වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අභීත දියණියගේ ඇත්ත කතාවයි

මේ අභීත දියණියගේ ඇත්ත කතාවයි

‘රජතුමනි’ තරුණියගේ හඬ දඟකාරය. ‘දොං ඊ’, ‘සොංජොංහී රුවැත්තී’ පිළිතුරු හඬ ගාම්භීරය. ප්‍රේමාන්විතය. මේ ආදරවන්තියත්, ආදරවන්තයාත් දහසක් බාධක, සතුරු උපද්‍රව මත, නුවණින් උපක්‍රමශීලීව ගොඩ නැඟෙන සෙනෙහසේ මන්දිරයට කිරි සුවඳ එක් වන්නට තවත් වැඩි කාලයක් නැත. අභීත දියණිය සමුගන්නේ ඇයගේත් සුක්ජොන් රජුගේත් පුතු කෙරියානු රාජ්‍යයේ විසි එක් වැනි රජු ලෙස කිරුළු පැළඳුවාටත් පසුවයි.

ජාතික රූපවාහිනියෙන් විකාශය වන අභීත දියණිය මේ වන විට ඔෂීන්, සුජාත දියණිය මෙන්ම ජනතා කිරුළ දිනාගෙන අවසන්ය.

සුජාත දියණියගේ වෙන්වීමේ දුක දැනෙන්නට නොදී සුවහසක් ලොකු කුඩා ප්‍රේක්ෂකයන්ට සමීප වී අභීත දියණිය සිටින්නීය. ‘දොං ඊ’ ( ක්‍රවුන් ඉන් ද පැලස්) දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී නාට්‍ය මාලාව නිෂ්පාදනය කර තිබෙන්නේ සුජාත දියණිය අධ්‍යක්ෂණය කළ ලී බ්යුන්ග් හූන්මය.

කොරියාවේ එම්බීසී සමාගමෙන් මාර්තු 22 සිට ඔක්තෝබර් 12 දක්වා විකාශ වූ මේ නාට්‍යය කොටස් 60 න් සමන්විත විය. ‘ජුවෙල් ඉන් ද ක්‍රවුන්’ මෙන්ම ‘ක්‍රවුන් ඉන් ද පැලස් ද’ කොරියානු රාජ්‍යයට තානාපතිවරයකු හා සමානය. ඒ දේශ සීමා භේද නොමැතිව කොරියාවේ ජෝසන් පාලන සමයේ රජ කළ සුක්ජොන් රජුටත්, කුල හීන යැයි සම්මත, දිලිඳු පවුලක උපන් දොං ඊ ටත් ආදරය කළ හැකි නිසයි.

මේ වන විට දාහත් වැනි සියවසේ ජීවත් වූ ඓතිහාසික චරිත අපේම චරිත වී අවසානය.

‘දොං ඊ’ හන් හෝ ජෝ අවසන් වරට පුංචි තිරයේ රැඟූ චරිතයයි. 2009 වසරේදී තිරගත වූ ‘බ්‍රිලියන්ට් ලෙගසි’ රංගනයෙන් ද ඇය අතිශය ජනාදරයට පත්වූවාය. හන් මේ වන විට වඩාත් කාර්යබහුල වී සිටින්නේ සිනමා රංගනයත් සමඟයි. ‘මයි බොස්, මයි ටීචර්’, ‘ඇඩ්-ලිබ් නයිට්’, ‘රයිඩ් අවේ’, ‘මයි ඩියර් එනිමි’, ‘ඕල්වේස්’, ‘ලව් 911’, ‘මස්කුරේඩ්’ සිනමාපටවල ප්‍රධාන තාරකාවක වූ ඇය රැඟූ ‘ස්ටේක් අවුට්’ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

තවමත් විසි හය හැවිරිදි ඇය වෘත්තීය වශයෙන් තෝරා ගෙන ඇත්තේ රංගනයයි.

දොං ඊට සහයෝගය දෙන අග බිසව ඉන්ජියෝන්ගේ චරිතය නිරූපණය කරන පාර්ක් හා සුන් ද හන්ගේම වයසේ පසුවන්නීය. ‘දොං ඊ’ නාට්‍යයෙන් ලැබුණු ජනප්‍රියකම නිසා ඇයට සිනමා තාරකාවක් වීමට ද වරම් ලැබී තිබේ. ‘ද ලාස්ට් බ්ලොසම්’, ‘චෑම්ප්’, ‘ටෝන්ඩෙෆ් ක්ලිනික්’, ‘කැපිටල් ස්කැන්ඩල්’, ‘ද කින්ග් ඇන්ඩ් අයි’, ‘රොමෑන්ස් සීරෝ’, ‘දි ඇක්සිඩන්ටල් කපල්’, ‘කාන්ට් ස්ටොප් නව්’, ‘අ නැප්’, ‘අ ජීනියස් ලී ටේ බීක්’ ඇය රැඟූ සිනමාපටයි.

ලී සෝ - යිඕන් කතාවේ රසිකයන්ගේ නොමඳ අප්‍රසාදය දිනාගත් චරිතයයි. ඒ දොං ඊ ගේ ප්‍රධාන සතුරු චරිතය වන ඔබ්ජොන් රැජනගේ චරිතය නිරූපණය කරන්නිය ඇය නිසයි.

තිස් එක් හැවිරිදි ඇය ‘සුපර් රූකී’, ‘ස්ප්‍රින්ග් වෝල්ට්ස්’, ‘ටෙම්ප්ටේෂන් ඔෆ් ඇන් ඒන්ජල්’ වැනි රූපවාහිනී නාට්‍ය ගණනාවකම නිරූපණයකර ඇත්තේ දුෂ්ට චරිතයි. එහෙත් ඇය ආදරණීය, සංවේදී චරිත ද රඟපා තිබේ. ‘බ්‍රවෝ මයි ලයිෆ්’, ‘හයිවේ ස්ටාර්’, ‘වන් ෂයිනිං ඩේ’, ‘ෆෙදර්ස් ඉන් ද වින්ඩ්’, ‘අන්ටෝල්ඩ් ස්කැන්ඩල්’, ‘සමර් ස්ටෝරි’, ‘අන්බෝන් බට් ෆොගොටින්’ ඇය රැගූ සිනමාපටයි.

දොං ඊ රංගනයට ඇයට විශිෂ්ට සම්මානයක් හිමි වූවාය.

දොං ඊ නාට්‍යයේ මේ තාරකාවන් තිදෙනාම තවමත් අවිවාහකය.

එක කුස ඔත් සොයුරකුටත් වඩා වැඩි සහෝදර ප්‍රේමයක් දොං ඊට දක්වන්නේ ජෙං සෝයි. ජෙං සෝට පණ දෙන්නේ බේ සූ බින්ය. තිස් හය හැවිරිදි ඔහු දොං යීට අමතරව ‘බ්‍රිලියන් ලෙගසි’, ‘ටෙම්ටේෂන් ඔෆ් ඇන් ඒන්ජල්’ රංගනයන් නිසා ද හද දිනා ගත්තකි. ඔහු ‘ගර්ල් ෆෙ‍්‍රන්ඩ්ස්’, ‘ද වේ – මෑන් ඔෆ් ද වයිට් පෝසිලේන්’, ‘26 ඉයර්ස්’ සිනමාපටවල ද රඟපා දස්කම් පෑවෙකි.

බේ සූ බීන් විවාහකයෙකි. හතළිස් අට හැවිරිදි ජි යොං ජින් සියොන්ග් දොං ඊට ට නිරන්තර ආරක්ෂාව සපයන ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය. ජොං යෝ මෙහෙයවමින් ඔහු දොං ඊට රජ බිසවක් වීමට උපකාරී වන්නේ අසිපත් සංවිධානයේ නායක දොං ඊ ගේ පියා තම පියා මැරූ බවට සිතෙහි සැකය ද තබාගෙනයි. දොං ඊට වාගේම ‘ද කිංග් ඇන්ඩ් ද ක්ලවුන්’ රංගනයෙන් ද බේ එරට වඩාත් ජනප්‍රියත්වයට පත් වී තිබේ.

දොං ඊ රූගතකර තිබෙන්නේ ‘මූන් එම්බ්‍රේසිං ද සන්’, ‘ජුමොන්ග්’, ‘ක්වීන් සියොන්ඩියොක්’ ඓතිහාසික නාට්‍ය රූගත කළ ජියෙන්ජි - දෝ ප්‍රාන්තයේය.

අමෙරිකාවේ, කැනඩාවේ, මධ්‍යම හා දකුණු අමෙරිකාවේ ද ‘ක්‍රවුන් ඉන් ද පැලස්’ නාට්‍යය ජනප්‍රියයි.

මේ නාට්‍ය ජනතා හදවතින් වගේම සම්මානයෙන් ද අගැයුමට පාත්‍ර වූවකි. 2010 කොරියානු නාට්‍ය උළෙලේ හොඳම නිළිය වූයේ දොං ඊ ලෙසින් රැඟූ හං හෝ හේය.

2010 වසරේ MBC නාට්‍ය සම්මාන උළෙලේ,

* ඉහළම සම්මානය – හන් හෝ ජෝ* වසරේ නාට්‍ය

* ඉහළම විශිෂ්ට සම්මානය (නළු) - සුක්ජොන් රජුට රඟපෑ ජී ජින් හී

* විශිෂ්ට සම්මානය (නිළි) – ලී සෝ යිඕන් (ඔබ්ජොන්)

* හොඳම නවක නිළිය – පාර්ක් හා සුන් (යහපත් අග රැජන)

* රංගනයට රන් සම්මානය – කිම් යූ සුක් (ජෑන් හී ජේ - ඔබ්ජොන්ගේ සොයුරා)

* විශේෂ ළමා රංගන – කිම් යූ ජුං (දොං කුඩා විය නිරූපණය කළ නිළිය)

ලී හියුං සක් (යිඔනිං කුමරු හෙවත් දොං ඊගේ පුතු)

* ජනප්‍රිය සම්මානය – හන් හෝ ජෝ

‘දොං ’ ජෝසන් රජ පරපුරේ සත්‍ය කතා පුවතකි. සුක්ජොන් රජු 1661 සැප්තැම්බර් 8 වැනිදා සිට 1720 ජූලි 13 දක්වා රට පාලනය කළ නුවණැති දේශපාලනඥයකි. දොං ඊ සාධාරණය වෙනුවෙන් සටන්කර අසාධාරණ ලෙස මිය ගිය පියකුගේ තනි වූ කුලහීන, දිලිඳු දියණියකි. ඇය යුක්තිය, සාධාරණත්වය උදෙසා නුවණැති සටනක යෙදීමෙන් රජුගේ මෙන්ම ජනතාවගේ ද හදවත දිනාගත්තියකි. ඇය ජීවත්වන්නේ හතළිස් නව වසරක් පමණි.

දොං ඊට සතුරුකම් කළ ඔබ්ජොන් හෙවත් ඉන් හියොං රැජන වයස අවුරුදු 34 දී මිය යන්නේ වස ශරීරගත කිරීමෙන් බව කියවේ.

දොං ඊ මිය යාමට පෙර ඇයට උපකාර කළ ඉන් ජියෝං අග බිසවත්, සතුරු ඉන් හියොං බිසවත් මිය ගිය බව කොරියානු ඉතිහාසයේ සඳහන් වී තිබේ.

මේ අමරණීය කොරියානු ඉතිහාසය මේ වන විට අපේ රටේ ද ඉතිහාසගත වී අවසානය.

එහෙත් රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතා පවසන පරිදි ඇතැම් මාපියෝ මේ නාට්‍ය දරුවන්ගෙන් වටිනා කාලය උදුරා ගන්නා බවට අනුවණ චෝදනා එල්ල කරති. එහෙත් මෙවැනි ගුණාත්මක නාට්‍යවලින් අනුවේදනීය, සංවේදී අභියෝග ජයගන්නා යහපත් , දරු පරපුරක් බිහිවන්නට පාර නොකැපෙන බව පවසන්නේ කෙසේ ද?

ප්‍රධාන හඬ කැවීම් ශිල්පීන්:

හන් හියෝ ජෝ (දොං ඊ) – පියුමි විජේවර්ධන
සුක්ජොන් රජු - කමල් ගමගේ
ජෑන් හී ජේ - බුද්ධික පතිරණ
ඔබ්ජොන් - ෆර්නි රෝෂිණී

දොං ඊ තවත් කොටස් 50 කට වඩා විකාශය වන්නට නියමිතයි.