වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මම තැනකට ඇවිත් තාත්තාගේ නිර්මාණ එකතුවක් කරනවා

මම තැනකට ඇවිත් තාත්තාගේ නිර්මාණ එකතුවක් කරනවා

කැත වැඩ කරන්න එපා හලෝ හරිඳුගේ මූණටම සමහරු බැනලා

උතුම් පැතුම් නරඹන ප්‍රෙක්ෂකයෝ නම් හරිඳු වරුණ පෙරේරාට නොසෑහෙන්න බනිනවා. ඒ නාට්‍යය තුළ ඔහු කරන අකටයුතුකම් හින්දා. සැබෑ ජීවිතයේදී හරිඳු බිත්තරයක්වත් නොකන කෙනෙක්. ඒ වගේම ඔහු හරිම සංවේදියි. හරිඳු නම් කියන්නේ හදවතේ තියෙන සෞම්‍ය ගතයට වඩා මුහුණේ ඇති රෞද්‍ර ගතියට ඒ වගේ චරිත ලැබෙන බවයි.

චන්දරේ තමයි උතුම් පැතුම් හි මගේ චරිතෙ නම. එයට ලැබෙන ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. බාල මහළු වැඩිහිටි කොයි කාගෙනුත් බැනුම් අහනවා චන්දරේ හින්දා. සමහර අය ළඟටව ඇවිත් කියලා යනවා කැත වැඩ කරන්න එපා හලෝ කියලා. චන්දරේ තමයි උතුම් පැතුම් නාට්‍යයේ කතාවට අනුව යටිකූට්ටු වැඩ ඔක්කොම කරන්නේ.

හරිඳු නපුරු චරිත තමයි වැඩපුරම රඟපෑවේ?

ඉතින් මට ඒ ලැබෙන නිසානේ. බාහිර පෙනුමටයි එවැනි චරිත ලැබෙන්නේ. මගෙත් කිසිදු අකැමැත්තක් නැහැ එවන් චරිත කරන්න.

දිගින් දිගටම එකම රාමුවක කොටුවීම තුළ චරිතාංග නළුවකු වීමට ඇති ඉඩකඩ ඔබට අහිමි වෙනවා නොවේද?

මම 1990 ඉඳලා ක්ෂේත්‍රයේ ඉන්නවා. මුලදි මුලදි ඉතාම සුළු චරිත ලැබුණේ. කොහොම හරි අමාරුවෙන් කට්ට කාලා මේ ගමන ආවා. ඒ කාලය අතරතුර ලැබෙන චරිත ප්‍රතික්ෂේප කර කර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට පහුකාලීනව උප ප්‍රධාන චරිත ලැබුණා. නමුත් ඒවා සේරම කළු චරිත. මම කොහොමද එහෙම වුණා කියලා එම චරිත ප්‍රතික්ෂේප කරන්නේ? තෝරා බේරාගෙන රඟපෑවා නම් මමත් තවම එක තැන.

ඔබ රංගනයට අමතරව ව්‍යපාරිකයකු ද වෙනවා. ඔබට පුළුවන්කමක් තිබණනේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් යොදවා නිර්මාණයක් කරලා එම නිර්මාණයය තුළ වෙනස් වූ චරිතයක් කරන්න?

අනූවේ දශකයේ මුල සිටම නිෂ්පාදකවරයකුවීමේ සිහිනය තිබුණා. නමුත් මට බයයි චිත්‍රපටයක් කරලා පෝලිම්වල තියාගෙන ඉන්න සිදුවේවි කියලා. මම වයසට ගිහිල්ලා තියේවි චිත්‍රපටය එනකොට. වර්තමානයේ තියෙන තත්ත්වය අනුව ටෙලි නාට්‍යයක් නම් කරන්න හිතක් නැහැ.

හරිඳු වැඩිපුරම රඟපෑවේ ටෙලි නාට්‍යවල. ඔබ දකින විදිහට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු මොනවාද?

මෙගා නාට්‍යයක් කොටස් සියයකට සීමා කිරීම තමයි තිබෙන ලොකුම අඩුපාඩුව. හොඳ මෙගා නාට්‍යයක් කොටස් සියයකට සීමා කරන්න බැහැ. ඒවා කොටස් සියයකට වැඩි කළ යුතුයි. හැබැයි මෙන්න මෙහෙම ගැටළුවක් තියෙනවා. මෙගාවල ගුණාත්මකභාවය බලලයි එහෙම කරන්න ඕනෑ. මොකද මෙලෝ රහක් නැති නාට්‍යයක් කොටස් සියයකට වඩා ඇද්දොත් මිනිස්සුන්ට එපා වෙනවා. ඒත් සමඟම තවත් විශාල අඩුපාඩුවක් මට දකින්නට තියෙනවා. ඒ හිතවත්කම් මත නිර්මාණවලට චරිත ලබාදීම.

ඔබත් ඒ ගැටළුවට මුහුණ දීලා ඇති?

ඔව්. ගොඩක් අය අහනවා මගෙන් ඇයි නිතරම එකම අධ්‍යක්ෂවරුන් පිරිසක් යටතේ රඟපාන්නේ කියලා. මම වැඩ කරන නිර්මාණකරුවන් තමයි නළු නිළියන්ගේ හිතවත්කම් මත තීරණ නොගෙන ඔවුන්ට සරිලන චරිත ලබාදෙන පිරිස. මට ඉන් පරිබාහිරව චරිත ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ මම අනවශ්‍ය විදිහට නිර්ාණකරුවන් එක්ක ඇයි හොඳයියක් නැති නිසා.

ඔබගේ පියා මෙරට ප්‍රකට අධ්‍යක්ෂවරයෙක්. එමෙන්ම ජනප්‍රිය නළුවෙක්. ඔහු ගැන කතා නොකළොත් ලොකු අඩුවක්?

තාත්තා තමයි එල්. එම්. පෙරේරා. ඔහු චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේදී පවා මූලිකත්වය ගත් අයෙක්. කියන්න දුකයි ඇතැම් අය තාත්තාව හඳුනන්නේවත් නැහැ.

ඔබ එල්. එම්. පෙරේරාගේ බාල පුතු කියලාවත් නොදන්න අය ඉන්නවාද?

මොකද නැත්තේ. තාත්තා ඉන්න කොට අපිට හොඳින් සැලකුවා. ඒත් ඔහු නැති වුණායින් පසුව මාව පිළිනොගත්ත අය අනන්තයි. මම එතකොට තේරුම් ගත්තා මේ පිරිස මට නෙවේ සලකලා තියෙන්නේ කියලා.

තාත්තාගේ නිර්මාණ සංරක්ෂණය කරන්න අදහසක් නැතිද?

ඒවා සංරක්ෂණය කරන්න කලින් මම සංරක්ෂණය වෙලා ඉන්න එපායැ.

ඇයි එහෙම කියන්නේ?

මගේ හැකියාව තවම කවුරුවත් තේරුම් අරගෙන නැහැ. ඒ හැකියාවෙන් ඉදිරියට ගිහින් මම තැනකට ඇවිත් තාත්තාගේ නිර්මාණ එකතුවක් හදනවා.

තාත්තා ඔබට ලබා දුන්නු හොඳම දායාදය මොකක්ද?

ඇත්තම කිව්වොත් මගේ කලා හැකියාවනුත් ලැබුණේ ඔහුගේ ආභාෂය නිසා. නමුත් ඔහු මාව බෞද්ධ පරිසරයක හැදුවේ. ඒ ගුණ ධර්ම මගින් මම ජීවිතේ සවිමත් කරගත්තා. එයයි මම තාත්තාගෙන් ලද හොඳම දායාදය.

බ කායවර්ධන උපදේශකවරයකු විදිහටත් ක්‍රියා කරනවා නේද?

ඒ විතරක් නෙවෙයි. කරාතේ උපදේශකවරයකු වශයෙනුත් පෞද්ගලිකව ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ වගේම රූපලාවන්‍ය කටයුතු පිළිබඳවත් උපදේශකවරයෙක්. ලංකාවේ ප්‍රසිද්ධ මැති ඇමතිවරු, කලාකරුවෝ මම ළඟට එනවා ලස්සන වෙන්න උපදෙස් ගන්න.

මොනවාද ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු?

මේ දිනවල උතුම් පැතුම්වලට අමතරව රෑන ටෙලි නාට්‍යයෙත් රඟපානවා. තව නාට්‍ය ගණනාවක්ම එන්න තියෙනවා.

ඔබේ පුතුත් රංගනයට සම්බන්ධ වුණා කියලා ආරංචියි?

ඔව්. ඔහු වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා. ඒ අනුව බලන කොට එල්. එම්. පෙරේරාගේ මුණුපුරු රංගනයට ඇවිල්ලා.

ඔබේ ගමනට උදව් කළ අය කවුද ඉන්නේ?

ඇත්තෙන්ම ඒ අයව නම් මතක් කළ යුතුමයි. ශාන්ත සොයිසා, මහේෂ් රත්සර, ලලිත් වසන්ත, සඳුන් රාජකරුණා වගේ මහත්වරු හින්දා තමයි අද මම තැනක ඉන්නේ.