වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් Vin diesel කෙනෙක් ? නෑ මේ අපේ රන්ජන් . . .

තවත් Vin diesel කෙනෙක් ? නෑ මේ අපේ රන්ජන් . . .

රන්ජා දර්ශන තලයේ අපූරු සිදුවීම් පෙළක්

අඩි කිහිපයක් උඩ පැන ගුවනේ පාවෙමින් කළු විජේ එල්ල කළ තියුණු පා පහර රන්ජාගේ මුහුණට වදින්නේ අකුණු සැරයක් මෙනි. පසෙකට විසි වී ගිය ද රන්ජා සිරුරේ සමබරතාව රැක ගනිමින් නොවැටී සිටින්නට වෙර දරයි.

ඕ. කේ . . . කට්, වෙල්ඩන් . . .

සිනහපිරි මුවින් එසේ පවසන අධ්‍යක්ෂක සුදේශ් වසන්ත පීරිස් රන්ජාගේ සුරත දැඩිව අල්ලා ගනිමින් හැරී බලන්නේ කළු විජේ දෙසය.

ෂොට් එක හොඳට ආවා නේ . . .?

කළු විජේ, අධ්‍යක්ෂ සුදේශ් වසන්තගෙන් විමසන්නේ නළල් තලය මත වැගිරෙන දාබිඳු පිටි අත්ලෙන් පිසලමිනි.

මමත්, ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහත් දැන් සිටින්නේ ‘රන්ජා’ දර්ශන තලයේය. තැන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුවිසල් ගබඩා ශාලාවකි.

‘රන්ජා’ සිංහල සිනමාවට එක්වන අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය වේ. එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් හතර වැනි අභිමානවත් චිත්‍රපටයයි. මෑතකදී අති සාර්ථක ලෙස තිරගත වූ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයෙන් පසු සුනිල් ටී. හා සුදේශ් වසන්ත දැන් නැවතත් බොක්ස් ඔෆීස් වාර්තාවකට සූදානම් වන සෙයකි.

‘රන්ජා’ගේ චරිතය නිරූපණය කරන්නේ අපේ සිනමාවේ සුපිරි තරුව රන්ජන් රාමනායක වීම සුවිශේෂත්වයකි. හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවේ නම් ‘ඇක්ෂන් හීරෝස්’ලා එමටය. ආර්නෝල්ඩ් ස්වසෙන්ගර්, සිල්වෙස්ටර් සැටැලෝන්ලා කෙසේ වෙතත් ෂාරුක්ලා, සල්මන්ලා, රිතිස්ලා, සංජේලා වැනි අල්ලපු රටේ ඇක්ෂන් හීරෝලාවත් අපේ සිනමාවේ අද දක්නට නොමැත. නමුදු ඒ අඩුව පුරවාලමින් රන්ජන්, රන්ජාගේ චරිතය හරහා දැන් නැවත අපේ රිදී තිරයේ සුපිරි වීරයා බවට පත්ව සිටියි.

සැබැවින්ම රන්ජාගේ බාහිර පෙනුම ඕනෑම ඇක්ෂන් හීරෝ කෙනෙකු හා සම කළ හැකිය. මුළුමනින්ම හිස මුඩු කළ මේ අලුත් වීරයාගේ හිසෙහි පිටුපසට වෙන්නට කළු පැහැයෙන් ටැටූ මෝස්තරයක් පින්තාරු ;කාට තිබේ. බාහු යුග්ම මත මෙන්ම පපු පෙදෙසෙහිත් අලංකාර ටැටූ පින්තාරුවකි. අපට මතක්වන්නේ ටි‍්‍රබල් එක්ස් චිත්‍රපටයේ වින් ඩීසල්ය. තවත් වරෙක රන්ජා කඩවසම් තරුණයකු හා සුපෙම්වතකු සේ ද ප්‍රේක්ෂකයන් හමුවට එයි.

බය නැතුව තව අවුරුදු දහයක් මෙතුමාට ‘ඇක්ෂන් හීරෝ’ වෙන්න පුළුවන්. මම ගැරන්ට් කරනවා.

මා අර මුලින් සඳහන් කළ කළු විජේ එසේ පවසන්නේ අප දෙස බලමිනි. ඔහු මේ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා හා ප්‍රධාන දුෂ්ට චරිතය රඟපානා වසන්ත කුමාරවිලය. සැබැවින්ම ඔහු සිනමා සටන් කලාව පිළිබඳ හසල දැනුමකින් යුත් අපේ කාලයේ රජ වැඩකාරයෙකි. වසන්ත ‘රන්ජා’ චිත්‍රපටය සඳහා විවිධ උපක්‍රම භාවිතා කර තිබේ. කේබල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් අති බිහිසුණු සටන් ජවනිකා මුල්වරට ඔහු අපේ සිනමාවට හඳුන්වා දෙන්නේ ‘රන්ජා’ චිත්‍රපටයෙනි.

දැන් දර්ශන තලයේ මඳ ඉසිඹුවකි. ඒ ඊළඟ දර්ශනය රූගන්වනතුරුය. සියල්ලෝ තේ පානය කරමින් විවිධ කතාබහවලය. වේෂ නිරූපණ ශිල්පී සරත් රණවීර කී පැරැණි රස කතාවකට හිටි ගමන් සියල්ලෝම බඩවැල් අල්ලාගෙන සිනාසෙති.

කෝ . . . මේ . . රන්ජා?

මම, අප කතා නායකයා කොහිදැයි විපරම් කරමි.

ආං . . . අතන, හෙන වැඩක් . . .

අපට තේ පැනින් සංග්‍රහ කළ සිද්ධි තරණියක සේ ඉඟිබිගි පාමින් පවසයි.

කිලෝ 16 බැගින් යොදා තැනූ බර ඉසිලුම් කට්ටල දෙකක් මාරුවෙන් මාරුවට ඔසවමින් රන්ජා සරල ව්‍යායාමයක යෙදී සිටියි. එය අවසන් කර මඳක් ගිමන් හළ රන්ජා එක දිගට ඩිප්ස් කිහිපයක් ගසයි. ශරීර සුවතාව පිළිබඳ ඉතා විමසිලිමත්ව හා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කිරීම රන්ජන්ගේ දෛනික දින චර්යාවේ නොවරදින අංගයක් බව දන්නෝ දනිති.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල්සෝම පීරිස් දර්ශන තලයට පැමිණියේ ඔය අතරවාරයේය. ඔහු ‘රන්ජා’ අධ්‍යක්ෂ සුදේශ් වසන්තගේ දයාබර පියතුමන් බව නොදන්නේ කවුරුන්ද? පිය, පුතු අධ්‍යක්ෂවරුන් දෙදෙනකු එකම දර්ශන තලයක එකට හමුවීම අපේ සිනමාවේ විරල සිදුවීමකැයි මට සිතේ. චිත්‍රපට පනස් හකරක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා වාර්තා පොතට එක් වූ සුනිල්සෝම, සිය නම ඉදිරියට ගෙන යන දිරිය පුතුගේ සුරුවිරුකම් නිහඬව පසෙකට වී බලා හිඳින්නේ කිසියම් ආඩම්බරයකිනි.

බුදු අම්මෝ . . .

හිටි ගමන් ඇසුණු ඒ මරහඬ දීම කාගේදැයි කවුරුත් විමසිලිමත් වෙති. සරත් රණවීරගේ වැලමිටට රන්ජන් ගේ තියුණු දකුණත් මැදඟිල්ලේ පහස ලැබී ඇති වග අපට වැටහුණි. කවුරුත් සරත් දෙස බලමින් හිනැහෙන්නේ ඔලොක්කුවට නම් නොවේ. අනුකම්පාවෙනි. ඒ අතරේ අපේ ටෙනී ද කරන්ට් වැදුණාක් මෙන් තිගැස්සෙනු මගේ නෙත ගැටිණ. රන්ජන්, අහිංසක ටෙනීටත් සිය මැදඟිල්ලේ තරම පෙන්වා ඇති බව මම තේරුම් ගතිමි. සියල්ලෝම විමසිල්ලෙනි. භීතියෙනි. ඒ කොයි මොහොතේ හෝ රන්ජන්ගේ ප්‍රහාරයට ගොදුරුවේ යැයි යන අවිශ්වාසය නිසාය.

හැබෑටම කවුද මේ ‘රන්ජා’ . . .?

රන්ජන් පසෙකට කැඳවාගෙන යමින් මම විමසීමි.

‘රන්ජා’ කියන්නේ මගේ අලුත්ම චිත්‍රපටය සහ එහි මගේ චරිත නාමය. ඒක ‘වන්ෂොට්’ වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ වගේම මේකේ දේශපාලනයත් තියෙනවා. කොමඩිත් තියෙනවා. බොහොම ලස්සන චිත්‍රපටයක්.

එතකොට රන්ජන් රාමනායකම ද මේ ?

‘රන්ජා’ චිත්‍රපටයේ රඟපාන්නේ රන්ජන් රාමනායක.

නෑ මම අහුවේ මේ චරිතයේ ඉන්නේ සැබෑ රන්ජන්මද?

මේ තිර නාටකය ලිව්වෙත්, අධ්‍යක්ෂ සුදේශ් වසන්තමයි. මම දන්නේ නෑ මොනවා හිතාගෙන ඔහු මේක ලිව්වද කියලා. මේ චරිතයට ගැළපෙනම කෙනා මම කියලා තමයි ඔහු සහ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහත්තයා මට කිව්වේ. ‘රන්ජා’ කියලා මේ චිත්‍රපටය නම් කළේත් සුනිල් ටී.මයි. ඒක මට ලොකු ගෞරවයක්. ඒ වගේම මගේ රසිකයන්ට කරපු සාධාරණයක් හැටියට මම සලකනවා. මොකද සුනිල් ටී. මහත්මයා ව්‍යාපාරිකයෙක්. මාව යොදාගෙන මගේ නමින් චිත්‍රපටයක් තැනීමට ඔහු තීරණය කිරීමෙන්ම හිතාගන්න පුළුවන් ඔහු මා ගැන තියෙන තක්සේරුව. ඔබ ඇසුවා ‘රන්ජා’ කියන්නේ රන්ජන්ම ද කියලා.

ඔව් . . .

රන්ජා කියන්නේ එක අතකින් වන්ෂොට් වගේ චරිතයක්. ඔහු පීඩිත පන්තිය වෙනුවෙන් නැගී සිටින, අයුක්තියට, අසාධාරණයට එරෙහිව ක්‍රියා කරන කෙනෙක්. පොදු ජනතාවගේ වීරයෙක්.ඇත්තටම අසංක මේ චරිතයේ ඇතැම් ගති ලක්ෂණ මගේ ළඟත් තියෙනවා. ඔව් . . . වෙලාවකට නම් රන්ජා කියන්නේ රන්ජන්ම තමයි. මම හිතන්නේ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගනියි. අසංක, අද ඔබ මේ ආවේ මේ චිත්‍රපටය රූගත කරන හැටපස් වැනි දවසේ. මේක හයිබජට් ෆිල්ම් එකක්. සමහර දර්ශන නැවත රූගත කළා. නළු, නිළියෝ මාරු කළා.

රන්ජන් එක්ක වැඩ කරද්දී වැඩේ ටිකක් ඇදෙනවා කියලා කතාවක් තියෙනවා නේද?

ඔව්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මම හිතන, පතන දැවැන්ත සිනමාව ඒක තමයි. සමහරු මට කියනවා එක කෝල්ෂීට් එකකින් වැඩේ කරමු කියලා. උදේ වරුවේ ෂූටිං කරලා හැන්දෑවේ ඩ්‍රින්ක් එකකට සෙට් වෙමු කියන අයත් ඉන්නවා. ඒක සිනමාව නෙවෙයි. නමුත් සුනිල් ටී. කම්පැනි එකට මට තියෙන අමාරුවම තියෙනවා චිත්‍රපටයක් හොඳින් නිම කරන්න. දැන් දුන්නක්, එහෙම නැතිනම් කැටපෝලයක් අදින තරමටනේ වේගය වැඩි වෙන්නේ. මගේ වැඩත් ඇදුනට, අවසානය ජවසම්පන්නයි.

පහුගිය දවස්වල චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා කියලා දැනගන්න ලැබුණා?

ඔව්. චිත්‍රපට පහක්.

ඇයි ඒ?

නෑ, ඒ චිත්‍රපට සඳහා ඇතැම් විට නියමිත අත්තිකාරම් මුදල් ගෙවන්නේ නෑ. බජට් අවුල්. මම දින දුන්නම එදාට ෂූටිං නෑ. ඔය වගේ ගොඩක් හේතු තියෙනවා අර මම මුලිනුත් කිව්වා වගේ. ඒ නිසයි අර චිත්‍රපට මම ප්‍රතික්ෂේප කළේ. එක් චිත්‍රපටයක ඇඩ්වාන්ස් පේමන්ට් එක පවා මම ආපසු දුන්නා.

දැන් අප කතාබහට විරාමය තබන්නට සිදුව තිබේ.

ඒ ඊළඟ දර්ශනයට සියල්ල සූදානම් නිසාවෙනි. එය ද බිහිසුණු සටන් ජවනිකාවකි. සටන සිදු වන්නේ රන්ජා හා කළු විජේ අතරය. අධ්‍යක්ෂ සුදේශ් වසන්තගේ විධානයට අනුව කැමරා ශිල්පී ගාමිණී මොරගොල්ලාගම ඒ දසුන් සිය කැමරා කාචයට හසුකර ගන්නේ ගොදුරක් ඩැහැගන්නා සතකු විලසිනි.

කළු විජේ ගේ තියුණු හෙල්ල පහර රන්ජාගේ මුහුණ පෙදෙසටය. ඒ ඉලක්කය වැරදී යන්නේ රන්ජා හිස අනෙක් පසට ඇලකළ නිසාවෙනි. යක්ෂාවේශ වූ කළු විජේ පිට පිටම රන්ජාගේ මුහුණට හා පපු පෙදෙසට එල්ල කරනා හෙල්ල පහර මෙල්ල කරගන්නට රන්ජා දැඩි පරිශ්‍රමයක් දරයි. ඊළඟ මොහොතේ එල්ල වූ හෙල්ල පහර නවතාලනු පිණිස රන්ජා තම දෑතින් හෙල්ලය අල්ලා ගනිද්දී දෑතම තුවාල වී රුධිරය ගලා යයි.

අපි තව ටේක් එකකට යමු නේ . . .?

රන්ජන් අධ්‍යක්ෂවරයාගෙන් එසේ විමසන්නේ එකී දර්ශනය වඩාත් සාර්ථක අයුරින් රූගත කරනු පිණිසය. වසන්ත කුමාරවිල ද ඊට එකඟ වන්නේ දෙවරක් නොසිතාය. කැපවීම, ළෙන්ගතුකම හා සහෝදරත්වය එකට එකතු වූ මෙවැනි මොහොතක සියලු අභියෝගයන් ලෙහෙසියෙන් ජයගත හැකිවීම අරුමයක් සේ මට නොහැඟේ.

දැන් වේලාව මධ්‍යම රාත්‍රිය ද පසුව ගොසිනි. සියල්ලෝම විඩාබරව සිටියද කිසිවකුª වෙතින් උනන්දුව හා කැපවීම බිඳකුඳු පහව ගොස් නැත.

‘මචං අද මේ ෂෙඩූල්ඩ් එක කොහොම හරි ඉවර කරන්න ඕනෑ’

මගේ සිතිවිලි තේරුම් ගත්තාක් මෙන් සුදේශ් වසන්ත එසේ පවසන්නේ තමන් හා උරෙනුර ගැටී එකී කාර්යයට සහාය දක්වන පිරිස දෙස නෙත් හෙළමිණි. මේ සියලු අවශ්‍යතාවන්, සීමා මායිම් මැද්දේ මමත්, ටෙනීත් දර්ශන තල භූමියෙත් ඉන් පිටතත් ඔබ මොබ සැරි සරන්නේ මිටින් මුදාහළ කුරුල්ලන් මෙනි.

අඩි දෙකකට වඩා නොඋස්, අඩියක් පමණ උසට වතුර පිර වූ විශාල ටැංකියක තවත් සටන් ජවනිකාවක් රූගත කිරීමට සියල්ල සූදානම්ය. කළු විජේගේ පහරකින් රන්ජා බොර පැහැයෙන් යුත් මඩ වතුරේ උඩු බැලි අතට ඇද වැටේ. එකී දර්ශනය කිහිප විටක් රූගත කිරීමට සිදුවීම නිසා රන්ජන් උඩුබැලිඅතට ඒ මඩ වතුරේ පෙරලී සිටියේ තරමක ආයාසයෙනි.

ඕනෑ නම් අපි තව ටේක් එකකට යමු. . .

රන්ජන් සියලු අසීරුතාවන් මැඬ ගනිමින් සුදේශ් වසන්තට යෝජනා කරයි. සුදේශ් ගේ මුහුණින් පිළිබිඹු වන්නේ සෑහීමකට පත් වූ ඉරියව්වකි. අපේ සිනමාවේ විටෙක සිහින කුමරා ලෙසත්, විටෙක සුපිරි වීරයා ලෙසත් අභිසෙස් ලද රන්ජන් ගේ නිහතමානිත්වය හා නම්‍යශීලී ප්‍රතිපත්තීන් අධ්‍යක්ෂවරයාට මෙන්ම සෙසු කාර්මික ශිල්පීන්හට ද මහත් අස්වැසිල්ලක් වන බව නොඅනුමානය.

අද මේ දර්ශන තලයේ රූගත වූයේ සටන් ජවනිකා කිහිපයක් පමණකි. වීරයාගෙන් අම්බානකට ගුටිකන දුෂ්ටයා වෙනුවට ‘රන්ජා’ චිත්‍රපටයෙන් අප දුටුවේ වීරයා හා කරට කර සටන් වදිනා දුෂ්ටයෙකි. කෙසේ හෝ රන්ජා හා කළු විජේ අතර ඇතිවන ද්වන්ධ සටනින් අවසානයේ කළු විජේ මිය යයි. ක්‍රියාදාම චිත්‍රපටයක් වුව ද ‘රන්ජා’ නැටුම්, ගැයුම්වලින් සපිරි සොඳුරු ප්‍රේම වෘත්තාන්තයකි.

ටෙනිසන් කුරේ, පියුමි බොතේජු, රොජර් සෙනෙවිරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, හිමාලි සිරිවර්ධන, රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, දෙනුවන් සේනාධි, නිපුනි විල්සන් ඇතුළු ප්‍රවීණ, ජනප්‍රිය හා නව පරපුරේ නළු, නිළියන් පිරිසක ‘රන්ජා’ට රංගන දායකත්වය ලබා දෙති. එහි කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙනි. කැමරාකරණයෙන් ගාමිණී මොරගොල්ලාගම හා සහාය

අධ්‍යක්ෂණයෙන් කුමාරසිරි ද සිල්වා දායකත්වය සපයන ‘රන්ජා’ හි සංගීතය සපයන්නේ නව පරපුරේ දක්ෂ සංගීත ශිල්පියකු වන කේෂාන් පෙරේරාය.

මම උත්සාහ කරන්නේ 70 දශකයේ අපට තිබුණ ජනප්‍රිය සිනමාවේ සුන්දරත්වය නැවත ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නයි. ‘රන්ජා’ චිත්‍රපටය හරහා කිසියම් දුරකට හෝ ඒ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙයි කියා මා හිතනවා. එදා ජනප්‍රිය සිනමාවේ තීරණාත්මක සාධකය වූ ගැලරිය අද නැතත් බැල්කනියේ සිට හෝ යම් ප්‍රේක්ෂකයකු තමන්ගේ වීරයාට අත්පුඩියක් ගැහුවොත් ඒක අප ලැබූ ජයග්‍රහනයක්. රන්ජා චිත්‍රපටයට එවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේ යැයි මා සිතනවා.

රන්ජා දර්ශන තලයෙන් අප සමුගන්නා මොහොතේ අධ්‍යක්ෂ සුදේශ් වසන්ත එසේ පැවසූයේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවය .

“රන්ජා” කථා සාරාංශය

ගමේ ඇලක් අසල ඇති කර්මාන්ත ශාලාවකින් අපවිත්‍ර ජලය බැහැර කිරීම නිසා ගමේ අයට එහි ජලය භාවිතයට ගැනීමට නොහැකි වෙයි.

මේ ගැන උරන වූ ජනයා කර්මාන්ත ශාලාව විනාශ කිරීමට බෝම්බ සවි කරයි. මේ ආරංචිය දැනගත් රන්ජා එතැනට පැමිණ, මෙය පිපිරවීමට සැරසෙන ගම්මුනට පහර දී එය වලක්වයි.

පසුදින ග්‍රාමසේවක සහ ගමේ පිරිස මේ ගැන සාකච්ඡා කර ඇමති හමුවීමට තීරණය කරයි. මේ

කටයුත්ත සඳහා රන්ජා යැවීමට සියලු දෙනා කැමති වෙයි. ගමේ තරුණියක් වන විහඟි ද ඔහු සමඟ නගරයට පැමිණීමට ඉදිරිපත් වේ. ඇයගේ නැන්දා ද ඔවුන් සමඟ එයි.නගරයට පැමිණෙන රන්ජා තමාගේ මිතුරා වන ජොනීගේ නිවසේ නතර වේ. ටොමී ජොනීගේ හොඳම මිතුරාය. ටානියා නගරයේ හැදුණු සංකර ගති පැවතුම් ඇති තරුණියකි. ජොනී ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කරයි.ස්වර්ණා පාතාලයේ රැජිනයි. කළු විජේ ඇයගේ සොහොයුරාය. ඇමතිතුමා මේ පාතාල කල්ලිය මෙහෙයවයි. කළු විජේ මොවුන් සිටින වීදියේ මැරකම් කරමින් කප්පම් ගනිමින් සිටී.මෙම වීදියේ සිදුවන දූෂණ හා මැරකම් නැතිකර සාමකාමී පරිසරයක් ඇති කිරීමට උත්සාහ කරන නීති ගරුක පොලිස් පරීක්ෂකවරයෙක් සිටී. ඔහු මෙම පාතාල කල්ලිය මර්ධනය කිරීමට සියලු බලතල යොදයි. මේ නිසා මොහු සමඟ ඇමති සහ පාතාල කල්ලිය වෛරයෙන් පසුවෙයි.

රන්ජා ඇමතිතුමා හමු වී ගමේ ප්‍රශ්නය පැවසූ විට ඔහු එය විසඳා දීමට පොරොන්දු වේ. ටානියා ජොනීට අකමැති නිසා ඇය රන්ජා හා හාද වීමට උත්සාහ කරයි. මෙය දැනගත් විහඟි තරහින් පසුවේ.

ටානියා රන්ජා හා හාදවීමට උත්සාහ කරන බව දැනගත් ජොනී කණගාටුවට පත් වෙයි.කළු විජේ කඩවීදියේ කප්පම් ගැනීමට පැමිණි අවස්ථාවේ රන්ජා හා ඇතිවන කතාබහකදී රන්ජා කළු විජේ ගේ අත කඩයි. මේ නිසා රන්ජා හා කළු විජේ අතර වෛරයක් ගොඩ නැගේ.ස්වර්ණා ඇමතිගේ ආධාරයෙන් මැතිවරණයට ඉදිරිපත් වී මැර බලයෙන් ඡන්දය ජයග්‍රහනය කරයි. ස්වර්ණා සහ කළු විජේ තමන්ගේ බලය පාවිච්චි කර රන්ජා විනාශ කිරීමට සැරසේ. ස්වර්ණා සහ කළු විජේ ඇමැති හමු වී රන්ජාගෙන් තමන්ට කරදර සිදුවන බව පවසයි. මේ නිසා ඇමති රන්ජා සමඟ තරහින් පසුවේ.මේ අතර ටානියා වෙනත් පෙදෙසක පදිංචියට යයි. රන්ජා ඇමති හමු වී ගමේ ප්‍රශ්නය පිළිබඳව විමසයි. මේ අවස්ථාවේ ඇමැති සමඟ ස්වර්ණා හා කළු විජේ ද සිටිති. ඇමැති රන්ජාට තර්ජනය කරයි. ස්වර්ණා සහ කළු විජේ රන්ජාට පහර දී මැරුණා යයි සිතා මහ මඟ දමා යයි.

රන්ජා ගෙදර නොපැමිණි නිසා විහඟි ඔහු සොයමින් සිටී. මේ අතර ටානියා ත්‍රීවිලරයකින් යන විට මහ මඟ වැටී සිටින රන්ජා හමුවේ. ඇය ඔහු ගෙදරට රැගෙන යයි. ඇය විහඟිට රන්ජා හමු වූ බව දැනුම් දෙයි. විහඟි පැමිණ රන්ජා හමුවේ. රන්ජා මෙහි සිටීම අනතුරුදායක බැවින් ගමට යන ලෙස ඇයට කියා සිටී.රන්ජා මැරී නැති බව ඇමැති දැන ගනී. ඔහු මේ බව ස්වර්ණාට දැනුම් දෙයි. මේ ගැන විමසිල්ලෙන් සිටින ඔවුන්ට විහඟි සහ නැන්දා ත්‍රීවිලරයෙන් යන විට හමුවේ. මෙම ත්‍රීවිලරය ලුහුබැඳ ගොස් ඔවුන් ගමන් ගන්නා ජීප් රථය හප්පයි. මෙහිදී විහඟි බරපතල තුවාල ලබයි. මේ දැනගත් රන්ජා ඇය බැලීමට රෝහලට යයි. ඇය දුටු රන්ජා ඇමතිගෙන් පලිගැනීමේ දැඩි තීරණයකට එළඹේ.රන්ජා ඇමැති හමුවීමට යන විට එහි ස්වර්ණා හා කළු විජේ ද සිටී. මොවුන් අතර සටනක් ඇතිවේ. එහිදී කළු විජේ සහ ස්වර්ණා මරණයට පත්වේ.මේ වන විට මහ ඇමති මෙම දූෂිත ඇමතිවරයාගේ ක්‍රියා කලාපය ගැන දැනගෙන සිටී. ඔහු රන්ජා හමු වී ගමේ ප්‍රශ්නය විසඳා ඔහුට ද ප්‍රශංසා කරයි.