වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ශාන්තාට ගිනි ලෑවේ කවුද ?
මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී 68 වසරක් පිරීම නිමිත්තෙනි

ශාන්තාට ගිනි ලෑවේ කවුද ?

අපේ මුල්ම කතානාද චිත්‍රපටය වන කඩවුණ පොරොන්දුව චිත්‍රපටය තිර ගත ව මේ මස 21 වැනි දිනට හැට අට වසරක් සපිරෙයි.එබැවින් අපේ සිනමාවේ නිළ උපන්දිනය ලෙස නම් කරන ලද්දේ එදිනය.එමෙන්ම එදා මෙදා තිර ගත කරන ලද්දා වූ සිංහල චිත්‍රපට අතරින් බහුතරය නම් කොට ඇත්තේ ලලනාවන්ගේ නමිනි.අහම්බයකින් පළමු කතානාද චිත්‍රපටය නොවී දෙවැනි කතානාද චිත්‍රපටය වන්නට සිදු වූ අශෝකමාලාවේ සිට අපේ චිත්‍රපට නාමාවලිය බලන්නෙකට එය මනාව පැහැදිලි වන්නකි.එබැවින් දෝ අපේ සිනමාව මුල සිටම ස්තී‍්‍ර විලාසයක් අත්පත් කර ගෙන ඇත්තේය.ඒ වයස හංගා කතා කිරීමටය.ඇත්ත නම් අපේ සිනමාව පෙනෙනවාට වඩා වයසය.එහි මුල්ම චිත්‍රපටය නිර්මාණය කරන බවට ප්‍රධාන ශාක්ෂිය ඇත්තේ 1925 වසරේදීය.ඒ රාජකීය වික්‍රමය හෙවත් ශාන්තාය.මේ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ගුප්තා නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් බවත් එය නිපදවන ලද්දේ ටී.ඒ.ජේ.නූර්බායි විසින් බවත් පැරණි සිනමා ලේඛකයකු වන ඩී.වි.සෙනෙවිරත්න විසින් හෙළිදරව් කරන ලදී.ඒ එහි ප්‍රධාන චරිතය රඟපෑ පසුකලක මෙරට කීර්තිමත් දේශපාලකයකු වන ආචාර්ය එන්.එම්.පෙරේරා මහතා සමග කරන සාකච්ඡාවකින් පසුවය.

මේ සාකච්ඡාව 1955 වසරේ නොවැම්බර් තුන් වැනි දා ඉරිදා ලංකාදිප පුවත්පතේ පළ කරන ලද්දේ ඇන්.ඇම්.පෙනී සිටිය පළමුවන සිංහල චිත්‍රපටය යනුවෙනි.එහි සෙසු චරිත බර්ගර් ජාතික යුවතියක වන ශිබිල් ෆිම් ප්‍රමුඛ එන්.පී.ඩී.ඇල්බට් සිල්වා,රෙජිනෝල්ඩ් පෙරේරා,පර්සි පෙරේරා.ග්‍රේෂන් පෙරේරා ,එරික් වීරසේකර,ඩේවිඩ් මැනුවෙල්,එන්.ආර්.ඩයස් ආදින් විසින් නිරූපණය කරන ලද බව සඳහන්ය.මේ අතරින් එන්.ආර්.ඩයස් පසුකලක නිපද වුණ දෙවැනි ලාංකික චිත්‍රපටය වන පළිගැනීම චිත්‍රපටයේ ද චරිත නිරූපණය කළේය. ඩයස් අපේ නළු නිළියන් අතර නිහඬ සිනමාවට මෙන්ම කතානාද සිනමාවට දායක වන්නට වරම් ලද එකම නළුවා වන්නේය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිනමාවේ මාවත නව යුගයකට යොමු කරමින් රේඛාව චිත්‍රපටය නිර්මාණය කරද්දී එහි සට කපට ව්‍යාපාරිකයකු වන පොඩි මහත්තයාගේ චරිතය නිරූපණය කරන ලද්දේ ද එන්.ආර්.ඩයස් විසිනි.ඔහු කතානාද සිනමාවට එක්වනුයේ සිරිසේන විමලවීරයන්ගේ අම්මා චිත්‍රපටයේ රඟපෑමෙන් සහ ගායනයෙනි.චිත්‍රපටයේ එන ගාල කඩා ගෙන හරකා දුවනවා නම් ජනපි‍්‍රය ගීතය ගායනා කරන ලද්දේ ද ඩයස් විසිනි.ඔහු විමලවීරයන්ගේ ආර්ය සිංහල නාට්‍ය සභාවට දායක වූවෙක් ද වෙයි. ඩයස් එයට අමතරව සංදේශය,චණ්ඩියා,සිරකරුවා,පිටිසර කෙල්ල,සීදේවි ඇතුළු චිත්‍රපට රැසකටම දායක ව ඇති වග නුවන් නයනජිත් කුමාර රචනා කරන ලද ශී‍්‍ර ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය සඳහන් කරයි.

ඩී.වි.සෙනවිරත්නයන් විසින් 1958 වසරේ දී ලියා පළ කරන ලද චිත්‍රපටි කලාව ග්‍රන්ථයහි සඳහන් වන පරිදි රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා චිත්‍රපටය සඳහා ආචාර්ය එන්.එම්. තෝරා ගෙන ඇත්තේ ඔහු කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය හදාරා එවකට පැවැති මෙට්‍්‍රක් විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයට යන්නට සිටි අතරතුරය.චිත්‍රපටයක රඟපෑම සඳහා නළු නිළියන් අවශ්‍යයැයි එහි නිෂ්පාදක නූර්බායි විසින් පුවත්පතක පළ කරන ලද දැන්වීමක් අනුව එන්.එම්.පෙරේරා මහතා එහි ගිය වග වාර්තා වෙයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඔහු තෝරා ගෙන ඇත්තේ එමගිනි. ආචාර්ය එන්.එම් යනු මෙරට දේශපාලන

කෙෂ්ත්‍රයේ සිටි කඩවසම් පුද්ගලයන් ගෙන් කෙනෙකි.චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතය රඟපාන ලද්දේ ග්‍රේෂන් පෙරේරා ය.එහි ළමා චරිතයක් රඟපාන ලද්දේ එවකට රඟ දැක් වූ ජෝන් ද සිල්වා ගේ වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණජිනා ලෙස රඟ පෑ පියදාස විශ්වකුළ ය. පසුකලක ඔහු ටවර් රඟහලේ පැවැති නාට්‍යය රැසකටම දායක වූ බව සඳහන් වෙයි.මෙම චිත්‍රපටය රූප ගත කරන ලද්දේ බම්බලපිටියේ වෙළඳ පොළ සහ තුරඟ තරඟ පිටිය අතර පිහිටි විශාල වත්තක් සහිත ගොඩනැගිල්ලකය.ඒ සඳහා වීදි කැලෑ ගෙවල් ආදි පසුතල මෙහි ගොඩ නංවන ලද බැව් සෙනෙවිරත්නයන් අනාවරණය කරයි.ශබ්ද පටිගත කිරීමක් නැති යුගයක් නිසා බාහිර ශබ්ද මේ යුගයේ ගැටළුවක් වන්නේ නැත.මේ අතීතය සොයා බලන්නෙකුට කොළඹ තුරඟ තරඟ පිටිය ඉදිවනුයේ එයට පසු කලක බව පෙනී යයි.විශ්ව විද්‍යාල පරිශ්‍රය ගොඩ නැගෙන්නේ ද පසු කලකය.

ඉන්දියානුවන් විසින් මෙහෙය වන ලද කැමරාව ඉදිරියේ රඟ දක්වනු විනා එය අසලට ගොස් පරික්ෂා කරන්නට කිසිවිටෙකත් ඉඩ නොලැබුණු බව එහි රඟ පෑ එම්.පී.ඩී ඇල්බට් සිල්වා සෙනෙවිරත්නයන්ට අනාවරණය කොට ඇත.චිත්‍රපටයට පාදක වනුයේ ඵෙතිහාසික පුරා වෘතයකි. ඇන්.ඇම් මහතා එහි රඟපැවේ රජ කුමරෙකුගේ චරිතයයි.චිත්‍රපටයේ අවසන් ජවනිකාවේදී සතුරන් විසින් අත පය බැඳ විශාල ආයුධයකින් මරා දමන්නට නියමිත කුමාරයා සතුරන් ගෙන් බේරා ගනු ලැබේ.එහෙත් චරිතයට සුදුසු ඇඳුම් දවටා ගෙන සිරුරේ පාට තවරා ගෙන ගත කළ බයිස්කෝප් රඟපෑම ආචාර්ය එන්.එම්.පෙරේරා ට එපා වන්නට වැඩි කල් ගත වී නැත.හොඳීන් ඉර පායන තුරු බලා සිටින්නට සිදු වීමත් රස්තියාදුවත් ආචාර්ය එන්.එම් ට චිත්‍රපට රංගනය එතැනින්ම එපා කොට ඇති වගක් පළ වෙයි.කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ රඟපෑම උදෙසා ඔහුට රුපියල් සියයක් ගෙවන ලදී.1925 තරම් ඈත රුපියල් සියය යනු ඉතා ඉහළ මිලක් බැව් සඳහන් කළ යුතුය.

චිත්‍රපටය නිම කළ පසු නිෂ්පාදක නූර්බායි බොම්බායේ දී එහි සංස්කරණ කටයුතු කිරීමෙන් පසු බොම්බායේ සහ ඒ අවට ද සිංගප්පූරුවේ ද දර්ශණය කළ බවත් පසුව එයට ලැබුණු ඉහල ප්‍රතිචාර හේතුවෙන් යළිත් එය බොම්බායේ ද ප්‍රදර්ශණය කළ බැව් පැවසේ. අනතුරුව එය ලංකාවේ තිර ගත වන්නට මත්තෙන් අභිරහස් ගින්නකට හසුව විනාශ විය.එය හදිසි අනතුරක් නොව එය සිදු කරන ලද්දේ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකු සහ මෙරට ප්‍රදර්ශකයකු විසිනැයි ද සෙනෙවිරත්නයන් පවසයි.එබැවින් අපේ මුල්ම චිත්‍රපටය මෙරට තිර ගත නොවිණ.එහෙත් එයින් දස වසරකට පසු එනම් 1936 මැයි 19 වැනි දින දෙවැනි ලාංකික චිත්‍රපටය පළිගැනීම එවකට කොළඹ කොටහේනේ ගෙයිටි සිනමාහලේ දී තිර ගත විය.ටවර් හෝල් නළුවකු කැමරා ශිල්පියකු වන ඩබ්ලිව්.දොන් එඩ්වඩ් විසින් නිර්මාණය කරන ලද එහි එන්.ආර්.ඩයස්,ගුණපාල,ශි‍්‍රයා කාන්තා, ඩී.ඒ.සංඝපාල, ආදින් එහි චරිත මවන ලදී.පසුව එ සමයේමම කොළඹ ආනන්ද විදුහලේ ද ප්‍රදර්ශණය කරන ලද මේ චිත්‍රපටය ප්‍රචණ්ඩ එකකැයි කරුණු දැන් වූ එවකට මෙරට බලධාරින් එය තහනම් කරන්නට කටයතු කළහ.එහි නිෂ්පාදක එඩ්වඩ් පසුව මෙරට චිත්‍රා ගාරයක් තැණනු මුල්ම කතානාද චිත්‍රපටය වන බණ්ඩා නගරයට පැමිණීම රඟපෑමට දායක විය.එහෙත් ඒ අතරතුර කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දි හැදුණු හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගියේය.එබැවින් අපේ මුල්ම චිත්‍රපට නිෂ්පාදකවරුන් දෙදෙනාටම සිදුවූයේ හිත් වේදනා ඇති වීම පමණී.

අපේ මුල්ම නිෂ්පාදක වන නූර්බායි එවකට දැවැන්ත ව්‍යාපාරයක් වන වැල්ලවත්ත රෙදි මෝල ඇතුළු විශාල ව්‍යාපාර රැසක් ආරම්භ කරන ලද බෝරා ජාතිකයෙකි.ඔහු චිත්‍රපට කර්මාන්තයට දායක වනුයේ ප්‍රදර්ශකයෙකු හැටියටය.ඒ කොටුව මල්වත්ත පාරේ ලන්ඩන් බයිස්කෝප් සිනමාහල ගොඩ නගමිණි.පසුව වැල්ලවත්තේ ට්‍රිවෝලි නමින් සිනමාහලක් ගොඩ නගන ලද්දේ ද නූර්බායි විසිනි.මේ සිනමාහල 1982 වසර වන තුරු චිත්‍රපට ප්‍රදර්ශණය කරන ලද අතර එය අවසන් කාලයේ හදුන්වන ලද්දේ ප්ලාසා නමිනි.පසුව ඔහු මරදානේ කයිටිරියන් ශාලාව සිනමාහලක් බවට පත් කරනුයේ නිව් ඔලිම්පියා යන නාමය යොදවමිනි.ඒ වනවිටත් ඔහුගේ ට්‍රිවෝලි සිනමාහල හඳුන්වා ඇත්තේ ඔලිම්පියා යන නමිනි.අනතුරුව 1928 වසරේ දී චිත්තම්පලම් ඒ.ගාඩිනර් සහ සී.එල්.තම්බය්යා දෙදෙනා විසින් සිලොන් තියටර්ස් සමාගම ආරම්භ කිරීමේ දී ද නූර්බායි එහි කොටස් කරුවකු පමණක් නොව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වෙයි. නූර්බායි මිය යනුයේ 1938 වසරේ දීය.මේ අනුව ඔහු මිය යන තුරුම මෙරට සිනමා ක්ෂෙත්‍රයට සෘජුව දායක ව සිටි වග පෙනෙන කරුණකි.

1925 වසරේ ඉන්දියාවේ තිර ගත කරන ලද චිත්‍රපට අතර ශාන්තා නමින් චිත්‍රපටයක් ඇති වග ඉන්දියානු වාර්තා වල පෙන්වා දෙයි.මේ චිත්‍රපටය නූර්බායි විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රටපටය ම ද යන්න් සැකයක් පවතී.එයට හේතුව කිසිදු ජාතියක් ජම්මයක් සොයා ගත නොහැකි එම ශාන්තා තිර ගත කොට ඇත්තේ මදාන් චිත්‍රපට සමාගම මගින් වීමය.මදාන් චිත්‍රපට සමාගම යනු ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ පුරෝගාමින්ය.එම්පයර්,එල්ෆින්ස්ටන්,මැජස්ටික් ඇතුළු චිත්‍රපට ශාලා ගොඩ නංවන ලද්දේ ඔවුන් විසිනි.එමෙන්ම ඒ අවදියේ මුළු මහත් ආසියාවේ වැඩි කොටසක තිර ගත කරවන ලද්දේ මදාන් මගින් නිපදවන ලද හෝ බෙදා හරින ලද චිත්‍රපටයන්ය. එයට අමතරව පැවැති ඉම්පීරියල් ඉන්දියානු සමාගම් ය.එසේ නම් ශාන්තා ගිනි ලන ලද්දේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශණය හිමි සමාගමක් නම් ඒ මෙරට චිත්‍රපට නිපදවීමෙන් තමන්ට සිදුවන අවාසිය වටහා ගත් කිසිවකු හෝ විසින් ද නැතහොත් නූර්බායි සමග ව්‍යාපාරික අවුලක් නිසා ද යන ගැටලු අතීතයේ අබිරහස් අතර සැඟව පවතී.එසේ නම් එලෙස ගිනි තැබීමේ වාසිය ඇත්තේ කාට ද?එවකට මෙරට චිත්‍රපට ඒකාධිකාරිය කර සිටි මදාන් එයට හවුල් වී ද යන සැකයක් ඇති වීම ස්වභාවිකය.නැත්නම් චිත්‍රපටය නොසිතූ පරිදි ගිනි ගත්තා ද ?එසේ නම් ශාන්තා නමින් ඉන්දියාවේ තිර ගත කරන ලද චිත්‍රපටය වෙනත් චිත්‍රපටයක් ද ?

මුල්ම කතානාද චිත්‍රපටය තිර ගත කොට හැත්තෑ වසර සපිරෙනුයේ තවත් දෙවසරකිනි. අවම වශයෙන් ඒ වන විටවත් එයට සරිලන උත්තරයක් සොයා ගැන්මට අපට හැකි වෙයි ද?