වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේක්ෂකයන්ගේ මනාපය ලැබුණත් විවේචකයන්ගේ මනාපය ලැබුණේ නෑ

ප්‍රේක්ෂකයන්ගේ මනාපය ලැබුණත් විවේචකයන්ගේ මනාපය ලැබුණේ නෑ

රිදී තිරය, පුංචි තිරය එකළු කළ ලීනා ද සිල්වා

දිගු කලකට පසු ලීනා මවුරටට ඇවිත්

ලියනගේ දොන් ලීනා පියසීලි ද සිල්වා නම් වූ ඇය ‘අහංකාර ස්ත්‍රී’ සිනමාපටයේ ලංකා මාතාවයි. මේ නව යෞවනියගේ රූමත් මුහුණත්, ඒ සුරූපී බව දෙගුණ කරන නිකටේ රැඳි උපන් ලපයත් නිසා තිරයට රන්රස සේ පෑහෙන සුරතලියක් එක්වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

මේ සුලලිත සෝබනිය, සුන්දර බිරියක් වී සිනමාවෙන් සමුගත්තාය. දහතුන් වසරක දිගු නිහැඬියාවකින් පසු ඇය යළි තිරයට පා තැබුවේ ගඟ අද්දරිනි. රිදී තිරයත්, වේදිකාවත්, පුංචි තිරයත් බබළවන්න වරම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිළියන් අද අපට සිටින්නේ අතලොස්සකි. ලීනා ද සිල්වා ඒ දුලබ වාසනාව ලැබූ තාරකාවකි.

අද ඇය මෙතෙරින් එතෙරට පෑයූ තාරකාවකි. එහෙත් කලාතුරකින් හෝ ඇය මෙතෙරට පෑයූ විට ඒ දීප්තියේ උණුසුම සරසවියට හොඳින්ම දැනෙයි.

මහරගම වත්තේගෙදර සැමියාගේ බාල සොයුරාගේ නිවෙසේ (රවීන්ද්‍ර රූපසේනගේ බාල මල්ලීගේ) පුංචි විවේකයක් ලබමින් සිටියදී ඇය අප හා ආගිය කතා සුහදත්වයෙන් බෙදා හදා ගන්නට අමතක නොකළාය.

කාලෙකට පස්සේ නේද ලංකාවට ආවේ?

‘ඔව්, අවුරුදු හතරහමාරකින් ආවේ. 2008 දී ‘රිදී රැයක්’ ප්‍රසංගයට පැමිණියා. කොහේ හිටියත් මට අපේ සිනමාවත්, සිනමා පුවත්පත, සරසවියත් අමතක වන්නේ නැහැ.

ඒ මුහුණ එදා මෙන්ම සුන්දරයි. සිනහව ළෙන්ගතුයි.

බැබළෙන තාරකාවක් වීමට මඟ පෑදුණු සොඳුරු අතීතය තවමත් මතකයිද?

අපේ අම්මයි තාත්තයි කලාකාමීන්. ඒ නිසාම සිනමාවට හිත ගිය රසික සමාගමක් නිවෙසේම තිබුණා. පාසල් ශිෂ්‍යාවකව සිටියදී හින්දි, ඉංග්‍රීසි සිනමාපට නැරැඹුවා. රාජ් කපූර්ගේ ආවාරා සිනමාපටයේ නර්ගීස්ගේ රංගනය දැකලා රඟ පෑමට උමතු සිතක් ඇති වුණා.

මං බලපු මුල්ම සිංහල සිනමාපටය කැලෑහඳයි. කැලෑහඳේ රුක්මණී දේවියගේ රඟපෑම් ගායනා රංගන ආසාව දෙගුණ තෙගුණ කළා.

මා ඇයට කෙතරම් ඇලුම් කළා ද කිව්වොත් මීගමුවේ ඥාති ගෙදරක යන ගමන් රුක්මණී – එඩී නිවෙසට ගියා. ඇය මගෙන් රඟපෑමට කැමැති ද ඇහුවා. ගීතයක් ගයන්නත් කිව්වා. මං රුක්මණී කැලෑහඳ සිනමාපටයටම ගැයූ ‘දිවා ගිනි මවා’ ගීය ගැයුවා. ඒ කාලයේ ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ දෙවයෝගය සිනමාපටයට නවක නිළියක් සොයමින් සිටියා. ඒ චරිතයට මාව හොඳයි කියලා ඔවුන් තීරණය කළා. බී. ඒ. ඩබ්. ජයමාන්න අධ්‍යක්ෂවරයාට දෙන්න කියලා ලියුමකුත් දුන්නා. අධ්‍යක්ෂවරයා මාව රඟපාන්න තෝරා ගත්තත් මතභේදයක් නිසා චිත්‍රපටය කෙරුණේ නැහැ.

මේ අතරේ අකුරු කළ කොළඹ ආනන්ද බාලිකාවේ මිතුරියනුත් මාව රඟපෑමට උනන්දු කළා. කලා හැකියාව නිසා පාසල් වේදිකාවේ රඟපෑවා. ‘සීවපතිකා’ නාට්‍ය ඒ අතරින් සුවිශේෂයි. එහිදී කුවේනිට රඟපාමින් ගීත පහකුත් ගායනා කළා.

සිනමාවට පිවිසීමට වරම් ලැබුණේ ශේෂා පලිහක්කාර නැටුම් ගුරුතුමා නිසයි. ඒ මහතාගෙන් නැටුම් හැදෑරුවා. ඔහු ‘අහංකාර ස්ත්‍රී’ (1954) සිනමාපටයේ නැටුම් ජවනිකාවක ලංකා මාතා චරිතයට ඉදිරිපත් වෙන්න කැමැති ද ඇහුවා.

මාපියන්ගේ කැමැත්ත ගැනීම මං සර්ට පැවරුවා. කැමැත්ත ලැබුණා. 1954 දී ‘අහංකාර ස්ත්‍රී’ සිනමාපටයට එක් වුණේ එහෙමයි.

අහංකාර ස්ත්‍රී මගේ සිනමා ගමනට පාර කැපුවා වගේම ඉරණම් ගමනට ද හේතුª වුණේ දෛවෝපගත ලෙසින්. එය රවීන්ද්‍ර රූපසේනගේත් පළමු සිනමාපටයයි. ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළා. මුල්ම හමුවීමේදී අප අතරේ තිබුණේ දැන හැඳුනුම්කමක් විතරයි.

‘ලංකා මාතා’ නැටුමේ පින්තූරයක් ජයවිලාල් විලේගොඩ මහතා දිනමිණ සිනමා පිටුවේ පළ කළා. මං කලාවට සම්බන්ධ වෙනවාට අම්මා, තාත්තාට වඩා විරුද්ධ වුණේ පාසලේ විදුහල්පතිතුමිය හා ගුරුවරුන්. මගේ පින්තූරෙ දැකලා විදුහල්පති අම්මවයි තාත්තවයි ගෙන්නලා හොඳටම බැන්නා. ඒ වෙනවිට මං පාසලේ ක්‍රීඩා නායිකාවයි.

මේ අතරේ 1955 පංච කල්‍යාණි තරගයෙන් පංච කල්‍යාණිය බවටත් පත් වුණා. අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ශේෂා පලිහක්කාර මහතා සමඟ අපේ නිවෙසට පැමිණියා. මල්ලිකා පිලපිටිය නිරූපණය කරන චරිතය රඟපාන්න ඇරැයුම් ලැබුණා. කාගේත් අකැමැත්ත නිසා ඒ චරිතය රඟපෑමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස ගිලිහී ගියා. ඉගෙනීමත් අතරමඟ නතර වුණා.

රඟපෑමට නොලැබුණු හිත් වේදනාවට හේවුඩ් එකට බැඳීලා චිත්‍ර ශිල්පය හැදෑරුවා.

රවීන්ද්‍ර රූපසේන, සිරිල් පී. අබේරත්න, විල්ෆ‍්‍රඩ් සිල්වා අපේ ගෙදර ආවේ යළි සිනමාවට පාර කපමින්. ‘සුරතලී’ මගේ රංගන ආසාව මල්ඵල ගැන්නුවා. සිනමාපටය ජනප්‍රිය වුණේ මට තවත් චරිත ගලා එමින්.

රවීන්ද්‍ර හා මා අතර ආදරයක් ගොඩ නැගුණේ සුනීතා, සුන්දර බිරිඳ සිනමාපටවල රඟපෑවට පස්සෙයි. රවීන්ද්‍ර එක්ක වගේම අසෝක පොන්නම්පෙරුම, ස්ටැන්ලි පෙරේරා, අරුණ ශාන්ති, බොනිපස් ප්‍රනාන්දු සමඟත් රඟපාලා තියෙනවා.

සිනමාපට පනස් ගණනක රඟපෑ ඔබට අමතක නොවන සුවිශේෂී අත්දැකීම් ඇති නේද?

‘නළඟන’ අමතක නොවන සිනමා අත්දැකීමක්. මායි රවීන්ද්‍රයි දෙන්නම රුක්මණී දේවි සමඟ රඟපාන්න පුදුම ආසාවකින් හිටියේ. නළඟන ඒ ආසාව මුදුන්පත් කළා.

ඇය ඉතාම ආදරණීය, නිහතමානී, කාරුණික නිළි රැජනක්. නළඟන සිනමාපටයේ රඟපෑවේ සැමියාගේ ආදරය අහිමි වී උමතුවන බිරියකගේ චරිතයක්. ඒ මගේ රංගන ජීවිතයේ හොඳම ප්‍රතිචාර ලැබුණු චරිතවලින් එකක්. අප රඟපාන කාලයේ සම්මාන උත්සව තිබුණේ නැහැ. ඒ නිසා සම්මාන ලැබිලා නැහැ. ජයවිලාල් විලේගොඩ මහතා ඒ වසරේ සම්මාන දුන්නා නම් හොඳම රංගනයට සම්මානය හිමි විය යුත්තේ මට කියලා සඳහන් කරලා තිබුණා.

ප්‍රධාන චරිත රඟන කාලයේ ප්‍රේක්ෂකයන්ගේ මනාපය ලැබුණත් විවේචකයන්ගේ මනාපය ලැබුණේ නැහැ කියලා හිතෙනවා. අපේ රටේ හොඳම රංගනයට සම්මාන දෙන්නේ ප්‍රධාන චරිතවලට විතරයිනේ. ඒත් මං නම් හිතන්නේ හොඳම රංගනය ප්‍රධාන චරිතයට විතරක් කොටු කරන්න බැහැ කියලයි.

දුරු රටක සිටියත් සහෝදර නළු නිළියන් සමඟ තවමත් මිතුරු දම් පවත්වනවා ඇති නේද?

අපි රඟපාද්දී එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩ කළා. ඊට එහා ගිය මිතු දමක් පැවතුණේ නැහැ. හැමෝටම වැඩ නිසා වෙලාවක් තිබ්බෙත් නැහැ. ඒත් කොතැනකදී හමුවුණත් සුහදව කතාබහ කරනවා.

ජීවරාණි, සන්ධ්‍යා, විජිත මල්ලිකා, පුණ්‍යා මගේ සමකාලීනයන්.

රඟපෑමට තවමත් කැමැතිද?

ඔව්. යමක් කළ හැකි හොඳ චරිත ලැබෙනවා නම් අදටත් රඟපාන්න සුදානම්. ඒත් එවැනි චරිත ලැබෙන්නේ නැහැනේ?

ලංකාවේ සහෝදර නළු නිළියන් පැමිණිලා කැනඩාවේ රූගත කරන නාට්‍යවල සුහදත්වයට රඟපානවා.

1960 රවීන්ද්‍ර සමඟ විවාහ වී දෙදරු මවක් වුණාට පස්සෙ රංගනයෙන් දෙදෙනාම දුරස් වුණා. ඔහු මට කවදාවත් රඟපාන්න එපා කිව්වෙ නැහැ. ඒක අපි දෙන්නගෙම මනාපයෙන් වෙච්ච දෙයක්. රවීන්ද්‍ර වෘත්තීය නළුවකු නොවෙයි. ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලැසුම් නිර්මාණ ශිල්පියකු වශයෙන් සේවය කළා.

මං යළි රඟපාන්න ආවේ 1978 දීයි. 1978 දී සැමියා හෘදයාබාධයකින් අකාලයේ මිය ගිය පසුවයි.

දෙවැනි සිනමා ගමන ගැන මට හරි සතුටුයි. ගඟ අද්දර ලෙස්ටර් - සුමිත්‍රා යුවළගේ විශිෂ්ට සිනමා නිර්මාණයක්. කැලෑමල්, යහළු යෙහෙළි, කලියුගය, අවරගිර වැනි සිනමාපටවල වැඩිහිටි චරිත රඟපෑවා.

සුදු පරවියෝ, උදාගිර, හිමි අහිමි ටෙලි නාට්‍යවලත් රඟපෑවා.

මාපියන් ගිය පාරේ දුවත් පුතාත් නොගියේ ඇයි?

මාත් රවීන්ද්‍රත් ඔවුන් වැඩිපුරම යොමු කළේ ඉගෙනුමටයි. ඒත් ඔවුන්ටත් කලා හැකියාවන් තිබෙනවා. දුව භාරත නාට්‍යයම් හැදෑරුවා. පුතා ‘කිරිසුවඳ’ සිනමාපටයේ චරිතයක් කළා.

කැනඩාවේදී රටකින් රටකට කියලා ටෙලි නාට්‍යයක් කළා. පුතාත් එහි රඟපෑවා. දැන් නම් ඒ අය කලාවට සම්බන්ධ නැහැ.

අද පරපුරේ අයගෙන් ඔබ කැමැති කාට ද? එදා මෙදාතුර කලාවේ වෙනස ඔබ දකින්නේ කෙසේ ද?

අද පරපුරේ නළු නිළියන්ගේ රංගනයන් මට ඒතරම් දකින්න ලැබිලා නැහැ. දන්න අයගෙන් කාංචනා මෙන්ඩිස්, චතුරිකා පීරිස්, රොෂාන් රණවන, රොෂාන් පිලපිටිය යන අයට කැමැතියි.

එදා සිනමා කලාවේ හා අද සිනමා කලාවේ ලොකු වෙනසක් තියෙනවා. එදා අපට රඟපාන්න වුණේ හින්දි අනුකාරකවලයි. තාත්වික සිනමාවක විවිධ චරිත නිරූපණය කිරීමේ වාසනාව වත්මන් අයට ලැබිලා තියෙනවා. මාලිනී ෆොන්සේකා විවිධ චරිත රඟපෑමට ලැබුණු වාසනාවන්ත තාරකාවක්.

නිළියක් වශයෙන් තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවද?

ඒ කාලයේ රසිකයන්ට අපව දකින්න ලැබෙන්නේ නැහැ. තරුවක් හරි තාරකාවක් හරි දකින්න ලැබීම හරිම දුර්ලබ අත්දැකීමක්. මේ නිසා වැඩි වටිනාකමක්, ගෞරවයක්, හැම තැනදීම ලැබෙනවා. ලංකාවේදී වගේම කැනඩාවේදීත් රසික රසිකාවන්ගේ ආදරය නොඅඩුවම ලැබෙනවා.

කැනඩාවේදී සිංහල චිත්‍රපට නරඹන්න ලැබෙනවාද?

ලංකවෙන් කවුරුන් හෝ සිනමාපටයක් රැගෙන ආවොත් නරඹනවා. මාලිනී, ශ්‍රියානි සිනමාපට රැගෙන පැමිණියා. ඒ රටේ කලාව මුදලට විකිණෙන දෙයක්. කලාවට ආදරයක් නැහැ.

‘හොඳ චරිතයක්’ සිනමාවට හදවතින්ම ආදරය කරන අපේ ජ්‍යෙෂ්ඨ නිළිය ලීනාගේ සිත අදටත් ඉල්ලන්නේ එයයි.

ලීනා සති තුනක නිවාඩුවකින් පසු කැනඩාව බලා ගියේ ඒ පැතුමිනි. එය ඇයට එදා මෙන්ම අදත් ඇලුම් කරන රසික රසිකාවන්ගේ ද පැතුමයි.