වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අනිත් අයට වඩා මං දඟකාර ඇති

අනිත් අයට වඩා මං දඟකාර ඇති

‘අභිනික්මන’ චිත්‍රපටයේ ශ්‍රී දේවි හමුවෙමු

ඇය කටකාරය, දඟකාරකමෙහිද අඩුවක් නැත. රුවින් ද අගතැන්පත්ය. පළමුව ඇය අප හමුවට පැමිණියේ නිවේදිකාවක ලෙසිනි. දෙවනුව මේ සුරූපිණිය පුංචි තිරයේ රංගන ශිල්පිනියක් වූවාය. වර්තමානය වනවිට ඈ හෙක්ටර් කුමාරසිරිගේ අභිනික්මන සිනමා පටයෙහි ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරමින් රිදී තිරයට ද පිවිස සිටින්නීය.

ලෝචනා ඉමාෂි

ඔබට දැන් ඇයව බෙහෙවින් හුරුපුරුදුය. කතා කරමු ලෝචනා එක්ක.

ලෝචනා, කොහෙන්ද අප මේ කතාව පටන් ගන්නේ?

මං හිතන්නේ අභිනික්මන චිත්‍රපටයෙන් වුණොත් හොඳයි. ඒ චිත්‍රපටය නිසා මිනිස්සු මං ගැන ආයෙත් කතා බහ කරන්න පටන් ගත්තා.

කොහොමද ඔබට අභිනික්මනට සම්බන්ධවන්න අවස්ථාව ලැබෙන්නේ?

එහි ප්‍රධාන නළු චරිතය මවන සුදර්ශන බණ්ඩාරයි මං ගැන අධ්‍යක්ෂවරයාට දන්වලා තියෙන්නෙ. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් අනතුරුව අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම චරිතය ගැන පැහැදිලි කරලා මාව ගත්තා.

එතකොටත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලද තිබුණේ?

ඔව්. මං දිගන්තය වැඩසටහන ඉදිරිපත් කරන කාලයේ ඉඳලා චිත්‍රපටවලට කතා කළා. කාල වේලාවේ ප්‍රශ්න නිසා ඒවට දායක වන්න බැරිවුණා.

අභිනික්මන සඳහා ඔබ කැමැති වූයේ ඇයි?

චිත්‍රපටය රූ ගත කළේ අවුරුදු දෙකකට විතර කලින්. එතකොට මං සිරස ආයතනයෙන් ඉවත් වෙලා හිටියේ. ආයතනික බැඳීම් නිමවුණා. කාලවේලාවත් ඕනතරම් තිබුණා. අනික අභිනික්මනෙහි පිටපතක් හොඳයි. මගෙ චරිතයටත් මං බෙහෙවින් පි‍්‍රය කළා. මේ හේතූන් මත අභිනික්මනට බැහැ කියන්න බැරිවුණා.

මා දන්න පරිදි ලෝචනා සාමාන්‍ය ජීවිතයේ හරිම දඟකාර චරිතයක්. ඔබට රඟපාන්න ලැබුණු බොහෝ චරිතවලත් ඒ ගතිගුණය තියෙනවා. ඒක අභිනික්මන චිත්‍රපටයේ චරිතයටත් පොදු කාරණයක්....

ඇත්ත. ඕක අපේ ක්ෂේත්‍රයේ තිබෙන බරපතල වැරැද්දක්. යම් අධ්‍යක්ෂවරයෙක් මට දඟකාර චරිතයක් දුන්නා. ඊළඟට මට දිගින් දිගටම ආරාධනා කළේ එවන් වූ චරිතවලට. ඒ නොවිය යුත්තක්. මට සීරියස් චරිත කරන්න පුළුවන්.

මං හිතන්නේ මගෙ ළඟ ඇති දඟකාරකම වෙනත් නිළියන් ළඟ නැතිව ඇති. ඒකනේ එවන්ම වූ චරිත ලැබෙන්නේ. හැබැයි අභිනික්මන චිත්‍රපටයේ ශ්‍රී දේවි කියන මගේ චරිතයට දඟකාරකම සමඟ තවත් ගති ලක්ෂණ එකතු වී තිබුණා. පිරිමියකුව කපටිකමින් පොළඹවා ගැනීම එහිදී විශේෂයි. ඒ කපටිකම ඇතුළේ කියන වචනත් අර පොළඹා ගැනීම තවත් තීව්‍ර කරනවා. චිත්‍රපටය නැරැඹූ අයට මං මේ කියන කතාව පැහැදිලි ඇති. බුද්ධදර්ශි හාමුදුරුවෝ සිය මවුපියන්ව බලාගන්න ගෙදර ඇවිත් නවතිද්දී උන්වහන්සේට ශ්‍රී දේවි කියන දෙබස් කොච්චර කපටියිද? අන්න ඒ ගතිගුණය නිසා මට ලැබිච්ච අනෙකුත් චරිත එක්ක සසඳද්දී මේක වෙනස්ම එකක්.

අභිනික්මන රූගත කරද්දී සිදුවූ ලොකුම අකරතැබ්බයයි මං ඊළඟට අහන්නේ ?

ශ්‍රී දේවි බයිසිකල් පදින දර්ශන පිටපතෙහි තිබුණා. මං ඒ ටික කරන්න ටිකක් අදිමදි කළා. මොකද මට හොඳින් බයිසිකල් පදින්න බැරි නිසා කොහොමවුණත් මං බෑ බෑ කිව්වට ඒ දර්ශන එහෙම්මම කරන්න වුණා. ඒ මදිවට එක්තරා තැනක සුදර්ශනවත් දමාගෙන බයිසිකලය පදින්න ඕනේ. මං ඔහුට කිව්වේ නැහැ, මට හොදින්ම බයිසිකල් පදින්න බැහැ කියලා.

ඔහුත් හරිබරි ගැහිලා බයිසිකලයේ වාඩිවුණා. මමත් චණ්ඩියා වගේ වැව් කණ්ඩිය දිගේ බයිසිකලය පදින්න හැදුවා. බැරි බැරි ගානෙ ටික දුරයි ගියෙ. බයිසිකලය පෙරලුණා. දෙන්නම රෝල්වෙවී වැව් බැම්මෙන් පහළට ආවා. මට නම් කිසි අවුලක් නැහැ. සුදර්ශනටයි හොඳටම තුවාල වුණේ. පස්සෙ මාව මරාගෙන කන්න හැදුවා සුදර්ශන.

අභිනික්මන වගේ චිත්‍රපටයකින් රිදී තිරයට දායක වන්නට ලැබීම ගැන මොකද හිතෙන්නේ ?

ලෝචනා ගැන කෙටි විස්තර ටිකක්

සම්පූර්ණ නම – පී.ඒ. ලෝචනා ඉමාෂි
පාසල – නුගේගොඩ අනුලා විද්‍යාලය
උපන් දිනය – 1988.05.15
ගම – කිරුලපන
ලග්නය – වෘෂභ
වැඩිපුර අදින්න කැමැති – ටී ෂර්ට් එකයි, ඩෙනිමයි, රබර් සෙරෙප්පු දෙකයි.
ලෝචනා යන නමේ තේරුම ඇස් යන්නයි කියලා ඇය කිව්වා.
ඒ වගේම තමා අන්තිම සරල කෙනෙක් බව අවසන්කොට පැවසුවා.
මෙතෙක් රඟපා ඇති ටෙලි නාට්‍ය – කාව්‍යා, අපි අපි වගේ, සඳ සඳ වගේ, සඳ පිණි බිඳක, තූර්යා.

හොඳ නිර්මාණයකින් චිත්‍රපට ලෝකයට සම්බන්ධ වන්නට කෙනෙකුට හම්බවන අවස්ථාව අඩුයි. ඒක නිසා මෙවන්වූ ගුණාත්මක සිනමා පටයකට සම්බන්ධ වන්නට ලැබීමත් සතුටක්. නමුත් රංගනයෙන් මෙච්චර දුර එන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මට.

මං අදටත් කැමැති මාව නිවේදිකාවක් විදිහට හඳුන්වනවට මේවන විට මාතුළ සිටින නිවේදිකාවට වැඩ අඩුයි.

ලෝචනාගේ හැබෑනොවූ හීන මොනවද තියෙන්නේ ?

පාසල් යන කාලයේ මං හිතාගෙන හිටියෙ ලෝයර් කෙනෙක් වෙන්න. ඒ වෘත්තියට මට යන්නට බැරිවුණා.

රංගනය හෝ නිවේදනය පැත්තෙන් එහෙම හීන තිබෙනවාද?

අනේ නැහැ.

මෑත කාලීනව ඔබට වැඩිපුර ආරාධනා ලැබුණේ මෙගා නට්‍ය වලට. එහෙම නේද?

මට කොටස් 30 – 40 වගේ මෙගා නොවන නාට්‍යවලට කතා කළා. ඒත් මෙගා නාට්‍යයක් කරද්දි එක දිගට සතියේ වැඩිපුර දින ගණනක් ෂුට් කරනවා. එහෙයින් අනෙක් ආරාධනාවලට හා කියන්න අමාරුයි. දොඩම්ගොඩ බදාගන්නවා වගේ හැමදේම බදාගන්න බැහැනෙ. ඒත් මගෙ විශේෂ කැමැත්තක් මෙගා වලට නැහැ.

ලෝචනා වේදිකාවෙ නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා ?

සිල්ගත් කොක්කු, දුවිලි වගේ නට්‍ය කිහිපයක රඟපානවා. ඇත්තටම කිව්වොත් මා පුදුමාකාර තෘප්තියක් ලබන්නෙ වේදිකා නාට්‍යයක රඟපෑමෙන් අනතුරුව ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි. ඒවගේම රසික ප්‍රතිචාරත් එවලෙම ලැබෙනවා.

ඔබ කලින් කිව්වා මෙගා නාට්‍යය නිසා මෙගා නොවන නාට්‍යවලට යන්න අමාරුයි කියලා. එහෙනම් වේදිකා නිර්මාණ සඳහා කාලය වෙන්කර ගන්නේ කොහොමද?

වේදිකා නාට්‍ය හැමදාම පෙන්වන්නේ නැහැනේ. අනික මට පහසු වේලාවන්හි රිහසල් දාගන්න පුළුවන්නෙ. ඒක නිසා මෙගා අතර වේදිකා නාට්‍යය කරන්න මං ඉඩහසර වෙන්කරගෙන තියෙන්නෙ.

මොනවද ඔබේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ? දැන්ම විවාහවෙන්න අදහසක් නැද්ද?

ඒක ගැන තවම තීරණයක් නැහැ. ඉදිරියේදී මගේ ආදරවන්තයා ගැන විස්තර කියන්නම්. පුද්ගලික ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් විනෝදයෙන් ගෙවනවා.