වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමා කතාව 15

ඉන්දියානු සිනමා කතාව 15

නිහඬ සිනමාවේ  වැඩිම මිලක් අය කළ නිළිය

සිනමා නිළියක් වීමේ අභිලාෂයෙන් යුතුව අද බොම්බායට නැතහොත් මුම්බායි නගරයට එන යුවතියෝ එමටය.එහෙත් මේ සිහිනය සැබෑ කර ගන්නේ එහෙමත් කෙනෙකි. එහෙත් අතීතයේ දී මේ තත්වය එයට වඩා ඉඳුරාම වෙනස් විය. මුල් වරට චිත්‍රපට නිළියක් සොයා ගැනීමට පාල්කේ ගත් උත්සාහය මේ ලිපිමාලාව ආරම්භයේ දී මම විස්තර කළෙමි.

එබැවින් මෙවර අප සොයා යනුයේ මුල්ම ඉන්දියානු සිනමාඅධ්‍යක්ෂවරිය පිළිබඳවය. ලෝකයේ මුල්ම සිනමාකාරිණිය වීමේ ගෞරවය ලබා ගනුයේ ප්‍රංශයේ ඇලිස් ගයි බ්ල්ච් නම් සිනමාකාරිණියයි.ප්‍රංශයේ ගොමන්ට් සිනමා සමාගමේ මුලසුන හෙබ වූ ලියෝ ගෝමන්ට් ගේ ලේකම් වරිය වූ ඇය පසුව එම සමාගම වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියාය. එහෙත් ඉන්දියානු සිනමාවේ මුල්ම සිනමාකාරිණිය බිහි වනුයේ නිළියක් අතරිනි. ඇය පාතිමා බේගම්ය.

පාතිමා සිනමාවට එන විටදී කුලවත් කාන්තාවන් සිනමාව අනුදත් යුගය නොවීය.1892 වසරේ දී පාතිමා බායි උපන්නේ ඉන්දියාවේ උර්දු මුස්ලිම් පවුලක සාමාජිකාවක් හැටියටය. ඇය විවාහ වන්නේ මෝගල් රාජ වංශිකයකු වූ තුන් වන නවාබ් සිදි ඊබ්‍රාහිම් මොහමඩ් යකුත් ඛාන් සමගය. මේ විවාහය නීත්‍යානුකුල නොවූවත් සම්ප්‍රාදායිකව නවාබ් වරයා ඇයගේ දරුවන්ගේ නීත්‍යානුකූලත්වය බාර ගත්තේය. නිහඬ සිනමා යුගයේ සුපිරි තාරකාවක් වූ එමෙන්ම මුල්ම කතානාද හින්දි චිත්‍රපටය වූ අලම් අරා හි ප්‍රධාන චරිතය රඟපෑ සුබෙයිදා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූවාය.

සුල්තානා සහ සේසාද්‍රි ද ජනප්‍රිය සිනමා නිළියන් විය. මේ අතරින් සුබෙයිදා පසුකලක විවාහවුයේ හයිද්‍රාබාද් හි මහරාජාවරයකු වූ නරසිංගිරි ධන්රාජ්ගිරි සමගය.එයින් පසු ඇය හින්දු බැතිමතියක වූවාය. ඉතා මෑතක සුප්‍රකට සිනමා නළු සංජේ දත් දෙවන වර විවාහ වූ රියා පිල්ලේ ඇගේ මිණිබිරියක වූවාය. සුල්තානා ධනවත් ව්‍යාපාරිකයකු වූ සේත් රසාක් සමග විවාහ ව ඉන්දියාව බෙදි යද්දී පාකිස්ථානයේ කරච්චි නගරයේ පදිංචියට ගියාය.

පාතිමා සිනමාවට පිවිසෙන්නට පෙර උර්දු නාට්‍ය නිළියක වූවාය. අනතුරුව ඇය අර්දේශර් අයිරානිගේ වීර් අභිමාන්යු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවාය. කොහිනූර් සහ ඉම්පීරියල් චිත්‍රාගාර චිත්‍රපට කිහිපයකම රඟපෑ පාතිමා 1926 වසරේ දී තමන්ගේම පාතිමා ෆිල්ම්ස් ගොඩ නැගුවාය. එමගින් නිපදවන ලද බුල්බුල් ඊ පරිස්තාන් චිත්‍රපටයේ තිර නාටකය රචනා කළ ඇය එය අධ්‍යක්ෂණය කරමින් ඉන්දියානු සිනමාවේ වාර්තාවක් තැබුවේ එරට මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂිකාව වෙමිනි..

පාතිමා සිනමාවට හඳුන්වාදෙන අර්දේශර් (එම්) මර්වාන්. අයිරානි ඉන්දියාවේ මුල්ම කතානාද සිනමා කෘතියේ අධ්‍යක්ෂවරයා පමණක් නොව ඉන්දීය සිනමාවේ නිහඬ යුගයේ සිට කතානාද සිනමාව දක්වා මහත් පරිවර්තනයක් කළ සිනමා කරුවකු ලෙස සැලකිය යුතුය. 1886 වසරේ දෙසැම්බර් පස් වැනි දින පූනාවේ දී ඔහු උපත ලද්දේ ඉරාන සම්භවයකින් යුත් පවුලක සාමජිකයකු හැටියටය.ඔහු ඉන්දියානු සිනමාවට නළුවකු ප්‍රදර්ශකයකු තිර නාටක රචකයකු බෙදාහරින්නකු කැමරා ශිල්පියකු රචකයකු නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂකවරයකු හැටියට ද දායක වන්නේය.

එමෙන්ම ඔහුගේ ප්‍රතිභාව නිහඬ මෙන්ම කතානාද සිනමාව දක්වාම විහිද යන්නකි. ඉන්දියාවේ මුල්ම කතානාද සිනමා කෘතිය වූ අලම් අරා මෙන්ම මුල්ම වර්ණ චිත්‍රපටය වූ කිෂන් කන්‍යා නිර්මාණය කළේ ද ඔහුය. බොම්බයේ ජේ.ජේ පාසලෙන් අධ්‍යාපනය හදරාන අයිරානි මුලින්ම ගුරුවරයකු හැටියට ටික කලක් සේවය කිරීමෙන් අනතුරුව පියාගේ සංගීත භාණ්ඩ අලෙවි ව්‍යාපාරයට අත ගැසුවේය. ග්‍රැමෆොන් අලෙවිය දක්වා සිය ව්‍යාපාර පුළුල් කළ හෙතෙම අනතුරුව මෝටර් රථ අලෙවි කරණයේ ද යෙදුනි. සිනමාවේ ඔහුගේ හවුල්කරුවනුයේ අබුදුලාලි යූසුෆාලිය(1884-1957).යූසුෆාලි ලංකාව, ඉන්දියාව,බුරුමය,මැලේසියාව,සිංගප්පූරුව ආදි රටවල් ගණනාවක සංචාරක සිනමා ප්‍රදර්ශකයකු ලෙස හසළ අත්දැකීම් ලබා ගත්තෙකි.

ඔහු අයිරානි සමග එක්ව පළමුව බොම්බායේ ඇලෙක්සැන්ඩ්‍රා සිනමාහල ද දෙවැනුව මැජස්ටික් සිනමහල ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹූහ. අයිරානි සහ යූසුෆාලි අතර ව්‍යාපාරික මිත්‍රත්වය 1914 වසරේ පටන් යුසුෆාලිගේ මරණයෙන් පසුව ද එනම් වසර 55 ක්ම පැවැතියේය. පාල්කේ ගේ කාලියා මර්දන් සහ ක්‍රිෂ්ණා ජනම් චිත්‍රපට තිර ගත කරවන ලදදේ ද අයිරානිගේ සිනමාහල් වලය. චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුර අයිරානි සිනමාව සම්බන්ධ බොහෝදේ ඉගෙන ගත්තේය.

1917 වසරේ දි අයිරානි සිය මුල්ම නිෂ්පාදනය සඳහා අත ගැසුවද එය තිර ගත කරවන ලදදේ 1920 වසෙර්ය. ඒ නල දමයන්ති චිත්‍රපටයයි.සිනමා කැමරාකරණය පිළිබඳ අමෙරිකාවේ නිව්යෝක් සිනමා පාසලේ ඉගෙනුම ලැබ සියරට පැමිණෙන භෝගිලාල් කේ.එම්.දේව් අයිරානි හා සම්බන්ධ වනුයේ 1922 වසෙර්ය. දේව් එයට පෙර පාල්කේ ගේ හින්දුස්තාන් ෆිල්ම් කම්පැනි හි කළමනාකරු වශයෙන් ද කටයුතු කළේය.

දේව් සමග එක්වන අයිරානි ස්ටාර් ෆිල්ම් සමාගම පිහිටුවන ලබන අතර එහි මුල්ම චිත්‍රපටය වීර් අභිමාන්යු විය.පාතිමා බේගම් මෙන්ම ඇයගේ දියණිය සුල්තානා සිනමාවට පිවිසෙනුයේ එමගිනි. අයිරානි ස්ටාර් ෆිල්ම් වෙනුවෙන් වසර දෙකක් ඇතුළත චිත්‍රපට 17 ක් අධ්‍යක්ෂණය කළ අතර ඒ සියල්ලේම කැමරාව මෙහෙයවන ලද්දේ දේව් විසිනි.

පසුව දෙදෙනා විසින් ඇති කර ගන්නා ලද සම්මුතියක් පරිද්දෙන් ස්ටාර් ෆිල්ම්ස් විසුරුවා හරිනු ලැබිණ. ශ්‍රී හර්ෂගේ සුප්‍රකට සංස්කෘත නාටකයක් වු රත්නාවලී ඇසුරෙන් තැනුණු එනම් චිත්‍රපටය මෙන්ම මහා භාරතයේ කතාවක් අනුව තැනුණ ක්‍රිෂ්ණ අර්ජුන යුද්ධ,මෝගල් අධිරාජයය සමය පාදක කොට ගත් චම්ප්රාජ් හෝදා ,මෞර්ය රජ සමය පසුබිම් කළ චන්ද්‍රගුප්ත වැනි ජනප්‍රිය චිත්‍රපට ස්ටාර් ෆිල්ම් චිත්‍රපට 17ට ඇතුළත් විය.

චම්ප්රාජ් හෝදා චිත්‍රපටයේ එන ස්ත්‍රින්ගේ දිය කෙළි දර්ශන ඒ කාලයේ හැටියට මහත් ආන්දෝලනයක් ගෙන ඒමට සමත් විය.

ස්ටාර් ෆිල්ම් වෙතින් වෙන්ව ගිය දේව් ශර්ධා ෆිල්ම් ආරම්භ කරන ලද අතර වඩා නිර්මාණශීලි ගැටවරයන් දෙදෙනෙක් සොයා ගෙන මැජස්ටික් ෆිල්ම් ආර්ම්භ කිරිමට එවර අයිරානි සමත් විය.

කරච්චියේ ඉපිද අහමදාබාදයේ හැදුණු පාර්සි ජාතික තරුණයකු වූ නවාල් ගාන්ධි මෙයින් එක් තරුණයකු වූ අතර අනෙකා බරණැස බ්‍රාහ්මණ පවුලකට අයත් බී.පී.මිශ්‍රා ය.මේ අතරින් මිශ්‍රා අයිරානි ට සම්බන්ධ වන විටත් සිනමා කර්මාන්තයේ ආන්දෝලානාත්මක චරිතයක් ව උන්නේය. ඒ රසියා බෙගම් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙමිනි. මෙයට පෙර ලිපියක ලියා ඇති පරිදි ධිරෙන් ගංගුලිට පැය විසි හතරක් ඇතුළත හයිද්‍රාබාද් පළාතෙන් පිටවන්ට එහි නිසාම්වරයා අණ කළේ මිශ්‍රා නිර්මාණය කළ රසියා බෙගම් ප්‍රදර්ශණය කළ වරදටය.

ඔහු මැජස්ටික් ෆිල්ම්ස් වෙනුවෙන් නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය වීර් දුර්ගදාස්ය. එය රාජස්තාන රණ විරුවකු වටා ගෙතුනකි. මිශ්‍රා ජිවත් වූයේ ටික කලකි.එහෙත් ඔහු ඒ කාලය ඇතුළත අයිරානි සමග මෙන්ම ශ්‍රධා ෆිල්ම් සමාගම සමගද චිත්‍රපට සියයකට අධික ගණනක් නිර්මාණය කළේය.ගාන්ධි බොම්බායි කී සේතානි නමින් නිර්මාණය කරන ලද වැදගත් චිත්‍රපටයක් විය.මොහාන්ලාල් ජී දේව්ගේ තිර රචනයක් අනුව තැනුණ එයට පාදකවූයේ සත්‍ය සිදුවිමකි. ඒ ගුජරාටි පවුලක දැරියක් දුම්රියේ දි අතුරුදහන් විමක් පිළිබඳ කතාවකි.

දරුවාගේ අනන්‍යතාව හෙළි කිරීම සඳහා අධිකරණයේ පිහිට පතනු ලැබිණ. එය නූතන හුනුවටයේ කතාවක් විය.ඔහු 1927 වසරේ නිර්මාණය කරන ලද බලිදාන් සඳහා පාදකවූයේ රබින්ද්‍ර නාත් තාගෝර් ගේ කතාවකි.ගාන්දි පසුකලක දෙවන ලෝක මහා යුද්ධයේ දී මිත්‍ර පාක්ෂිකයන් වෙනුවෙන් වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළේය.

දෙවසරකට පසු අයිරානි මැජස්ටික් සිනමා සමාගම වසා දමද්දි එමගින් චිත්‍රපට පහළොවක් නිර්මාණය කර තිබිණ.අයිරානි අනතුරුව රෝයල් ආට් ස්ටුඩියෝ නමින් සිනමා සමාගමක් පවත්වා ගෙන ගියේය.මේ සමාගම මගින් නිර්මාණය කරන ලද අතිශය ජනප්‍රිය චිත්‍රපටය වූයේ නාරසිංග් ඩකූ චිත්‍රපටයයි.ඉන්දියානු සිනමා ඉතිහාසයෙහි අතිශය වැදගත් සිනමා සමාගමක් වන ඉම්පීරියල් ෆිල්ම්ස් ආයතනය අයිරානි විසින් ආරම්භ කරන ලද්දේ 1926 වසෙර්ය. මේ සමාගම චිත්‍රපට 62 ක් නිර්මාණය කරන ලද අතර මුල්ම කතානාද චිත්‍රපටය මෙන්ම මුල්ම වර්ණ චිත්‍රපටය ද නිර්මාණය වූයේ මේ සමාගම මගිනි.

මේ කාලය ඇතුළත ඉම්පීරියල් සමාගමේ වෙනමම තිර කතා රචකයන්, නළු නිළියන් කාර්මික ශිල්පින් ඇතුළු රැසක් සම්බන්ධව කටයුතු කළහ.1927 වසරේ දි තැනුණු වයිල්ඩ් කැට්ස් ඔෆ් බොම්බේ චිත්‍රපටය රොබින් හුඩ් තාලයේ කතාවක් වුවත් එහි ප්‍රධාන චරිතය හිමිවුනේ සුලෝචනාටය. එහි ඇය එකිනෙකට වෙනස් චරිත අටක් නිර්මාණය කළාය.

සුලෝචනා නිහඬ ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම තාරකාව ය. සුලෝචනා පූනා නගරයේ උපන්නේ රූබි මේයර්ස් යන නමිනි. ඇය යුරෝසියානු සම්භවයකින් යුත් තරුණියකි. එම යුගයේ වැඩිම මිලක් අය කළ සිනමා තාරකාව වූ ඇයපෙර කී වයිල්ඩ් කැට්ස් ඔෆ් බොම්බේ චිත්‍රපටයෙහි එකිනෙකට වෙනස් චරිත අටක් නිරූපණය කළාය.

රූබි නැතහොත් සුලෝචනා සිනමාවට පිවිසෙන්නට පෙර දුරකථන ක්‍රියාකාරිනියක් ලෙස සේවය කළාය.කොහිනූර් තිරනාටක රචක මොහාන් බව්නානි විසින් ඇයට සිනමාවට එන්නට බල කළාය.

නිහඬ සිනමා යුගයේ අතිශය ජනප්‍රිය නිළියක වූ ඇය සිය චිත්‍රාගාර වලින් මාසයකට රුපියල් පන් දහසක මිලක් අය කළාය.එමෙන්ම එකල තිබූ අගනාම වර්ගයේ මොටර් රථයක් වූ චෙවලේ වර්ගයේ රියක් ඇයට හිමිව තිබිණ. එකල සිනමාවේ සුපිරි හින්දි නළු ඩි.බිලිමෝරියා ඇයගේ පෙම්වතාව විය. ටයිපිස්ට් ගර්ල්,බලිදාන්,මධුරි,අනර්කලි ඇයගේ ජනප්‍රිය නිහ චිත්‍රපට විය. එහෙත් කතානාද සිනමාව සමග ඔවුන්ගේ ඉරණම වෙනස්ව ගියේ වඩා හොදින් ගායනා කළ හැකි සහ හොඳීන් ස්වභාෂාවන් උච්චාරණය කළ හැකි නිළියනට වැඩි තැනක් ලැබුණ බැවිනි.

ඉතා අපහසුවෙන් හින්දි බස හැදෑරූ සුලෝචනා යළි රංගනයට අවතීරණය වූවාය. ඇය නිහඬ යුගයේ රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම යළි කතානාද චිත්‍රපට ලෙස නිර්මණය විය. අනර්කලී එවැනි චිත්‍රපටයකි. එහෙත් ඇයගේ හින්දි කතා බහ තුළ නුහුරු බවක් විය.

තුන් වන වරටත් අනර්කලී සිනමාවට නැගෙද්දී එහි සුලෝචනාට හිමි ව තිබුණේ අනර්කලී ගේ මවගේ චරිතයයි. සිය ජනප්‍රිය යුගයේ රූබි පික්චර්ස් ආරම්භ කළ එමගින් චිත්‍රපට නිෂ්පාදනයේ ද යෙදුණාය. 1972 වසරේ දී සිනමාවේ යාවජීව සම්මානය වූ දාදා සහාබ් පාල්කේ සම්මානය පිරි නැමුණේ ඇයටය.එහෙත් කලක් ගත වීමෙන් අමතකව ගිය සුලෝචනා 1983 වසරේ බොම්බායේ මහල් නිවාසයක මිය ගියාය. ඒ වන විට කිසිවකු හෝ ඇය පිළිබඳ දැන උන්නේ ද නැත.

කෙසේ වෙතත් ඉම්පීරියල් පික්චර්ස් සමාගම මගින් නිපද වන චිත්‍රපට අතර මුල්ම දෙමළ චිත්‍රපටය කාලිදාස්, සහ තෙළිගු මුල්ම චිත්‍රපටය භක්ත ප්‍රහ්ලාදා ද වන්නේය. එමෙන්ම පළමුවන පාර්සියානු චිත්‍රපටය නැතහොත් ඉරානයේ මුල්ම චිත්‍රපටය වන ඩොක්ටර් ඊ ලෝර් ද වෙයි. අයිරානි විසි පස් වසරක් ඇතුළත චිත්‍රපට එකසිය පනස් අටක් නිර්මාණය කළේය.

ප්‍රිති විරාජ් කපූර්,මෙහෙබුබ් ඛාන් යන දෙදෙනාම සිනමාවට හඳුන්වා දෙන්නේ අයිරානි විසිනි. යුද්ධ සමයේ සිනමාව සම්බන්ධයෙන් ඇති වූ වාරණ නීති නිසා ඔහු සිනමාව සම්බන්ධව කළ කිරීමෙන් සිනමාවෙන් සමු ගත්තේය.

ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1945 වසරේ දි තැනුණු පූජාරි චිත්‍රපටයයි. ඔහු මිය ගියේ 1969 වසරේ ඔක්තෝබර් 14 වන දිනයේය. කෙසේ වෙතත් ඉන්දියානු සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය වූ අලම් අරා ගැන ලියන්නට තව දුරටත් කල් ගත වනු ඇත.

එයට හේතුව ඉන්දියානු නිහඬ සිනමාවේ චරිත සහ සිදුවීම් රැසක් පිළිබඳ වර්ණනයේ යෙදෙන්නට මට සිදුව ඇති බැවිනි.

මතු සම්බන්ධයි