වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරීඩා ජයලත් රඟපාන සැඬ සුළං චිත්‍රපටයට ඇතුළත් ‘ඔබ යයි නම් තනිව අන්ධකාරේ’ ගීතය ගයන ගායකයා හා ගායිකාව කවුද?

කේ. පී පියසේන, රේමන්සිල්වා - බොරගොඩවත්ත

මෙම ගීතය චිත්‍රපටයේ අවස්ථා දෙකක දී ගැයෙනවා. එහි පළමුවනි අවස්ථාව ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරීඩා ජයලත් රඟපාන අවස්ථාව. එහිදී පසුබිම් ගායනය කළේ ඒ. එම්. රාජා සමඟින් ජමුනා රාණි. එමෙන්ම එහි දෙවැනි අවස්ථාව චිත්‍රපටය ආරම්භයේ දී දයා අබේසේකර සහ පද්මිණී දහනායක රඟන විටදී ගීතය ගැයුවේ ජමුනා රාණි සමඟින් කේ. රාණියි.

සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ ආනන්ද ජයරත්න මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

සුරතලී චිත්‍රපටයනේ තිලකේ.

ශිවාජි ගනේෂන්, ජෙමිණි ගනේෂන් හා එම්. ජී. රාමචන්ද්‍රන් තිදෙනාගෙන් වඩාත් අග්‍රගණ්‍ය නළුවා කවුද?

සරත් රණසිංහ – මාළිඳ

ඔය තුන්දෙනාගෙන් එක් අයකුවත් මට නම් අග්‍රගණ්‍ය නැහැ සරත්. නමුත් මේ තිදෙනා අතරින් ශිවාජි ටිකක් හොඳයි.

සිම්බෝ, වීර වික්‍රම, පතිවත වැනි සිංහල දෙබස් කැවූ චිත්‍රපට රූපවාහිනියෙන් හෝ නොපෙන්වන්නේ ඇයි?

චන්ද්‍රසිරි මානවඩු - අම්බලන්ගොඩ

අනේ මානවඩු, ඒවායේ පිටපත් නැහැනේ.

සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නළුවන් සඳහන් කරන්නකෝ?

වික්ටර් පල්ලිමුල්ල - හැඳල

බී. ඒ. ඩබ්. ජයමාන්න, ආනන්ද ජයරත්න, ඇන්තනී සී. පෙරේරා, අරියදාස පීරිස්, අරුණ ශාන්ති, අශෝක පොන්නම්පෙරුම, අතුල ලියනගේ, බී. එස්. පෙරේරා, බන්දු ගුණසේකර, බන්දු සමරසිංහ, බැප්ටිස්ට් ප්‍රනාන්දු, චන්න පෙරේරා, සිරිල් වික්‍රමගේ, දයානන්ද ගුණවර්ධන, දයානන්ද ජයවර්ධන, ඩඩ්ලි වානගුරු, ඊ. එම්. පී. ගිල්මන්, ගාමිණී ෆොන්සේකා, ගිරිරාජ් කෞශල්‍ය, හර්බට් එම්. සෙනෙවිරත්න, හර්බි සෙනෙවිරත්න, ජැක්සන් ඇන්තනී, ජයන්තදාස් පෙරේරා, ජයසේකර අපොන්සු, කීර්ති බණ්ඩාර, කිංස්ලි දිසානායක, කිංස්ලි රාජපක්ෂ, එල්. එම්. පෙරේරා, එම්. පී. ගැමුණු, එම්. වී බාලන්, මිල්ටන් ජයවර්ධන, නිහාල් ප්‍රනාන්දු, පතිරාජ එල්. එස්. දයානන්ද, රන්ජන් රාමනායක, රෝයි ද සිල්වා, සහන් විජේසිංහ, සනත් ගුණතිලක, සංජය ලීලාරත්න,සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශාන්ති අබේසේකර, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, ශේෂා පළිහක්කාර, සිරිසේන විමලවීර, ස්ටැන්ලි පෙරේරා, සුදේශ් වසන්ත පීරිස්, සුගත් සමරකෝන්, සුගතපාල සෙනරත් යාපා, සුනිල් සෝම පීරිස්, ටෙනිසන් කුරේ, තිස්ස අබේසේකර, යසපාලිත නානායක්කාර, ඔන්න වික්ටර් අකාරාදී පිළිවෙළටම ලිව්වා.

සෝමරත්න දිසානායක චිත්‍රපටවල රඟපා තිබේද?

කමල් ගුණරත්න – නියංගම

ඔව්නේ. ඔහු මඩොල් දූව චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපෑවා.

රන්ජන් රාමනායකගේ ලිපිනය සඳහන් කරන්න.

ඩී. බී. කුලතුංග - පූගොඩ

ඩී 4, පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණ, මාදිවෙල, කෝට්ටේ.

ගිවන්ත අර්ථසාද්ගේ නිර්මාණයක් වූ තහනමට ලක් වූ ‘දුටුගැමුණු’ කාටුන් චිත්‍රපටය යළි තිරගත වේද?

තිලකරත්න විල්වල – කෑගල්ල

මේ ඩිජිටල් තාක්ෂණය කරළියට ඇවිත් තියෙන මේ කාලේ චිත්‍රපට පිළිබඳ මතු වී ඇති ප්‍රතිරූපය විනාශ කරගත නොහැකි නිසා එයට එලෙසම රැඳෙන්න දෙන එක හොඳයි නේද ?

‘උරන් කටෝලා’ හින්දි චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කියන්න.

ජයම්පති නවරත්න – මාතලේ - රාහුල මාවත

එස්. යූ. සනී අධ්‍යක්ෂණය කළ උරන් කටෝලා 1955 වසරේ තිරගත වුණා. දිලිප් කමාර්, ජීවන්, ටුංටුං ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපෑවා. ඇති නේද මේ තොරතුරු?

මංගලා, නයනා, අඹ යාළුවෝ නවකතා ලියූ ටී. බී. ඉලංගරත්න ඇමැතිතුමා චිත්‍රපටවල රඟපා තිබේද?

රේමන් සිල්වා - බොරගොඩ වත්ත

තිරයට නැඟුණු ළසඳා, තිලක සහ තිලකා, කැලෑ මල්, සසර, නිවෙන ගින්න, මංගලා, නයනා, වැනි නවකතා ඉලංගරත්න සූරීන්ගේ තිරයට නැඟුණු කෘති. රදල පිළිරුව, වරද කාගේ ද යන චිත්‍රපටවල එතුමා රඟපෑවා.