වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චාල්ස් දයානන්ද චිත්‍ර ප්‍රදර්ශනය 12 දා සිට

චාල්ස් දයානන්ද චිත්‍ර ප්‍රදර්ශනය 12 දා සිට

චිත්‍ර ශිල්පි චාල්ස් දයානන්ද විසින් මෙහෙයවනු ලබන පේරාදෙණියේ නව චිත්‍රාගාරය සහ අඛණ්ඩ චිත්‍ර ප්‍රදර්ශනය මැයි 12 වැනිදා පෙරවරු 10.30 ට පේරාදෙණිය කොළඹ පාරේ අංක 345 දරන ස්ථානයේදී විවෘත කෙරේ.

මෙම කලා ප්‍රදර්ශනයට තෙල් සායම් ඇතුළු විවිධ මාධ්‍ය චිත්‍ර නිර්මාණ මෙන්ම ගෘහ අලංකරණ නිර්මාණ සමඟින් නිර්මාණ චිත්‍ර හා ව්‍යවහාරික චිත්‍ර ප්‍රදර්ශනය කෙරේ. චිත්‍ර ප්‍රදර්ශනය 12 වැනිදා සිට දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා මහජනයා වෙනුවෙන් විවෘතව පවතී.

චිත්‍ර කලාකරුවන්ගේ එකතුවෙන් පිහිටුවා ඇති චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සුබසාධන කාර්යයක් ලෙස මෙම කලාගාරය පවත්වාගෙන යන අතර දිවයිනේ ඕනෑම කලාකරුවකුට තම නිර්මාණ මෙහි ප්‍රදර්ශනයට තබා අලෙවිකර ගැනීමට ද පහසුකම් සලසා ඇත.

අජිත් ලොකුගේට අලුත් තනතුරක්

ජනප්‍රිය රංගන ශිල්පී අජිත් ලොකුගේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරී ලෙස පත් කරනු ලැබ සිටී. කලා ලොවේ කාගේත් හිත දිනූ අජිත් එම තනතුරට පත්වීම පිළිබඳ බොහෝ දෙනෙකු සතුටට පත්ව ඇතැයි අපට දැනගන්නට ලැබුණි. ‘සරසවිය’ පුවත්පතේද ළබැඳි හිතවතකු වන අජිත්ට සිය අලුත් රාජකාරී කටයුතු සාර්ථකව කරගෙන යන්නට අවැසි ශක්තිය, ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

‘පීටර් වන්’ 10 දා සිට එල්. එෆ්.ඩී සහ එම්. පී. අයි. මණ්ඩලයේ

බන්දු සමරසිංහගේ අධ්‍යක්ෂණයක්

දියණිය රසෝඝා සහ පුතු කුමර සිනමාවට

රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අනතුරුව වසර අටකට පසු බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පීටර් වන්’ හාස්‍යෝත්පාදක සිනමා සිතුවම මෙම මස 10 වැනිදා සිට එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. යන මණ්ඩලවල සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. බන්දු සහ රොඩ්නි වර්ණකුල ප්‍රථම වතාවට එකට රඟන පීටර් වන් සමඟින් බන්දුගේ දියණිය රසෝඝා සහ පුතු කුමර සිනමාවට හඳුන්වාදීම විශේෂත්වයකි.

පදික වේදිකාවේ ගීත ගැයීම ජීවිකාව කරගත් පීටර් නමැති දුගියකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙහි එන එම චරිතය බන්දු විසින් රඟනු ලබයි.

සෙසු චරිත ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග රංජිත් සිල්වා ටිරෝන් මයිකල්, සුසිල් පෙරේරා, විපුල වන්නිආරච්චි, ශ්‍රී ලියනගේ, ඉන්දික ජයසිංහ, මිල්ටන් සෙබස්තියන්, බුද්ධිමා මධුශානි, ලෂිත ලක්මාල් රඟනු ලබති. ආරාධිත රංගනයෙන් ජිප්සීස් නායක සුනිල් පෙරේරා එක් වෙයි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව ද බන්දුගෙනි. ස්වර්ණ ෆිල්ම්ස් සහ අක්මාල් වික්‍රමනායක පීටර් වන් නිෂ්පාදනය කොට තිබේ. රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණයකි. තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේගෙනි. සම්පත් වික්‍රමසිංහ සංස්කරණයෙන් ද, ජයන්ත රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, හේමන්ත ගමගේ අංග රචනයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සිසිර එස්. සේනාරත්නගේ නිෂ්පාදන විධායකයකි. සහාය අධ්‍යක්ෂණය රංජිත් ජයසිංහගෙනි. නිෂ්පාදන කළමනාකරණය ස්වර්ණා සමරසිංහ විසින් සිදු කොට ඇත. ශෂික රුවන් මාරසිංහගේ ශබ්ද පරිපාලනයකි.

ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂවරයාය. හිරණ්‍යා සමරසිංහ සහ කුමර සමරසිංහ ඇඳුම් නිර්මාණය කර තිබේ. තුෂාර විධානගමගේ කොණ්ඩා සැකසුම් කොට ඇත.ජනක් මායාදුන්නගේ ගේ නිශ්චල ඡායාරූපකරණයකි.

බන්දු සමරසිංහ, උරේෂා රවිහාරි, කුමරි සමරසිංහගේ ගායනාවලින් සමන්විත පීටර් වන් හි ගීත සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමනී මුතුගල සහ සංජය නුවන් සේනාධීර විසින් ගීත රචනා කරන ලදී.

කුවේණි කළුතරට

සමුද්‍රා ජීවනී කරුණානන්දගේ රාජ්‍ය සම්මාන දිනූ කුවේණි නාට්‍ය මෙම මස 15 වැනිදා කළුතර නගර ශාලාවේදී වේදිකා ගතවේ.

බොරදිය පොකුණ මංගල දැක්ම ඕස්ට්‍රේලියාවේදී

සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ බොරදිය පොකුණ සිනමා සිතුවමේ මංගල දර්ශනය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙම මස 18 දින සවස මෙල්බර්න් හි ඩැන්ඩෙනොන්ග් සහ 25 සවස ඉපින් සිනමා ශාලාවන්හි ද, ජූනි 09 දා සිඩ්නි නුවර රවුස් හිල් සිනමා ශාලාවේදී තිරගත වනු ඇත.

ධර්මසිරි බණ්ඩාරනායක දිගු කලකට පසු රඟන මෙහි අයිරාංගනී සේරසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, ඩිලාන් අබේවර්ධන, දුමින්ද සිල්වා, චන්ද්‍රා කළුආරච්චි චරිත මවති. ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන් වෙනුවෙන් මනෝහන් නානායක්කාර බොරදිය පොකුණ නිෂ්පාදනය කොට ඇත.ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙම දර්ශන වාර සන්නස නිවුස් ගෲප් හි සංවිධානයකි.

අපේ පාඨකයාට අපි උදවු කරමු

සරසවිය පුවත්පත ආරම්භයේ සිට පාඨකයෙකු වූ ආරී එගොඩවත්ත ගේ බිරිඳ එල්. එස්. දිසානායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටින අතර ඇයට සතියකට වරක් ලේ කාන්දු කිරීම (ඩයලසිස්) ප්‍රතිකර්මය කිරීමට වෛද්‍යවරු නියම කර ඇති අතර ඒ වෙනුවෙන් රු: 10,000 ක් වැය කිරීමට සිදු වී ඇත.

රජයේ විශ්‍රාමිකයෙකු වන එගොඩවත්ත මහතාට සතියකට වරක් මෙවැනි විශාල වියදමක් දැරීමට නොහැකි බැවින් සරසවිය පාඨක ඔබගේ ආධාර පතයි. මහජන බැංකුව - කිරිබත්ගොඩ ශාඛාවේ 23720012 3286046 ගිණුම් අංකයට මුදල් බැර කළ හැක.

නැවත උපන්නෙමි 14 එළි දකියි

ප්‍රවීණ ලේඛක සහ මාධ්‍යවේදී යසවර්ධන රුදිගු මහතා පරිවර්තනය කළ ‘නැවත උපන්නෙමි’ ග්‍රන්ථය එළි දැක්වීම ලබන 14 වැනිදා කොළඹ, මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී සිදු කෙරේ.

එදින මෙම කෘතිය කතුවරයා විසින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාට පිළිගැන්වීමට නියමිතය.

රොෂාන්- ශලනි පෙම්වතුන් වන ස්පන්දන වැඩ නිමයි

රොෂාන් රණවන සහ ශලනි තාරකා ප්‍රථම වතාවට තිරයේදී පෙම්වතුන් කරමින් නිර්මාණය වූ සුනෙත් මාලිංග ලොකුහේවාගේ තෙවන සිනමා නිර්මාණය ස්පන්දන හි සියලු රූගත කිරීම් පසුගියදා නිම විණ.

තිසුරි යුවනිකා, බුවිනි චාපා, ගිවන්ත අර්ථසාද් ඇතුළු නව පරපුරේ තරු රැසක් රිදී තිරයට හඳුන්වා දෙන ස්පන්දන හි සෙසු චරිතයන් මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, නිමන්ති පෝරගේ, ගිහාන් ප්‍රනාන්දු, සඳුන් ලක්ෂිත, දර්ශන් ධර්මරාජ්, නිල්මිණි කෝට්ටේගොඩ රඟනු ලබති.

ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයෙන් සහ ප්‍රභාත් රෝෂන්ගේ සම නිෂ්පාදනයෙන් සහ කැමරා අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. තාරක අධිකාරි නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වී ඇත. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයකි.

උහාන් ඕවිට අංග රචනා ශිල්පියාය. පසුබිම් සංගීතයෙන් උදය ශ්‍රී වික්‍රමසිංහ ද, ගී පද රචනයෙන් නන්දන වික්‍රමගේ ද, නර්තන අධ්‍යක්ෂණයෙන් ගයාන් ශ්‍රීමාල් ද එක් වී ඇත.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද විධායක නිෂ්පාදනය ද සුනෙත් මාලිංගගෙනි.