වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවි චිත්‍රාගාරයේ දී නෙළූ ගොවි අස්වැන්න

සරසවි චිත්‍රාගාරයේ දී නෙළූ ගොවි අස්වැන්න

රටේ තරුණ පරපුර ගොවිතැන කරා ඇද ගැනීමේ අරමුණින් ආරම්භ වූ ශූර ගොවියා තරගාවලියේ සිව්වැනි අදියර මේ දිනවල පැවැත්වෙනවා. ශූර ගොවියා ‘සිව්වැනි අස්වැන්න’ ලෙස නම් කොට ඇති මෙහි මූලික වටයට තරග වැදුණු සියයක් දෙනා අතරින් තිස් දෙදෙනකු දෙවැනි වටයට තේරී තිබෙනවා. ඒ පිරිස දිවයිනේ කළාප අටකට බෙදී යන අතර එක් පළාතකින් හතර දෙනෙකු ඇතුළත් වනවා. එම සෑම කළාපයකම තරගකරුවන් දිරිමත් කිරීම සඳහා ජනප්‍රිය කලාකරුවකු හෝ කලාකාරිණියක ගොවි තානාපතිවරුන් වශයෙන් යොදවා තිබෙනවා.

ඒ කලාකරුවන් මෙසේ දැක්විය හැකියි.

නිරෝෂා විරාජිනී - උතුර
ශ්‍රියන්ත මෙන්ඩිස් - රජරට
නලීන් පෙරේරා - නැගෙනහිර
ගයන්ත විජේරත්න - වයඹ
නිල්මිණි තෙන්නකෝන් - කඳුරට
සනත් විමලසිරි - බස්නාහිර
ගයාන් වික්‍රමතිලක - ඌව
සුරාජ් මාපා - දකුණ

ඒ සමඟම පසුගිය වසරවල තේරී පත් වූ ශූර ගොවියන් එම කණ්ඩායම්වලට නායකත්වය භාරගෙන කටයුතු කරනවා.

ශූර ගොවියා පළමු වටයේ තරග පැවැත් වුණේ ගොවි බිම්වලදී ඉතාමත් සූක්ෂම විනිශ්චයන් තුළින්ය. එම තරගකරුවන් ගොවි බිම්වලට සෑම කළාප නායකයකුම සහභාගී වුණා. ඒ ඒ පළාතට පත් වූ එම කලාකරුවන්ගේ සංචාරයන් ගොවි තරගකරුවන්ට පමණක් නොව එම කලාකරුවන්ට ද අපූරු අත්දැකීමක් වුණා.

එම පළමු විනිශ්චය අවසානයේ චිත්‍රාගාරයක් තුළ පවත්වනු ලබන තරග වටය පසුගියදා දලුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වුණා. මෙය ප්‍රශ්න විචාරාත්මක තරගයක් වශයෙනුයි දිග හැරුණේ. කණ්ඩායම් දෙක බැගින් තරග වැදුණු මෙහි විනිශ්ච මණ්ඩලය ලෙස මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල්, මහාචාර්ය කේ. සමරසිංහ, මහාචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය ශිවානන්දර්වර්ල්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය නියෝජනය කළ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් කමල් මාන්කෝට්ටේ, එස්. වාත්තුහේවා, දයානන්ද අබේසූරිය යන මහත්වරුන් ද දායක වුණා.

මෙම වටයේදී දෙපිරිස අතරට කෘෂිකර්මයට අදාල කෙටි ප්‍රශ්න සහ ඉදිරිපත් කිරීම් මෙන්ම සමාජගත ප්‍රශ්න සහ සෞන්දර්ය අංශ කෙරෙහි යොමුවුණු ප්‍රශ්න රැසක් යොමු කර එයින් ලබා ගන්නා ලකුණු මත සුදුසු කණ්ඩායම් තෝරා ගනු ලැබුවා.

තවද කළාපයෙන් කළාපයට වෙනස්ම වූ මාතෘකාවලට අදාල වන ඉදිරිපත් කිරීම් එම කලාකරුවන්ගේ නායකත්වයෙන් සුන්දර රැඟුම් වැයුම් ගැයුම් සහ තවත් බොහෝ දෙයින් සමන්විත වුණා. ශූර ගොවියා සිව්වැනි අස්වැන්න අමුතුම ආකාරයකින් ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් කෘෂිකර්මයට නවතම හැඩතලයක් එක්කළ වැඩසටහනක් බව කිව හැකි වෙනවා. සී. අයි. සී. මනුස්සකම අධ්‍යක්ෂ ගොවි තානාපති වසන්ත දුක්ගන්නාරාලගේ ඉදිරිපත් කිරීම් ද ඊට මනාව බලපෑවා.

ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ද පෝෂණය වුණු ශූර ගොවියා හි විශේෂත්වය වන්නේ මුළු ලංකාවම නියෝජනය වෙමින් ඉතා දක්ෂ ගොවීන් සොයා යාමයි. ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුමට අමතරව කලා විෂයන් කෙරෙහි දක්වන දක්ෂතාවන් මනස්කාන්ත යැයි ප්‍රේක්ෂක මතයයි. රූපවාහිනී රියැලිටි වැඩසටහන් අතුරින් සුවිශේෂ වූ ශූර ගොවියා සෑම බදාදා දිනකම රාත්‍රී 9.45 ට ටී. වී. දෙරණ තුළින් විකාශය වෙනවා.

මෙහි අනෙකුත් නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ ටී. වී. දෙරණ ආයතනයේ කණ්ඩායමයි. එමෙන්ම මෙයට සහභාගී වන කලාකරුවන් ද ගොවිකම පිළිබඳ දැනුමෙන් තමන් ද පොහොසත්වීම ගැන කතා කරන්නේ බොහොම තෘප්තියෙන් යුතුවයි. මේ දිග හැරෙන්නේ ශූර ගොවියා වැඩ සටහනේ සරසවි චිත්‍රගාරයේ රූගත කිරීම් දැක්වෙන සේයාරූ කිහිපයකුයි.