වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න රට විරුවෝ

මෙන්න රට විරුවෝ

ඉන්දික ජයසූරිය

වසන්ත කුමාරසිරි

අජිත් පි‍්‍රයන්ත

රුක්මන්ත

සෑම ඉරුදිනකම රාත්‍රි 10. 00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට රට විරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන පැමිණෙන්නේ විදෙස්ගත වූ සහෝදර සහෝදරියන් ගේ කලා හැකියාවන් ගොන්නක් සමඟිනුයි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය සහ විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාවට නැංවූ මෙම සුවිශේෂ රියැලිටි වැඩසටහන ඔස්සේ මේවන විටත් විශාල පිරිසක් තම කලා කුසලතා දක්වා අවසන්.

මේවන විට එය ක්‍රියාත්මක වෙන්නේ කටාර් රාජ්‍යයේ ය. මේ පිටුව වෙන් කෙරෙන්නේ එහි සිව්වන අදියරට එක්වන රට විරුවන් ඔබට හඳුන්වා දෙන්නයි. මොවුන් ගේ ගායන කුසලතා ලබන 12, වැනි දා රට විරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත.

ඉන්දික ජයසූරිය රට විරු වේදිකාවේ සිය ගායන කුසලතා දැක්වීමට වාසනාව ලද රට විරුවෙක්. පාසල් කාලයේ සිටම ගායන ක්‍ෂේත්‍රයට දැඩි උනන්දුවක් දැක් වූ අතර පාසල් කාලයෙන් පසුව සංගීත කණ්ඩායමකට සම්බන්ධව ගායකයකු ලෙසද කටයුතු කළ තරුණයෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත රත්නපුර පදිංචි ඉන්දික ජයසූරිය විදෙස් සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදී ය.

හලාවත පදිංචි වසන්ත කුමාරසිරි සංගීත හැකියාවන් ගෙන් යුතු තවත් රට විරුවෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ පසුගිය 2012 වසරේදී ය. කුඩා කාලයේ සිටම ගායනයට ලැදියාවක් දැක් වූ වසන්ත සිය වාදන හැකියාවන් දක්වමින් සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියකු ලෙසද කටයුතු කර තිබේ.

මීළඟට කටාර් හි රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වන්නේ මිනුවන්ගොඩ පදිංචි අජිත් පි‍්‍රයන්ත. පාසල් අවදියේ සිටම ගායනයට උන්නදුවක් දැක් වූ ඔහු විවිධ අවස්ථාවන්හි දී තම ගායන කුසලතා එළි දක්වා තිබේ . කටාර් හි විදුලි කාර්මික ශිල්පියකු ලෙස ඔහු විදෙස් සේවයට එක් වී ඇත්තේ පසුගිය වසරේ අගභාගයේදී ය.

හලාවත පදිංචි රුක්මන්ත වර්ණකුලසූරිය රට විරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. කටාර් හි ආරක්‍ෂක කළමනාකරුවකු ලෙස කටයුතු කරන ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ 2009 වසරේදී ය. පාසලේදී සංගීතය විෂයයක් ලෙස හැදෑරූ රුක්මන්ත පාසල් තරගවලට පවා සහභාගි වී සිය දස්කම් දක්වා තිබේ. ඊට අමතරව සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඔහු ඩුබායි හි ‘පවන’ රූපවාහිනී සේවයේ නිවේදකයකු ලෙස ද කටයුතු කර තිබේ.

නිෂාන් උදය කුමාර

නුවන් සම්පත්

කෑගල්ලේ නිෂාන් උදය කුමාර කටාර් හි රට විරුවෝ වේදිකාවේ ගායන තරුවක්. කුඩා කාලයේ සිටම ගායනයට දැක් වූ ලැදියාව නිසාම ඔහු පාසල් විෂයයක් ලෙසද සංගීතය හදාරා ඇත.

‘සුපර් ස්ටාර්’ දෝහා කටාර් හි පැවැති තරගයෙන් අවසන් දොළෙස් දෙනා අතරට තේරී පත්වීමට ද නිෂාන් සුදුසුකම් ලැබුවේය. ඔහු 2010 වසරේ දී තත්ත්ව පරිපාලකයකු ලෙස කටාර් හි සේවයට එක්වී ඇත.

නුවන් සම්පත් පෙරේරා රට විරු වේදිකාවට එක් වෙන්නේ ගායන තරුවක් ලෙසයි. කටාර් හි රියැදුරකු ලෙස සේවය කරන පිළියන්දල නුවන් සම්පත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2008 වසරේදී ය. කුඩා කාලයේ සිට සංගීත ක්‍ෂේත්‍රයට වූ ලැදියාව සමඟින් ගායනය විනෝදාංශය බවට පත්කරගත් ඔහු අද රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න සැරසේ.