|
නිහඬව ජීවිතය ජයගත් යසස්කතා නොකර ගැයූ ගී
’යසස විස්මිත ගී රාවය’ කුලුඳුල් ගී තැටිය මේ 11 වැනි දා සවස 3 . 00 ට පිළියන්දල නගරසභා ශ්‍රවණාගාරයේ දී
යසස් ද අල්විස් සෙනෙවිරත්න මේ සුන්දර තරුණයා ගේ නමයි. ඔහු නිල වශයෙන් ගායන ලොවට පිවිසෙන්නට වරම් ලබන්නේ මෙම 11 වැනිදා සවස් යාමයේ දීය. කැසට්පට, සීටී තැටි එළිදැක්වීම අපට එතරම් අරුමයක් නොවුණත් මෙම සීඩී තැටිය නම් අපට ඉතාම සුවිශේෂී එකක් බව කිව යුතුය. එසේ වන්නේ ඔහු කඳුළු අතරින් හිනැහෙන්න උත්සාහ දරන අවිහිංසකයකු නිසාවෙනි. ඔහු ගේ ඒ කතාව තුළ ඔබගේ හදවතට ද මහත් කම්පනයක් ඇති කරන බව නම් සැබෑය. ඔබගේ අවධානය මේ නව යොවුන් තරුණයාට යොමුවිය යුතු නිසාම ඒ කතාව කෙටියෙන් මම ඔබට කියන්නෙමි. යසස් මෙලොව එළිය දුටුවේ ඩුබායි රටේදී. ඒ 1986 ජනවාරි 8 වෙනිදා. ඒවෙනකොට යසස්ගේ පියා නලීන් වික්ටර් ද අල්විස් සෙනෙවිරත්න රැකියාව කළේ ඩුබායි එයාර් ෆෝර්ට් එකේ. ඒ නිසා ඔහුගේ පවුලෙ අය පදිංචි වෙලා හිටියෙත් එහෙ. නැවත ඔවුන් ලංකාවට පදිංචියට පැමිණියේ යසස්ට අවුරුදු හතරක්, පහක් පමණ වනවිට. ඊට පස්සේ පුංචි යසස්ව අධ්‍යාපනය සඳහා ඇතුළත් කළේ පිළියන්දල, කොළමුන්නේ සර් ජෝන් විදුහලට. එහි ටික කලක් සිටිනවිට තමයි යසස්ගෙ ජීවිතය කනපිට පෙරළූ වෙනසට මුල පිරුවේ. ගිරවා වගේ හොඳට මෙච්චර කාලයක් කතා කරපු පොඩි එකාට එකපාරටම කතා කරන්නට බැරිව ගියේ කාටත් අදහා ගන්නවත් බැරි විදිහට. බැලුනයක් පිපිරුණත් යසස් හරියට බය වුණා. ඒ වෙලාවට අත් දෙකෙන්ම කන්දෙක වහගත්තේ කරගන්නම දෙයක් නැති තැනයි. මේවගේ දේවල් හින්දා පංතියේ යාළුවො යසස්ට හරියට උසුළු විසුළු කරන්න ගත්තා හරියට මැජික් එකක් දැක්කා වගේ. ඇත්තටම ඔවුන්ටත් මේ ගැන එතරම් තේරුමක් තියෙන්න නැතුව ඇති. එතුවක් කල් හිටිය පංතිය භාර ගුරුතුමාට මාරුවක් ලැබුණෙත් මෙන්න මේ කාලයේමයි. ඒ නිසාම යාළුවන්ගේ කරදරයත් එන්න එන්නම වැඩි වුණා. මේ හේතුව නිසාම පුංචි යසස්ගෙ පාසල් ගමනත් අතරමග නතර වුණා. නමුත් පුංචි එකාගේ කතාවනම් ආයේ අහන්නට ලැබුණේ නැහැ. මේ අම්මයි තාත්තයි යසස්ගෙ හඬ නැවත ගන්නට නොගත්ත උත්සාහයක් නැහැ. නොපැතූ සහායක් නැහැ. මුණ නොගැසුණු වෛද්‍යවරයෙක් නැහැ. නමුත් අන්තිමේ දී වෛද්‍යවරුන්ගේ මතය වූයේ කිසියම් දෙයකට යසස් බිය වී කම්පනයට භාජනය වීමෙන් කතා කිරීම නතර වී ඇති බවටයි. අවසානයේ මේ මවුපියන් තීරණය කළේ විශේෂ අධ්‍යාපනය තුළින් තම දරුවාගේ ජීවිතයට යම් ආලෝකයක් ලබා දීමටයි. ඒ අනුව පිළියන්දල විශේෂ අධ්‍යාපන ඒකකයේ පී. ආර්. හේරත් ගුරුතුමාව නිවෙසටම ගෙන්වා ගෙන යසස්ට ඉගැන්වීමට ඔවුන් කටයුතු කළා. මේ කාලය ඇතුළත කෙසේ හෝ නැවතත් වචන ගළපා තම හඬ අවදි කිරීමට යම් තරමකට යසස් සමත් වුණත් සාමාන්‍ය දරුවන්සේ සාර්ථක සන්නිවේදනයක් අනෙක් දරුවන් හා හුවමාරු කරගෙන යාමට එයින් ඔහු අසමත් වුණා. නමුත් ඔහුගේ දක්‍ෂකම් නම් දිනෙන් දින ඉහළ ගියා මිසක පහළ වැටුණේ නැහැ. කතාව අඩු වුණත් ගීත ගැයිමට ඔහුට තිබුණේ පුදුම හැකියාවක් වගේම ආසාවක්. ඒක එක පැත්තකින් පදුමයක් කතාකරන්න බැරි කෙනෙක් සිංදු කියනවා කියන එක. නමුත් ඒක එහෙම වුණා. ඒ වගේම සිංහළ භාෂාවෙන් වගේම ඉංගී‍්‍රසි භාෂාවෙනුත් තමන්ට අවශ්‍ය සියලු වැඩකටයුතු කරගැනීමට දැනුමක් ඔහුට ලැබී තිබුණා ගුරුවරු මාර්ගයෙන්. ඔය කාලය අතරතුර දී තමයි යසස්ගේ ජීවිතයට තවත් අරුණැල්ලක් වැටෙන්න ගත්තේ. ඒ නාරාහේන්පිට චිත්‍රා ලේන් එකේ ළමා සම්පත් මධ්‍යස්ථානය පාසලට යන්න ලැබීම. නමුත් හරියටම මාස තුනයි ගත වුණේ ගහක් ගලක් වගේ හිටිය යසස්ගේ පියා එකපාරටම හෘදයාබාදයකින් මෙලොව හැර ගියා. යසස්ට කොහොම වෙතත් එය ඔහුගේ මවට නම් දරාගන්න බැරි වේදනාවක් වුණේ මෙපමණ කාලයක් තම එකම දරුවා හදාවඩා ගන්න මේ මවුපියෝ විඳි දුක්ඛ දෝමනස්සයන් සිහිවීමෙන්. එතැන් පටන් දෙදෙනකු ඇදි බර තනිවම අදින්නට මේ උත්සාහවත් මවට සිදු වුණා. නමුත් යසස් ගේ අධ්‍යාපනය සහ දක්‍ෂතාවන් ඉහළම තලයට ගන්න පාසලේ අධ්‍යක්‍ෂිකාව මෙන්ම නිර්මාතෘ ඩිලයිෂියා ගුණවර්ධන මහත්මිය සහ අනෙකුත් ගුරුවරුන් සෑම දෙනෙක්ම දැඩි වෙහෙසක් ගත්තා. ඒ උත්සාහයන් මල්පල ගන්වමින් යසස්ගේ හැකියාවන් දිනෙන් දින වර්ධනය වනහැටි බලා ඔවුන් තනිවම සතුටු වුණා. ගයන්න වයන්න විතරක් නෙමෙයි. ක්‍රීඩාවටත් ඔහු අති දක්‍ෂයකු වුණා. මේවායින් ගත්ත කුසලාන, මැඩ්ල්, සහතිකපත් යසස්ගේ නිවෙස තුළ පිළිවෙළට තැන්පත් කරලා තියෙනවා දැක්කම බලන්න ලස්සනයි. පාසලේ ඉන්න ඩොක්ටර්ස්ලා කියන්නේ යසස්ගේ මේ හැකියාවන් විස්මිත බවයි. කතාව නැති වුණත් හැකියාව අතින් ඔහු හරි ඉහළයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මෙවැනි තත්ත්වයේ දරුවන් ගේ මොළේ වැඩි පැත්තට ගියොත් ඔහු දක්‍ෂයකු වන බවයි. යසස් ගේ මොළේ ගිහිල්ලා තියෙන්නේ වැඩි පැත්තට. ඒක තමයි එයා මේ තරම් දක්‍ෂ දරුවෙක් වෙලා තියෙන්නේ කියායි. ඒ කියමන සත්‍යයක් කරමින් එම පාසලට ගොස් හරියටම වසර හතරක් යනවිට එහිම සංගීත ගුරුවරයා වීමට යසස්ට හැකි වුණා. යසස් තමයි එයින් බිහි වූ එකම ගුරුවරයා එහිම ඉගෙන ගත්තු. ඒක යසස්ට වගේම ඔහුගේ මවටත් ලොකු ආඩම්බරයක්. පාසලේ සියලුම සංගීත කටයුතු සිදුවන්නේ ඔහුගේ අතින්. ඒ සඳහා ඔහුගේ සහායට තවත් ගුරුවරයකු ඔහුට ලබා දී තියෙනවා. ඒ ඔහුගේ කතාව අඩු කමෙන් සිදුවෙන අපහසුතාවට යම් පිළියමක් ලෙසින්. ඒ ගුරුතුමිය යසස්ට කියන්නට වුවමණා දේ ඒ ආකාරයෙන්ම ළමුන්ට පැහැදිලි කිරීමට උදව් වෙයි. ඇත්තටම යසස්ව දකින කෙනෙකුට හිතන්නවත් බැහැ එයා මෙවැනි විශේෂිත දරුවෙක් බව.ඒතරම්ම ඔහුගේ රුව ප්‍රසන්නයි. සෞම්‍යයි. හරිම ප්‍රිය මනාපයි. ඔබටත් මේ පින්තූර දිහා බැලුවම ඒක තේරෙනවා ඇති. ඔහුගේ නිවෙසට එන ඕනෑම කෙනෙක් සමඟ බොහොම සුහදශීලීව සිනාසෙන ඔහු සිංදුවක් කියන්න කියූ සැනින් ඕගනය වෙත ගොස් එය වාදනය කරමින් ගීතය ගයන්නේ හරියට ලොවක් දිනූවකු මෙනි. ‘මලට බඹරකුසේ සිතට ඔබ එනවා. කිරණ සේ හිරුගේ හද සිනා සෙනවා ඔබ සිනාසෙනවා’ ඇත්තටම ඒ හඬ අපූරුය. ගීතයේ කිසිම අඩුපාඩුවක් අපට නම් නොපෙනේ. ඔය කියන කතා කිරීමේ දෝෂ කිසිවක් ගීතයක් ගයන විට ඔහුගෙන් දිස් නොවේ. එපමණක් නොව ඕනෑම ගීතයක ට්‍රැක්ස් හදාගෙන (ෆ්‍රෝග්‍රෑම්කර) ඒ වාට අනුව ගයන්නත් යසස්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. එවැනි ගීත විශාල ගණනක් මේවන විට ඔහු අතින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම පරිගණකය ක්‍රියාකරවන්නත් ඔහු රුසියෙක්. කරන වැඩේ ඉතාම පිරිසිදුවට පැහැදිලිව කිරීමත් යසස්ගේ තවත් හොඳ පුරුද්දක්. දැන් යසස් සූදානම් වන්නේ ඔහුගේ පළමු ගීත ඇල්බමය ඔබ දෝතට පිරිනමන්නයි. එය යසස්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වනවාට නොඅනුමානයි. මේ ගීත ඇල්බමය සඳහා ගීත නිර්මාණයෙන් දායක වන්නේ සංගීතවේදී විජේසිරි ගෝවින්දයන්. ඔහු එහි ගීත දහතුනක්ම නිර්මාණය කර තිබෙනවා. එක ගීතයක් නිර්මාණය කර ඇත්තේ සංගීතවේදී ජගත් වික්‍රමසිංහ. යසස්ගේ සංගීත ගුරුවරයා වන්නේද ජගත්ය. යසස්ගේ මව වන කාන්ති ද අල්විස් මහත්මිය මෙහි ගීත වැඩි ප්‍රමාණයකුත් හෙක්ටර් විජයකෝන්, කුසුමා කත්‍රිආරච්චි, ශි‍්‍රයාණි පෙරේරා, ප්‍රියන්ත සමරසිංහ අතින් අනෙකුත් ගීතත් රචනාවී තිබෙනවා. මෙය සංගීතවත් කරන විජේසිරි ගෝවින්දයන් ලංකාවේ ප්‍රචලිත සංගීතවේදියකු වූ වින්සන්ට් සෝම්පාලයන්ගේ පුත්‍රයෙකි. ‘මේ සංගීතය නිර්මාණයන් තුළින් හෝ යසස්ගේ තිබෙන කතාකිරීමේ අපහසුතා මග හැරී යථා තත්ත්වයට පත්වේ නම් මගේ ජීවිතයේ මාලැබූ ලොකුම භාග්‍යය එයයි.’ ඔහු පවසන්නේ යසස් පිළිබඳ ඇති වූ දයානු කම්පාවෙන්. මෙතුවක් කලක් මේ සියලු දුක් ගැහැට විඳිමින් යසස්ගේ ළඟ නිතරම රැදෙමින් සියලු දුක සැප කඳුළ එක ලෙස විඳගත් යසස්ගේ දයාබර මව ඉල්ලන්නේ මෙවැනි දරුවන් කොයි මොහොතකවත් කොන් නොකරන ලෙසයි. ‘ඇත්තටම මේ වගේ ළමයින්ගේ හැංගිච්ච මොනවා හරි දක්‍ෂ කමක් තියෙනවා. ඒ දක්‍ෂකම හඳුනාගෙන ඒ ඔස්සේ දරුවව යවන්න ඕනේ. ඇත්තම කිව්වොත් දැන්ඉන්න තත්වයට මගෙ දරුවව ගත්තේ හරියට යුද්ධෙකින් දිනනව වගේ. මෙවැනි දරුවන්ට හොඳින් සලකන්න ඕනා. එයාලට වුවමනා දේ අරන් දෙන්න මැලි වෙන්න එපා. වැඩැක් නැහැ, අපරාදෙ සල්ලි කියලා හිතුවොත් ළමයටයි පාඩු වෙන්නේ. මම මේ දරුවට අවශ්‍ය සෑම දෙයක්ම දුන්නා. කීබෝඩ් එක ලක්‍ෂ දෙකක්. එයාට ඒකේ ඕනෑම දෙයක් දැන් කරන්න පුළුවන්. අපේ සමාජයේ හොඳ මිනිස්සු තමයි මේ ළමයින්ට තැනකට එන්න දෙන්නැත්තේ. ඒකයි මම මේ පාසලට මගේ දරුවව දැම්මේ. එතැන තමයි එයාට සුදුසුම තැන. ඒ අය ලොකු කැපවීමකින් වැඩ කරනවා අඩු වැටුපකට.’ යසස්ගේ මව පවසන්නේ සිය අත්දැකීම් තුළින්ම ලැබූ දේවල්වලින්. ඒ වගේම මෙතුවක් යසස්ගේ පිටුපස සිටිමින් දිරිය ශක්තියක් වූ මින්සුන් සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ. ඇය පළමුව සිය කෘතවේදීත්වය පළ කළේ ගුරුවරයා වූ පී. ආර්. හේරත් මහතාට. ‘ඇත්තටම එයා තමයි මගේ දරුවා ගොඩ දැම්මේ.
’ඒ වගේම පුතාට ඉංශ්‍රීසි භාෂාව ඉගැන්වූ ඉන්ද්‍රාණි ද අල්විස් ගුරුතුමිය, චිත්‍රා ලේන් පාසලේ නිර්මාතෘ ඩිලයිෂියා ගුණවර්ධන මහත්මියට , පන්තිබාර ගුරුතුමිය නිශාන්ති අමරසේකර සහ සියලුම ගුරු භවතුන්ටත්, සෙන් ලුක්ස් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම මෙහෙයවන පැට්‍රීෂියා අබේසේකර, ඒ වගේම සංගීතය ඉගැන් වූ ජගත් වික්‍රමසිංහ සහ විජේසිරි ගෝවින්ද මහතා එම මහත්මියට මගේ හදවතින්ම නැඟෙණ කෘතවේදීත්වය පිරිනමමි.’අවසාන වශයෙන් මට ඇයගෙන් විමසිය යුතු එක පැනයක් තිබිණි. ඒ යම් දවසක ඇය නැතිවුණු දවසක යසස්ට යන කළ දවස ගැනයි. එයට ඇය දුන්නේ මෙවන් පිළිතුරකි. ඒකට මම වැඩ පිළිවෙළක් දැනටමත් සකස් කරගෙන යනවා. සමහර විට හොඳ කැපවීමක් තියෙන හොඳ ගෑනු ළමයෙක් හම්බ වුණොත් එයා විවාහ වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එවැනි ජීවිත ගත කරන අය ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඇත්තටම එහෙම වෙනවා නම් කොයි තරම් නම් දෙයක්ද? අපේ ප්‍රාර්ථනය ද එයමයි.
|