වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුපිරි තරු සිහිනයෙන් ඉවත් වූ පවිත්‍ර කසුන්

සුපිරි තරු සිහිනයෙන් ඉවත් වූ පවිත්‍ර කසුන්
 

මේ ඉවත් විම ගැන ප්‍රේක්ෂකයන්ට පුදුමයි

ඔහුට සුපිරිතරු තරගබිම ආගන්තුක තැනක් නොවුණේය. මීට ප්‍රථම අදිරයන් දෙකකදී හෙතෙම තරගවැදී තිබිණි. එවකට ඔහු පාසල් ශිෂ්‍යයකි. අධ්‍යාපන කටයුතු හමාරකොට ඔහු නැවතත් සුපිරිතරු සොයා යෑමේ පස්වැනි අදිරයටත් අයැදුම් කළේය. පසුගියදා ඔහු එයින් ඉවත් වුයේ පස්වැන්නා හැටියටයි.

පවිත්‍ර කසුන් මේ ලියවෙන්නේ ඔහු ගැනයි

කසුන් මෙතෙක් පැමිණිදුර ගැන මොකද හිතෙන්නේ?

ලොකු ආත්මතෘප්තියක් දැනෙනවා. මම සුපර්ස්ටාර් සීසන් 2 සහ සීසන් 4 යන තරගාවලීන්ට සහභාගී වුණා. මුලින්ම මෙයට සහභාගී වෙනකොට මං හය වසරෙ විතර ඇති. එතකොට මං පුංචිම පුංචි ළමයෙක්. පොඩි හින්දමයි වැඩිදුර යන්න ලැබුණේ නැත්තෙ. ඉස්කෝලෙන් අවුට් වෙලා මෙහි පස්වැනි අදියරට දැම්මා. අනෙක් බොහෝ තරගකරුවන් වගේ මගෙ ඇප්ලිකේෂන් එකත් දැම්මෙ අම්මා. මෙහි මට ගොඩක්දුර එන්න හම්බවුණා. ඒත් මගේ උපරිමය එළියට දැම්මේ නැහැ. ක්‍ෂේත්‍රයේ යන අතරතුරදි හැකියාව තවතවත් දියුණුකර ගන්නවා.

ඔබට විශ්වාසද ඔබ ඉවත්වුයේ සුදුසු ස්ථානයෙන් කියලා?

මට වඩා මගෙ ප්‍රේක්‍ෂකයෝ. පුදුමවෙනවා මං ඉවත්වුණ එකට. එයාලා කියන්නේ මං දැන්ම ඉවත්වන්න විදිහක් නැහැ කියලා.

ඒ කියන්නේ එස්.එම්.එස්. ගැන ඔබට පැහැදීමක් නැහැ?

අනේ මන්දා කොහොම නමුත් දැන් මං ඉවත්වෙලා ඉවරයිනේ.

තරගයෙන් කැපුණු දින බොහොම සංවේදී වුණා ඔබ?

ඒ දුක දවස් දෙකක් යනකම්ම මගෙ හිතේ තිබුණා. බොහොම අමාරුවෙන් යටපත් කරගත්තේ.

මෙම අදියරේ සිටි ජනප්‍රියම තරගකරුවා ඔබ බවට ඇතැම් අය කියනවා?

මගෙ ජනප්‍රියත්වය ගැන තක්සේරු කරන්න මට බැහැ. මගෙ නම ගොඩක් අයට මතකයි.

සුපර්ස්ටාර්වලට ගිහිල්ලා ඔබට මොනවද ලැබුණේ ?

හොඳ රසික පිරිසක් මා වටා රොක් වුණා. එක මං ලද සුවිශේෂි ජයග්‍රහණයක්.

ඔබේ වෘත්තිය සංගීතය වේවිද ?

නැහැ. මං වෙනත් ජොබ් එකක් කරන ගමන් තමයි සංගීතය කරන්න හිතාගෙන ඉන්නේ.

හේතුව?

මියුසිකල් ෂෝස් හැමදාම නැහැනේ. අනික කටහඬ කියන දේ කවදා හරි නැතිවෙන්න පුළුවන්. ජොබ්එකක් තියෙද්දි බය නැහැ. මාස අන්තිමට කීයක් හරි පඩියක් අතට එනවනේ.

මේ දින වල කොහොමද ඔබේ ජීවිතය ගෙවෙන්නේ?

ෂෝස්වලට සහභභාගි වෙනවා. ඊට අමතරව සිරස ආයතනයෙන් අප වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා. ඒවා ගයන්න සුදානම් වෙනවා.