වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




පත්තර පහකට පසු සරසවිය මුල් පුටුවට

පත්තර පහකට පසු සරසවිය මුල් පුටුවට

සුනිල් මිහිඳුකුල

කුඩා කල මගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමය. එකල පටන් මා පිච්චර් පිස්සකු වී සිටි නිසාම වැඩි කාලයක් මා ගත කරනු ලැබුවේ සිනමා ශාලා තුළය. එකයි තිහට පාසල ඇරෙන කණිසම වදිනවාත් සමඟ මා ඇවිද යනවාටත් වඩා හැල්මේ දුව විත් නතර වනුයේ මීගමුවේ රාජ් සිනමා ශාලාවේය. මා ඉගෙන ගත් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් කලාවට දායක වූ බොහෝ පිරිසක් සිටියහ.

ආදී ශිෂ්‍යයන් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, එඩී ජයමාන්න, එඩ්වින් සමරදිවාකර මෙන්ම සමකාලීනයන් වූ ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් මෙන්ඩිස්, එරික් එලියප්පරච්චි, බර්ට්‍රම් නිහාල් මෙන්ම මට වඩා කනිෂ්ඨයන් වූ රන්ජන් රාමනායක, නිශාන්ත සුමනදාස වැනි කලාකරුවන් රැසක් දැයට දායක වූවේ මා ඉගෙනුම ලැබූ මාරිස්ටෙලාවෙනි. මගේ මව මෙන්ම පියා ද සිනමාලෝලීන් වූ බැවින් මගේ ආශාවන්ට පවුලෙන් එල්ල වූ බාධා බොහොමයක් මඟ හැරී ගියේය. ඒ අවධියේ චිත්‍රපටයක් බැලීමට සත පනස් පහක් හොඳටම ප්‍රමාණවත් විය.

එහෙත් එය ද සොයා ගන්නට නොහැකි වූ දිනක ගෙදර නාන බාල්දියේ කොක්ක ගලවාගෙන ගොස් මීගමුවේ පරණ යකඩ බඩු කඩයකට විකුණා ශත පනස් පහක් සොයා ගෙන චිත්‍රපටයක් බැලුවෙමි. චිත්‍රපටය නරඹා ගෙදර එන විට කොක්ක ගලවා ගෙන ගිය සොරාට අපේ තාත්තා පරුෂ වචනයෙන් බැණ වදින අන්දම අද ද මට මතකය.

තවත් අවස්ථාවක මම මුදල් සොයා ගැනීමට මීගමුවේ දුම්රියපළ ඉදිරිපිට තිබූ රාජපක්ෂ වලව්වේ වත්තේ දැවැන්ත සියඹලා ගසෙන් සියඹලා කඩා එය විකුණා මුදල් සොයා ගතිමි. චිත්‍රපට නැරැඹීම හැරෙන්නට සිනමා ලේඛනයට මා තුළ ආසාවක් නොවුණත් මම කුමාරවරු දෙදෙනකු විසින් ලියන ලද ලිපි කියවීමෙන් එවැන්නකට සිත් දෙන්නට පටන් ගතිමි. ඒ කුමාරවරුන් දෙදෙනා වූයේ “සරසවියට” ලියන ලද ඒ. ඩී. රංජිත් කුමාරත්, විසිතුර පත්තරයට ලියන ලද බන්දුල පද්මකුමාරත්ය. 1965 දී පටන් මම සරසවිය කියවන පාඨකයෙක් වුණෙමි. එවක සිනමා තොරතුරු අලළා පළ වූ සරසවිය හා විසිතුර පත්තර දෙක වෙළඳපොළට පැමිණියේ සිකුරාදා දිනකය. එදිනට මේ පත්තර දෙක මිල දී ගෙන කියවීම මගේ පුරුද්දක් වී තිබිණි. 1978 දී සිිනමා ලේඛනයට පිවිසි මා ගුණසිරි සිල්වාගේ කර්තෘත්වයෙන් එළි දුටු “සකුරා” පුවත්පතට මුල්ම ලිපිය ලිව්වෙමි.

මා 1995 දී මුල්වරට ලේක්හවුස් ආයතනයට පැමිණෙන්නේ සිනමා පත්තර පහක අත්දැකීම් සමඟය. ප්‍රේම් දිසානායක සංස්කරණය කළ රසඳුන, විචිත්‍ර කලා පත්තරවල සේම උදය තෙන්නකෝන් සංස්කරණය කළ තිර තරු සහ අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ රස පත්තරවලින් ද මම අත්දැකීම් සම්භාරයක් ලැබුවෙමි. සිනමා පත්තර පහක වැඩකර සරසවිය පත්තරයේ මුල් පුටුවට පැමිණි කර්තෘවරයකු වේ නම් ඒ මා පමණි. සරසවිය පාඨකයකු වනවා මිස කිසිදු දිනෙක සරසවියේ මුල් පුටුව හොබවන්නට මට හැකි වේ යැයි හීනෙකින්වත් මා සිතුවේ නැත.

ලේක්හවුස් පැමිණිමට මත්තෙන් මා ඒ. ඩී. රංජිත් කුමාර සරසවියේ කර්තෘවරයාව සිටින අවධියේ සරසවියට පිටත සිට ලිපි ලිව්වෙමි. කලාකරුවන් හා පැවති සම්මුඛ සාකච්ඡා එහි ප්‍රධාන විය. ඒවා සරසවියේ පළ විය. එයින් මට ගෙවීමක්ද ලැබුණි. පසු කලක සරසවියේ ප්‍රධාන කර්තෘවරයාව සිිටි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ වකවානුවේ මට ආරාධනයක් ලැබුණේ සරසවියට ලිපි මාලාවක් ලියන ලෙසය. වෙනත් පත්තරයක සිට තවත් ආයතනයක පත්තරයකට ලිවීම සදාචාර නොවීම නිසාම එකල සරසවියට ලියන ලද සිංහල සිනමා සිහිවටනය නම් වූ සිනමා කෘති පිළිබඳ ලිපි මාලාව පළවූයේ මගේ බිරිය වූ එස්. එම්. කරුණාතිලක නමිනි. මා ලේක්හවුස් සේවයට පැමිණි විගස එම ලිපි මාලාව මගේ නමින්ම පළ විය.

මා ලේක්හවුස් පැමිණි දවස මට අද වගේ මතකය. එයට කලින්ද මා ලේක්හවුස් ඒමට කීප වරක් උත්සාහ ගනු ලැබුව ද වාමාංශික අදහස්වලින් පිරි පුද්ගලයකු වීම නිසාම ඒ අවස්ථා මගෙන් ගිලිහී ගියා විය හැකිය. එදා මා ලේක්හවුස් පැමිණියේ තිනකරන් පත්තරයේ හෝ වැඩ කරනවා යැයි දැඩි අධිෂ්ඨානයකිනි. එහෙත් මට ලැබුණේ එවක පුරප්පාඩු කීපයක්ම පැවැති දිනමිණ පත්තරයේ උප කර්තෘ අංශයයි. එහි උප කර්තෘවරයකු ලෙස වැඩ කිරීමට මට එක්තරා අන්දමක වෙස් වළාගත් ආශිර්වාදයක් විය. ලිවීමට පමණක් දැන සිටි මා ලිපියක් පුවත්පතට උචිත ලෙස සැකසීම පිළිබඳ අයනු ආයනු කියනු ලැබුවේ දිනමිණ තුළදීය. එකල දිනමිණේ ජ්‍යෙෂ්ඨයන් වූ බිනෝයි සුරේන්ද්‍ර, ප්‍රේමචන්ද්‍ර අල්විස්, අනඳපිය කුඩාතිහි වැන්නන්ගෙන් අක්ෂර වින්‍යාසය පිළිබඳ මම දැනුමක් ලැබුවෙමි. දිනමිණට පැමිණිය ද මම එහි සිට දිගටම සරසවියට ලිපි ලිව්වෙමි. එවක සරසවියේ කර්තෘවරයා වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා මගේ හැකියාවෙන් වැඩක් ගත යුත්තේ සරසවිය යයි නිතර පැවසුවේය.

සරසවියේ විශේෂාංගයක් සඳහා එක්තරා ඉරිදා දිනයක පැරැණි ගීත රචකයකු වූ ඩී. ටී. ප්‍රනාන්දු හමුවීමට පිළියන්දලට ගිය මා ලේක්හවුස් පැමිණියේ තරමක් ප්‍රමාදවය. ඒ අවස්ථාවේ දිනමිණ පත්තරයේ සිටි ජ්‍යෙෂ්ඨ උප කර්තෘවරයෙක් මගේ ප්‍රමාදය පිළිබඳ දැඩි සේ උරණ වී මට දොස් නඟන්නට විය. ප්‍රමාදයට හේතුව ඉදිරිපත් කළ විට ඔහු පැවසුවේ එක්කෝ දිනමිණ නැත්නම් සරසවිය තෝරා ගන්නා ලෙසය. මේ චෝදනාව පිළිබඳ මතභේදාත්මක සිද්ධියත් ඇතිවීමත් සමඟ දිනමිණ ට සමුදී සරසවියට පැමිණියෙමි. මා සරසවියට එක් වූයේ එහි උප කර්තෘවරයෙක් ලෙසය. එවක කුරුවිට බණ්ඩාරයන් සරසවියේ මුල් පුටුවේ සිටි අතර සුසිල් ගුණරත්න, සුසිල් ජිනප්‍රිය, අරුණ ගුණරත්න, දීප්ති ෆොන්සේකා, විවේකා සමරසිංහ, ආරියරත්න පෙරේරා සරසවියේ සෙසු සාමාජිකයෝ වූහ.

උප කර්තෘවරයකු ලෙස සරසවියට පැමිණි මම වසර දහයක් තුළ සරසවියේ නියෝජ්‍ය කර්තෘ, සම කර්තෘ ධුර දරමින් අවසානයේ සරසවියේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් වීමි. එයට පෙර මම තිලකරත්න කුරුවිට බණ්ඩාරගෙන් පසු සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා කර්තෘවරු සතර දෙනකු යටතේම සේවය කළෙමි. මා ප්‍රධාන කර්තෘ පදවියට පත් වූයේ 2005 වසෙර්ය.

ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ජනදාස පීරිස්, ජමුනා රාණි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.බී ගනේගල සමඟ සුනිල් මිහිඳුකුල

සරසවියේ මුල් පුටුවට පැමිණීමට පෙර එවක ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි නලින් ලද්දුවහෙට්ටි මහතා මා සමඟ ඇති වූ රාජකාරිමය මත ගැටුමක් හේතුවෙන් මා දිනමිණ කර්තෘ මණ්ඩලයට මාරු කරනු ලැබිණි. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදිසියේ අමාත්‍යාංශ තුනක් රජයට පවරා ගැනීමත් සමඟ මා නැවතත් සරසවියට පැමිණියේ එහි සම කර්තෘ ධූරයට උසස්වීමක් ලබමිනි.

දිනක් එවක ලේක්හවුස් සභාපතිව සිටි ජනදාස පීරිස් මහතාගේ පුත් චාමර පීරිස් මහතාගෙන් මා වෙත කැඳවීමක් ලැබුණේ ඔහුගේ කාමරයට විත් හමුවන ලෙසය. චාමර පීරිස් එවක ලේක්හවුස් පුවත්පත් සියල්ලේ කළමනාකරණ කර්තෘවරයා ලෙසින් කටයුතුª කළේය. ඔහුට නිල නොලත් මට්ටමේ බලයක් ද ලේක්හවුස් ආයතනය තුළ ගොඩ නැගී තිබුණේ තම පියා සභාපති වීම නිසාමය.

“අපිට සරසවිය පත්තරයේ කර්තෘ ධූරයේ වෙනසක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කැමතිද සුනිල් අයියේ සරසවියේ කර්තෘ ධූරය භාර ගන්න.” මා එක පයින් කැමැත්ත ප්‍රකාශ කර සිටියේ මීට පෙර මා සිනමා පත්තර පහක වැඩ කර තිබූ අත්දැකීම් නිසාත් මා තුළ සිනමාව පිළිබඳ තිබූ දැනුමත් නිසාය.

ඒ අනුව මට සරසවියේ ප්‍රධාන කර්තෘ ධූරය ලැබුණි. කර්තෘ ධූරයට පත් වී මාස හයකින් පමණ 2005 වසරේ සරසවිය සම්මාන උළෙල පැවැත්වීම මා හට භාර වූ ප්‍රධාන කර්යය විය. එවක සරසවිය කර්තෘ මණ්ඩලයේ සිටි සියලුම සාමාජිකයන්ගේ සහයෝගයෙන් ඉතා උත්කර්ෂවත් සම්මාන උළෙලක් සංවිධානය කිරීමේ හැකියාව මා හට උදා විය. ඉන්දියාවේ ගීත කෝකිලාවක වූ ජමුණා රාණි ඒ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වීම ද සුවිශේෂ සිද්ධියක් විය. මා සරසවියේ මුල් පුටුවේ වාඩි වූයේ පාඨකයන්ගේ පත්තරයක් කිරීමේ අදහසින් මිස නළු නිළියන්ගේ පත්තරයක් කිරීමේ අදහසින් නොවිණි.

ජනප්‍රිය නවකතාකරුවකුª සේම දක්ෂ පුවත්පත් කලාවේදියකු වූ කරුණාසේන ජයලත් වරක් සිනමා පුවත්පතක් කළ යුත්තේ කෙසේදැයි මා හා පැවසූ නිසාම මම එය ගුරු කොට ගතිමි. මගේ ආගමනයත් සමඟ සරසවියේ අන්තර්ගතයේ වෙනසක් කිරීම ඇරැඹියේ වේදිකාව, ගුවන් විදුලිය, සාහිත්‍ය, සිනමා, රූපවාහිනී, සංගීත අතිරේක පෙළක් සතිපතා පළ කිරීමත් සමඟය.

සරසවියේ මුල් පුටුවට මා පත්වීම පිළිබඳ දැනගත් එවක අගමැතිව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මට සුභාශිංසන ලිපියක් එවනු ලැබුවේ සිනමාව පිළිබඳ මා ලබා තිබූ දැනුම උපයෝගී කරගෙන ගුණාත්මක බවකින් යුත් පුවත්පතක් එළිදක්වන ලෙස ඉල්ලීමක් ද කරමිනි. සරසවියේ කර්තෘවරයා වී එවැනි පුද්ගලයකුගෙන් ප්‍රශංසා ලැබීමට තරම් එදා මම වාසනාවන්ත වීමි. සිංහල සිනමාවේ අර්බුදය, සිංහල සිනමාවේ සිහිවටන නමින් මා සරසවියට ලියන ලද ලිපි මාලාව පසුව පොතක් ලෙස ද එළි දැක්වූයෙමි. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිළිබඳ සරසවියට ලියූ ලිපි පෙළ සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ නමින් මම පසුව එළි දැක්වූයෙමි. මා සරසවියේ මුල් පුටුව හොබවන අවධියේ සිදු වූ අවාසනාවන්ත සිද්ධිය ලෙස අදත් මගේ මතකයෙන් බැහැර නොවන්නේ සරසවියේ කර්තෘ මණ්ඩලයේ සිටි සුනිල් හොරේෂස් හදිසි අනතුරකින් මිය යාමේ සිද්ධියයි. කාත් කවුරුත් නෑදෑයෙක් නොමැතිව තනිකඩ ජීවිතයක් ගත කළ සුනිල්ගේ අවසන් කටයුතු ලේක්හවුස් ආයතනනයේ අනුග්‍රහයෙන් සිදු කිරීමේ කටයුත්ත පැවරුණේ ද මා ඇතුළු සරසවිය කර්තෘ මණ්ඩලයටය.

2006 වසරේ සරසවිය සම්මාන උළෙල පැවැත්වීමේ වගකීම ද මා වෙත පැවරී එහි කටයුතු කරමින් පසු වෙන අවස්ථාවේදී දේශපාලන බලපෑමක්මත නව කර්තෘවරයෙක් සරසවියට පත් කෙරිණ. ඒ වන විටත් මම එම තනතුරේ රැඳී සිටියෙමි. අලුත් කර්තෘවරයකු සරසවියට පත්කර බල රහිත කර්තෘවරයකු බවට මා පත් කෙරිණි. මෙවන් වාතාවරණයක් තුළ එහි තවදුරටත් රැඳී සිටීමට නොහැකි වූ තැන මා පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියේ වෙනත් තැනකට මා හට මාරුවක් ලබා දෙන ලෙසය. ඒ අනුව මට නව පත්වීමක් ලැබුණේ සිළුමිණ පත්තරයේ සම කර්තෘවරයා වී යාමටය.

මා මිත්‍ර සුනිල් හොරේෂස් විටෙක අප හා කියා සිටියේ පුවත්පත් කලාවේදියා යනු දල්වන ඉටිපන්දමක් වැනිය කියාය. අන් අයට ආලෝකය දී එය නිවී යන පහන් සිලක් බව ඔහු අපට කියා සිටි කියමන මා හට සත්‍යයක් සේ පෙනී ගියේ හදිසියේම සරසවිය මුල් පුටුව අහිමි කිරීමත් සමඟය. මගේ අතින් ලියැවුණු ලේඛකයන්, නළුවන්, නිළියන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, සංගීතඥයන්, ගායකයන්, ගායිකාවන් කොතෙකුත් සිටින්නට ඇද්ද? එදා මට සරසවියේ මුල් පුටුව ලැබී විනාඩි කීපයක් තුළ මා ගැන වර්ණා කරමින් කතා කළ කිසිවකුත් මුල් පුටුව අහිමි වූ දා මට කතා කළේ නැත. මගෙන් කොතෙකුත් උදව් ලබාගත් කිසිදු කලාකරුවකු කුමක් වූයේ ද කියාවත් ඇසුවේ නැත. මට වූ අසාධාරණය ගැන ආරංචි වී මට කතා කළ එකම පුද්ගලයා වූයේ අර්ජුන කමලනාත් පමණි.

අයියේ මොකද වුණේ, මගෙන් මොනවද වෙන්න ඕනෑ යනුවෙන් ඇසූ අර්ජුනට අද ද කෘතඥ වනුයේ හද පත්ලෙන්මය.

බලය, ධනය, තනතුරු තිබෙන විට ළං වෙන්නත්, එය නැති වෙන විට අතහැර දමන්නටත් උපන් හපන්කම් ඇති කලාකරුන් පිරිසක් අපට සිටින වග මට පසක්කර දුන්නේද සරසවියයි. අද වන විට මගේ ලේඛන කලාවට වසර තිස් පහක් සපිරී ඇත. එදා මෙදා තුර සරසවිය පාඨකයකු වූ මා කිසියම් හෝ වාසනා ගුණයක් හේතුªකොට සරසවිය පත්තරයේ මුල් පුටුව හෙබවීමේ වාසනා ගුණය මට ලැබිණි. අද වන විට මම රසඳුන පත්තරයේ කර්තෘ ධූරයට පැමිණ ඇත්තෙමි. මා වැඩිමනත් ජීවිතයට උපයාගෙන ඇත්නම් ඒ ලේක්හවුස් ආයතනයට පින්සිදු වන්නටය. මා එසේ ලබා ගත් දෙයට කෘතගුණ දැක්වීමක් ලෙස මා සතු දුර්ලභ ගනයේ පෞද්ගලික පුස්තකාලය ලේක්හවුස් ආයතනයට පරිත්‍යාග කොට ඇත්තෙමි.

එය මම අදියර තුනක් යටතේ ලේක්හවුස් ආයතනයට භාරදීමට කටයුතු සූදානම් කොට ඇත්තෙමි. මා ආයතනයෙන් විශ්‍රාම යාමට පෙර, විශ්‍රාම ගිය විට හා මගේ මරණයෙන් පසු ඒ සියල්ල ලේක්හවුස් ආයතනයට පිරිනැමීමට මා කටයුතු කර ඇත්තේ මට කළ හැකි ප්‍රති උපකාරයක් ලෙසිනි. සිනමාව පිළිබඳ ලියවුණු දුර්ලභ පොතපත, ලිපි ලේඛන අතරේ ඩොමී ජයවර්ධනයන්ට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තම අත් අකුරින් ලියූ තමන්ගේ මැතිවරණ සටනට සහාය පළ කරන ලෙසත්, තමන් බලයට පැමිණි පසු චිත්‍රපට සංස්ථාවක් පිහිටුවන බවටත් සඳහන් කොට මැතිනියගේ අත්අකුරින් යැවූ ලිපිය පවා මා සතුව අදත් සුරක්ෂිතව ඇත.

මා කිසි දිනෙක නොසිතූ නොපැතූ බොහොමයක් සරසවිය නිසා මගේ ජීවිතයට එක් විය. අද මගේ ලේඛන කලාවට වසර තිස් පහක් සපිරෙන මොහොතේ සරසවිය සිය පනස් වැනි යුග මෙහෙවර සමරනුයේ මහත් අභිමානයෙන් යුතුවය. අඩ සියවසක් කලා කෙතකට සරසවියක් වූ සරසවිය සැපැමිණි ගමන් මගේ කොටස්කාරයකු, නියමුවකු වන්නට මටත් හැකි වීම මම ජීවිතයේ ලැබූ භාග්‍යයක් කොට සලකමි. එමෙන්ම පනස් විය සපුරද්දී එහි කර්තෘ ධූරය දරන අරුණ පුවත්පත් කලාවට හඳුන්වාදීමේදී මා ද කිසියම් ප්‍රමාණයකින් දායක වූ පුද්ගලයකු වීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.