන රිය ඉදිරියට පැද වූයේ එක් ඇසිල්ලකිනි.

විශ්වගේ නෙත රැඳුණේ ඔහුගෙන් වෙන්ව ගිය සිය ආදරණීය බිරිය දෙසටය. ඔහුගේ දෑස මානයෙන් රථය පිටමං වී යනතුරුම ඒ දෙස බලාගන සිටි ඔහු ආපසු හැරුණේ බලාපොරොත්තු සුන් වූ මුහුණ බිමට නැඹුරු කරමිනි.

ඔහු වහ වහා දිව ගියේ නාන කාමරය සොයායි. සිය ඇඳුම් උනා දමා මුළු නාන කාමරයම පිරිසුදු කළ ඔහු නාන්නට විය. සිය පිරිසිදුකම ආරක්ෂා කරන්නට මෙන් පිරිසිදු කාරකයක් ඔළුවේ සිට හලාගත් හෙතෙම පැය කිහිපයක්ම නාන කාමරයේ ගත කළේය. ඇඟලා ගත් අලුත් ඇඳුම දෙස කණ්ණාඩි මේසයේ වීදුරුවෙන් බැලූ ඔහු මහ මඟට පිවිසියේ මහා බරක් ඔළුව මත පැට වූ අයෙකු ලෙසිනි. සුඛෝපභෝගී වෙළෙඳසැලකට ඇතුළු වී ඖෂධ කිහිපයක් හා අත්‍යවශ්‍ය බඩු කිහිපයක් මිලදී ගත් ඔහු අයකැමිට මුදල් දෙන්නට ගොස්, අයකැමි අතෙන් ගිලිහි ඔහු අතැති මුදල් බිම වැටුණි. ඔහු අයකැමි දෙසත්, මුදල් දෙසත් වරින් වර බැලුවේ කුමක් කළ යුතු ද යන්න තීරණය කර ගත නොහැකිවය.

ඔහු පසුපස සිටින්නේ මුදල් ගෙවා භාණ්ඩ මිලට ගැනීමට තමාගේ වාරය පැමිණෙන තුරු බලා සිටන පාරිභෝගිකයන්ය. ඉක්මනින් තම කාර්යයන් කර ගැනීමට බලා සිටින පාරිභෝගිකයන්ට ඔහුගේ ක්‍රියාව ගැටලුවකි. විශ්වට පිටුපස සිටින පාරිභෝගිකයාගේ උවනේ වූයේ කෝපයකි. තමාගේ අතෙන් බිමට වැටුණු මුදල නොදැක්කා සේ පසුවන මෙවැන්නන් ගැන මේ පාරිභෝගිකයා මීට පෙර දැක නොතිබුණි. හේ සියලු බඩු ඒ ස්ථානයේම තබා වෙළෙඳ සලෙන් ඉවත්ව යන අයුරු එහි සිටි සියල්ලෝම පුදුමයට පත් කළහ. ඊළඟ ඉක්මන් ගමනින් ඇවිද ගිය විශ්ව ෆාමසියකට ගොඩ වැදී ඖෂධ මිලදී ගෙන නිවෙසට පැමිණියේ දැඩි වෙහෙසට පත්වය.

තැනින් තැන දමා ඇති රෙදි හා අනෙකුත් ද්‍රව්‍ය නිසා නිවෙස හැඩි වී ඇත. රැකියාව අහිමි වීම නිසා එයට ද යා නොහැකිය. ඖෂධ ඔහුට නැතිවම බැරිය. ඒ තත්ත්වයෙන් මිදීමට ගන්නා ඖෂධ ඔහු පාවිච්චි කරන්නේ වෛද්‍ය උපදේශයකින් ද තොරවය. ඉන් වන සෙතක් ද නොවේ.

‘මේ අසනීපයෙන් කොහොම හරි මිදෙන්න ඕනෑ’

විශ්ව සිටියේ දැඩි කල්පනාවකය. ඔහුගේ ඒ කල්පනාව කොතෙකුත් නතර වන්නේ සමාධි සිහිපත් වීමෙනි. ඇයගේ සුන්දර සිනාව පිරි උවන ඔහුගේ සිතට රැගෙන ආවේ ප්‍රීතියකි. ඒ ඇති වූ ප්‍රීතියෙන්ම අසුනෙන් නැගිට්ට ඔහු තීරණයකට පැමිණ තිබිණි.

මම මානසික රෝහලට යනවා’

විශ්ව ඔහුටම පවසා ගත්තේ මේ මොහොතේම එහි පිවිසීමට සූදානම් වන අතරතුරය.

රෝහලේ උන්නේ අමුතු පිරිසකි. ඔවුන් එකිනෙකා සිටියේ විවිධ වූ ලෝකවලය. එකෙක් කෑ ගැසුවේය. තවෙකෙක් කියව කියවා ඇවිද්දේය. අනෙකෙක් පැමිණ ඔහුට ගුටි ඇන්නේය. සමහරු මහ හඬෙන් සිනාසුණහ. ඇඬූහ. රණ්ඩු කළහ. එය සාමාන්‍ය ලෝකයෙන් වෙන් වුණු වෙනම ලෝකයකි. ඔවුන් පාලනය කිරීමට උන්නේ හෙදියන් කිහිප දෙනෙකි. ඔවුන්ගේ කාරුණික බව රෝගීන්ගේ සිතට සහනයකි. ඒ අය අතර ගැවසී එකිනෙකාව හඳුනාගෙන සිටින විශ්වට හෙදියකගෙන් ඇමතුමකි.

‘විශ්ව මට මේ ලිපිය හදලා දෙන්න’

විශ්ව සියල්ලන්ටම උදව් කරයි. වරෙක ඔහු සියල්ලන් වට කරගෙන නාට්‍යය ගීතයක් ගයමින් රඟපායි.

‘ගල්ලෙන බිඳලා

ලෙන්දොර ඇරැලා . . .’

ඔහුගේ මිහිරි ස්වරය මුළු රෝහලේම විහිද යන්නේ එතැනට නොපැමිණි අයට ද පැමිණෙන්නැයි කරන ආරාධනයක් ලෙසිනි. මෙසේ කාලය ගෙවී යද්දි ඔහු හිටිවනම හුදකලා වෙයි. ඒ හුදකලාවේ ඔහුගේ සිතට පිවිසෙන්නී සමාධිය. ඇය සමඟ ගෙවුණු ඒ සොඳුරු අවධිය සොයා ඔහුගේ සිත ඉබේම ඇදෙන්නේ නිතැතිනි. ඔහුට ඇයව මුණ ගැසුණු මුල්ම දිනය සිහියට නැගෙයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසානවීමෙන් පසුව විශ්වට උවමනා වූයේ රැකියාවක් කිරීමටය. ඒ සඳහා ඔහු සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම පෙනී සිටියේය. එවැනි එක් අවස්ථාවකදී දුටු ප්‍රියමනාප යුවතිය විශ්ව සිත් ගත්තේ ඉබේමය.

සමාධි සිටියේ කැල්කියුලේටරයෙන් ගණිත ගැටලුවක් විසඳමිනි. ඇය ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේ කඩවසම් තරුණයෙකි. වරින් වර ඔහු දෙස බලමින් සිටි සමාධි එක වරෙක තමා එකතු කරන සංඛ්‍යා කියවමින් සිටියාය. එක වරම ඇයට ඇසුණේ ඇය එකතු කරන ගණනේ පිළිතුරයි. ඉබේටම මෙන් ඈ හිස ඔසවා බැලුවේ තමා ඉදිරිපස අසුනේ උන් තරුණයා ඒ පිළිතුර ලබා දුන් හෙයිනි. සමාධිගේ උවනේ වූයේ පුදුමයකි. ඈ තවත් සංඛ්‍යා කිහිපයක් කියෙව්වේ තරුණයා ඒවාටත් පිළිතුරු නිවැරැදිව කියන්නේදැයි සිතමිනි. ඔහු ඒ සියල්ලටම පිළිතුරු සැපයූයේ කැල්කියුලේටරයක් ලෙසිනි.

ඔවුන් දෙදෙනාගේ සුහද ඇසුර දිනෙන් දිනම දලු ලා වැඩුණි. ඒ අතීතය සිහිපත් වනවිට විශ්වගේ නෙතඟට නැඟුණේ කඳුළකි.

‘මම කොහොම හරි පරීක්ෂණයට මුහුණ දෙනවා’

ඈත පෙනෙන අහස් කුස දෙස නෙත් රඳවමින් ඔහු තමාටම සපත වූයේය.

විශ්වට වැළඳී ඇති රෝගය කුමක්ද? ඔහුට කළ යුතු පරික්ෂණය කුමක්ද? මේ රෝගය සමාධි – විශ්වගේ සොඳුරු කැදැල්ලට කුමක් නම් වේද? මෙවැනි ගැටලු රැසක් අපගේ සිතට නැඟෙනු නියතය. මතු යම් දිනෙක ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය නැරැඹීම මඟින් ඔබගේ ගැටලු විසඳනු නියතය. ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය සිනමාවට රැගෙන එන්නේ තරුණයන් දෙදෙනෙකි. ඒ කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශය යන දෙසොහොයුරන්ය.

චිත්‍රපට ලෝකයේ සිනමා මාධ්‍ය භාවිතයේ ලා සහන් එළියක් දල්වන ලකුණු පෙනෙන්නට තිබෙන තරුණයන් දෙදෙනෙක් වන ඔවුහු ලාංකේය සිනමාවේ දෙසෙහොයුරන් එක් වී අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වන්නේය. මීට පෙර දෙසොහොයුරන් එක් වී කළ නිර්මාණයක් වූයේ ගිවන්ත අර්ථසාද් හා දිනේෂ් ප්‍රියසාද් නිම කල කාටුන් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ කැමරාව හසුරුවන ලද්දේ ජාන් ශෙන්බර්ගර් විසිනි. ඔහු කල්පන ආරියවංශ සමඟ එකම විශ්ව විද්‍යාලයේ සේවය කළ අයෙකි.