වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී කට වහපන් කිව්වා හෝල් එක නිහඬ වුණා

ගාමිණී කට වහපන් කිව්වා හෝල් එක නිහඬ වුණා

සිනමාහල් කළමනාකරු එල්.ඒ චන්ද්‍රපාල මහතා

ප්‍රක්ෂේපණ යන්ත්‍ර, එහෙමත් නැතිනම් චිත්‍රපටයක් අපට නැරැඹීමට සලස්වන සෙන්චරි,සුපර් සිම්ෆැල්ක්,කේලී යනුවෙන් හැදින්විය හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍ර බොහොමයක් තිබෙනවා.මේවා මනාලෙස ක්‍රියා කරවන්නන් ගේ හැකියාවන් නිසා අපට කිසිදු ආයාසයකින් තොරව චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව උදා වෙනවා.

මේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගේ අඩු කම අද බොහෝ චිත්‍රපට ශාලා වැසීයාමට එක් හේතුවක් වී තිබෙනවා.ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගේ අඩුකමට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන්ට ලැබෙන වැටුපයි.වැටුප අඩු වන්නේ චිත්‍රපට නරඹන්නට එන ප්‍රේක්ෂක සංඛ්‍යාවේ අඩු කමයි.ප්‍රේක්ෂකයන් නොයෙන්නේ හොද චිත්‍රපට නොමැති කම නිසා විය හැකියි.

මෙන්න මෙවැන් වූ ක්‍රියා දාමයක් නිසාවෙන් අද චිත්‍රපට කර්මාන්තයේ නොයෙක් පැතිකඩ කඩාවැටෙමින් පවතින මොහොතක ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරන්නකු ලෙස හසල දැනුමක් ඇති,වසර තිස්පහකට වැඩිය මේ ක්ෂේත්‍රයේ නියැළී සිටින එල්.ඒ චන්ද්‍රපාල මහතා තම රැකියාව පිළිබදව පවසන්නේ මෙවැනි අදහසකි.

ඔබ මේ ක්ෂේත්‍රයට යොමු වූ තැනින්ම කතාව අරඹමු.

චිත්‍රපට බලන්න තියෙන ආශාව නිසාම ,මම අවුරුදු 16දි විතර තමයි මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. කහවත්ත අපේ ගමේ රොබින් තම්පො මහතා ගේ විලාස්නි සිනමාහලේ චිත්‍ර ශිල්පියෙකු වශයෙන් බැඳුනු මම ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රීයාකරුවකු ලෙසත් වැඩ කිරීමට පුරුදු වුණා. පසුව රත්නපුර ලක්ෂ්මි සිනමා හලේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රීයාකරුවකු ලෙස සේවය කළා,එම සිනමා හල වැසීයාම නිසා ඉම්පීරියල් ටෝකිස් සිනමා හල් දෙකක වැඩ කළා.ඊට පස්සේ කොළඹ තැන් කිහිපයක වැඩ කළා. මා අද සිනමාහලක කළමනාකරු දක්වා පැමිණි කෙනෙකු හැටියට මේ රැකියාව පිළිබද මට ඇත්තේ සතුටක් වගේම දුකක් .

මේ රැකියාව පිළිබද ඔබට ඇති සතුට ගැන කියමු?

හිතේ හැටියට චිත්‍රපට නැරඹුව,ගෙවල් දොරවල් හදාගත්තා, දරුමල්ලන්ට හොදට ඉගැන්නුව,පුත්තු තුන්දෙනාගෙන් දෙන්නෙක් රැකියාවන් කරනවා,අනෙත් කෙනා විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්නවා. ඉතින් මේ සේරම දේ කළේ මේ රැකියාවෙන් ලැබුණු ආදායමෙන්,චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් තමන්ගෙ වීරයන් තිරයෙන් දකින කොට හූ කියල විසිල් ගහල කෑ ගහන කොට දැනෙන සතුට තමයි අපිව මේ ක්ෂේත්‍රයේ රැඳෙව්වේ.දවසට දර්ශන වාර හතරක් පෙන්නුව.ගෙදර ගිහාම පසුදා එනකම් ඉවසිල්ලක් නැහැ.එදා තිබුණු චිත්‍රපට කී පාරක් නැරඹුවත් එපා වුනේ නැහැ.

එතකොට ඔබ ඔය කියන අසතුට කුමක්ද?

අද චිත්‍ර පට බලන්න එන්නෙ බොහොමයක් තරුණ පිරිස.මේ අය වැඩියමක් එන්නේ චිත්‍රපටි බලන්නම නෙමෙයි.මේ අය දන්නෙ නැහැ චිත්‍ර පටය පටන් ගත්තද කියලවත්,අද තියෙන් නෙ මෙවන් තත්ත්වයක්.දවසට දර්ශන වාර තුනක් පෙන්වන්නෙත් අමාරුවෙන්.මෙවැනි තත්ත්වයක් නිසා ඉදිරියේදී මේ රැකියාවෙ කිසිදු ස්ථීරත්වයක් පේන්න නැහැ,අනෙක අපෙන් පස්සේ මේ දේවල් කරන්න තරුණ පිරිස යොමුවෙන්නේ නැහැ.චිත්‍රපට කර්මාන්තය ඉදිරියට ගෙනයාම සදහා අපෙන් ලැබෙන දායකත්වයට කිසිදු අගැයීමක් ලැබී නැහැ.ප්‍රක්ෂේපන යන්ත්‍ර ක්‍රියා කරන්නන්ට ස්ථාවර වැටුපක් නැහැ.මොන තාක්ෂණය හදුන්වා දුන්නත් වැඩක් නැහැ.හොද චිත්‍රපට නැහැ.ඒ නිසා සෙනඟ එන්නෙ නැහැ.මේ රැකියාවේ ආයු කාලය රඳා පවතින්නේ සිනමා හල් හිමියා මතයි.රැකියාවේ ඉදිරි පැවැත්මටත්,මේ ක්ෂේත්‍රයට එන පිරිසට නිසි පුහුණුවක් ලබාදීමේ ඉදිරි වැඩපිළිවෙලක් පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාවෙන්වත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ.මෙන්න මෙවැනි දේවල් නිසා තමයි අසතුට මෙන්ම කල කිරීම් ඇතිවී තිබෙන්නේ.

මේ රැකියාවේ තිබෙන අස්ථාවර භාවය නිසාමද ඔබේ දරුවන් මේ ක්ෂේත්‍රයට යොමු නොකළේ?

ඔව්,එක් හේතුවක් වුනේ ඒ කාරණාව තමයි.අනෙක් දේ තමයි,එදා තිබූ නිල් චිත්‍රපට රැල්ල.මේ රටට ගෙන්වු වැඩි හරියක් විදේශ චිත්‍රපට මේ ගණයට වැටුනු ඒව වුණා.මේවට දරුවන් පෙළඹයි කියන බය නිසාත් එක් හේතුවක් වුණා.අද මේ තත්ත්වය නම් නැහැ.

ඔබ කියන විදිහට අද මේ ක්ෂේත්‍රයේ නියැළී ඉන්නේ වයසට ගිය අයද?

ඔව්,මගේ වයස 51යි.සිනමා හල් බොහොමයක වැඩ කරන්නෙ වයස 60ට වඩා වැඩි අය.ඇවිද ගන්නවත් බැහැ.වත්තන් කරගෙන ගිහින් තමයි යන්ත්‍රය ළඟ ඉන්දවන්නේ.වසර ගනණාවක් සිනමා හලක වැඩ කළ මේ අයට දැන් වෙන රැකියාවකට යන්න බැහැනෙ.ඒ නිසා ඉන්නව.නව තාක්ෂණයත් එක්ක තරුණ පිරිස බාදක බිඳගෙන මේ ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වෙන්න කැමැතිනම් හොද වැටුපකුත් සමඟ පුහුණුවක් ලබාදෙන්න මම සූදානම්. කැමැති අයෙක් ඉන්නවනම් මගේ දුරකථන අංක 0717254401 ට කතා කරන්න.

යන්ත්‍රය ළඟ තනිපංගලමේ ඉන්න ඔබට අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?

බොහෝමයක් දේ තිබෙනවා. එතකොට හෝල් එකේ පෙන්නුවෙ ජුරාශික්පාක්. චිත්‍රපටිය බලන්න ඇවිත් හිටියෙ පාසල් ළමුන් නිසා හරිම ශබ්දයි.ඊළඟට එන චිත්‍රපටය වුනේ දෙමෝදර පාලමයි.මේකෙ ටේලරයෙ තියෙනව කටවහපන් කියල ගාමිණි ෆොන්සේක මහත්තය කෑගහනව ,මම මේ කොටස ශබ්දය වැඩිකරල දැම්ම, මුළුහෝල් එකම මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වුණා.රීල්වල නම්බර් වැරදිලා යන්ත්‍රයට දාපු අවස්ථා එහෙම තියෙනව.ඒ කාලෙ හරි ජොලි අද සමහර චිත්‍රපට බලන් ඉන්න කම්මැලියි.

මේ ක්ෂේත්‍රයට ඔබ පිවිසෙන්න කළ කැපවීම් හා මෙතෙක් ඔබ ආ ගමන් මගේදී විශේෂයෙන් මතක් කළ යුතු අය ගැන යමක් කියමු?

මම අකුරු කළේ කොටකෙතන විදුහලේ.අපොස සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙලා මම තෝර ගත්තේ සිනමා හලක වැඩකරන රැකියාවක්.මාස තුනක් රීල් එතුව.මැෂින් පිහදැම්ම පුදුම කැප කිරීමක් කළා,ඒවගේමයි ඉවසීම,මේ කැප කිරීමේ ප්‍රතිඵලය නිසා,චිත්‍ර ඇදීම,යන්ත්‍ර ක්‍රියා කරු,කැන්ටින් කීපර්,බාර් කීපර්, චිත්‍රපට ප්‍රචාරක කටයුතු යන මේ සියල්ල ඉගෙන ගෙන අද සිනමා හල් කළමනාකරු ලෙස සේවය කරන්න අවශ්‍ය සියලු දේ ඉගෙන ගත්තා.මේ දේවල් නිසියා කාරව කියාදුන් ගුරු භවතුන් වන නැසීගිය චිත්‍රපට නිෂ්පාදක රොබින් තම්පෝ මහතා සහ අනුරාධපුර සිනින්ස්ටාර් සිනමා හලේ අයිතිකරුවන විපුල සෙනරත් මහතා , මේ අයව ගෞරවයෙන් සිහිපත් කරන්නත් කැමැතියි.