වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං වඩාත් කැමැති ජීවිත ගැන කතා කරන්නයි

මං වඩාත් කැමැති ජීවිත ගැන කතා කරන්නයි

කෙටි චිත්‍රපට තනා දිගු ගමනක් යන ශමීර

ලාංකේය සිනමාවට අලුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට සැරසෙන ඔහු එහි මූලික පියවර තබා අවසන්. ක්ෂේත්‍රයට කෝඩුකාරයකු නොවූ ඔහු රංගන ශිල්පියකු ලෙසත්, සහාය අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරමින් සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වී අවසන්. ශමීර රංගන නාඔටුන්න නම් මේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා දැන් සැරසෙන්නේ ඔහුගේ කුලුඳුල් වෘත්තාන්ත චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි.

පියවරෙන් පියවර පැමිණි ගමනේ සුවිශේෂී කඩ ඉමක්. ශමීර ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මෙය මුල සිට පිළිවෙළට පැමිණි ගමනේ විශේෂ අවස්ථාවක්. රංගන ශිල්පියෙක් ලෙස ආරම්භ කළ ගමනේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ලද අත්දැකීම් සම්භාරයේ ප්‍රතිඵලයක් තමයි මේ.

ඔබේ කුළුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය ගැන වැඩි විස්තර දැනගන්න කැමැතියි?

මෙහි අධ්‍යක්ෂණය වගේම තිර රචනය කළෙත් මවින්මයි. එය නම් කළේ ‘මෝටර් බයිසිකලය’ කියලා. නාගරික සමාජයක ජීවත් වෙන තරුණයෙක් තම බලාපොරොත්තු, අරමුණු ඉටු කරගන්න දරණ උත්සාහය සහ එහිදී සමාජය තුළින් ඇතිවන බලපෑම් මෙහිදී නිරූපණය කෙරෙනවා. මේ මාසෙ 28 වැනිදා කොළඹ දී මෙහි රූගත කිරීම් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, කලණ ගුණසේකර, පාලිත අබේලාල්, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රියන්ත ලලිත්, දිමුතු චින්තක සමඟින් සමිත සුගීෂ්වර මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවනවා. ලබන වසරේ ආදරවන්තයන්ගේ දිනය දා මේ නිර්මාණය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්?

මායිම් ගම්මානයක සිට දුෂ්කරතා මධ්‍යයේ නගරයට එන බස් රථයකට ගොඩ වෙන ගැමියන් පිරිසක් මුහුණ දෙන ශෝචනීය ඉරණමක් රැගත් ‘Six Miles’ කෙටි චිත්‍රපටය 2011 වසරේදීත්, කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකගේ රැකියාව ගැන කියවෙන ‘Hands’ කෙටි චිත්‍රපටය 2012 වසරේදීත් නිර්මාණය කළා. ඒ අතුරින් ‘Six Miles’ දෙස් විදෙස් කෙටි චිත්‍රපට උළෙල ගණනාවකදීම ඇගැයීමට ලක් වුණා.

ඒ පිළිබඳවත් සඳහන් කරමු?

2011 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි ස්වර්ණ සම්මානය සහ එම වසරේම අජෙන්ඩා 14 සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව මඟින් පැවැත් වූ කෙටි චිත්‍රපට උළෙලේ ජූරි සම්මාන එයට හිමි වුණා. ඊට අමතරව ‘Six Miles’ 2011 වසරේදී සොල්වේනියාවේ පැවැති හය වැනි අන්තර් ජාතික කුඩා හා නිදහස් කෙටි චිත්‍රපට උළෙලේ 2nd Pant of Additinal Selection අංශය ඇතුළුව බ්‍රසීලයේ 6 වැනි සිනේ ෆැන්ටසි අන්තර් ජාතික කෙටි චිත්‍රපට උළෙල, ජර්මනියේ ‘24 Hours of Nurembrg’ උළෙල සහ ඉන්දියාවේ දස වැනි Third Eye සිනමා උළෙලේ තරඟකාරි අංශයට සුදුසුකම් ලැබුවා.

ඔබ කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්න විශේෂිත වූ හේතුවක් තිබුණාද ?

රූප මාධ්‍ය මම ගොඩක් ප්‍රිය කරන මාධ්‍යයක්. ඒ තුළින් මම මගේ අදහස් ඉදිරිපත් කිරීමට තමයි නැඹුරු වුණේ. මම ආසා කරන කුමක් හෝ දෙයක් හෝ සිදුවීමක් දෙස බලාගෙන ඉඳලා එතැනින් එහාට යමක් නිර්මාණය කිරීම තමයි මගේ අරමුණ. එහි එක් අවස්ථාවක් තමයි මේ කෙටි චිත්‍රපට. ඒ වගේම මට හිතෙන දේ ප්‍රකාශ කිරීමට විවිධ මාධ්‍ය මා තෝරා ගන්නවා. ඊට අමතරව වාර්තා චිත්‍රපටත් නිර්මාණය කරනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයටත් මා ලද අත්දකීම් ඇතුළත්.

තරුණ නිර්මාණකරුවෙක් විදියට මෙරට කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයේ ඔබේ පරම්පරාවට ඇති පහසුකම් මොන වගේද?

ලංකාවේ බෙහෝ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඉන්නවා. නමුත් ඒ සියලු දෙනා වෙනුවෙන් නිසි සැලැස්මක් අද නැහැ. අතළොස්සක් දෙනා විශාල මුදලක් වියදම් කර වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණ සඳහා පෙළඹෙන වාතාවරණයක් තුළ රැල්ලට නිර්මාණ කරන පසුබිමක් තමයි අද තියෙන්නෙ. නවකයන් සාර්ථක නිර්මාණ කළත් එතැනින් එහාට ඔවුන් ඔසවා තබන වැඩ පිළිිවෙලක් අවශ්‍යයයි.

ශමීර ඔබ විදෙස් කෙටි චිත්‍රපට උළෙල ගණනාවක් නියෝජනය කළ නිර්මාණකරුවෙක් ලෙස මෙරට කෙටි චිත්‍රපට ක්ෂේත්‍රය විදේශයන් සමඟ සැසැඳීමේදී මොකද හිතෙන්නේ?

නිර්මාණාත්මක අතින් අපේ රටේ නිර්මාණකරුවන් ඉහළ තැනක ඉන්නවා. ගොඩක් දක්ෂ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් රැසක් අද වන විට බිහි වෙලා කියන්න පුළුවන්. Third Eye සිනමා උළෙලට මම ඉන්දියාවට ගිය අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලය මගෙන් ඇහුවේ ‘ඔබ මොන සිනමා පාසලේ ද අධ්‍යාපනය ලැබුවේ?’ කියලයි. එවැනි අධ්‍යාපනයක් ලබන්න අවස්ථාවක් නොමැති බව මම කිව්වත් නිර්මාණයේ හැටියට එහෙම හිතන්න අපහසු බව ඔවුන් මට පැවසුවා. අපට තව තවත් ඉදිරියට යන්න නම් තාක්ෂණික වටපිටාව තව තවත් දියුණු විය යුතුයි.

ඇත්තටම ඔබ මේ සම්බන්ධව පාඨමාලා හැදෑරීමක් සිදු කරලා නැද්ද?

නැහැ. මම කිසිම පාඨමාලාවක් හදාරලා නැහැ. සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට ලබා ගත් අත්දැකීම් පමණමයි කියලා සඳහන් කරන්න කැමැතියි. එහිදී ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක, ඉනෝකා සත්‍යාංගනී, අරුණ ජයවර්ධන, අරුණ ගුණරත්න, සුරේන්ද්‍ර සිල්වා වැනි ප්‍රවීණයන් රැසක් යටතේ මම කටයුතු කරලා තියෙනවා. ඒ අතර ඉනෝකා සත්‍යාංගනී යටතේ තමයි මා පළමුව සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේ. මට සිනමාව හදාරන්න අවස්ථාව ලැබුණේ චිත්‍රපට නැරැඹීමෙන් සහ ප්‍රවීණයන් සමඟ කටයුතු කිරීමෙන් පමණයි. ඒ වගේම තිස්ස අබේසේකර, එම්. ඩී. මහින්දපාල වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලද දැනුම මේ ගමනට අත්වැලක් වුණා.

අධ්‍යක්ෂවරයෙක් ලෙස නිර්මාණකරණයට පිවිසෙන ඔබේ නිර්මාණ සඳහා විශේෂිත වූ තේමාවක් තියෙනවද?

මම ගොඩක්ම කැමැති මිනිස් ජීවිතය ගැන කතා කරන්න. මිනිස්සු ජීවිතය දකින ආකාරය, ඔවුන් තම අරමුණු, බලාපොරොත්තු ඉටු කර ගන්නා ආකාරය වගේම ඒ ගැන වෙනමම මානයකින් නිර්මාණ එළි දක්වන්න තමයි මම වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ.

මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසි ශමීර රංගන නම් රංගන ශිල්පියා ගැනත් සඳහන් කළොත්?

මුලින්ම රංගන ක්ෂේත්‍රයට තමයි මම පිවිසුණේ. චිත්‍රපට, ටෙලි නාට්‍ය, ඒකාංගික ටෙලි නාට්‍ය රැසකම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මෑතකදී නිකිණි වැස්ස චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. රංගනයට මම ගොඩක් කැමැතියි. ඒ සඳහා අවස්ථාව ලැබුණොත් භාර ගන්නවා.

පවුලේ විස්තරත් ටිකක් කියමුද?

මම උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබුවේ කොළඹ වෙළුවන විද්‍යාලයෙන්. මම පදිංචි වෙලා ඉන්නේ බොරැල්ලේ. මට වයස අවුරුදු 12 දී තමයි මගේ තාත්තා නැති වුණේ. එදා ඉඳලා අම්මා තමයි අපේ පවුල ගොඩ නැගුවේ. මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.

මේ දක්වා පැමිණි ගමන වගේම ඉදිරි ගමන ගැනත් කෙටි සටහනක් කියමු නේද?

මේ දක්වා වූ කාලය තුළ කළ කැප කිරීම මත තමයි මෙතරම් දුරක් එන්න හැකි වුණේ. හැම දේම මුදල් මත සිදුවන සමාජයක අපේ උනන්දුව වගේම කැප කිරීම වැදගත් කොට සැලකුවොත් සාර්ථක ගමනක් යන්න පුළුවන්. අද දවස සිනමාව කරා මා යන ගමනේ එක සංදිස්ථානයක්. ඕනෑම කෙනෙකු අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන්. මගේ වෑයම ප්‍රේක්ෂක හදවත්වලට කතා කරන සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වීමයි.
ශමීර රංගන නාඔටුන්න – 0718616665.