වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සුමින්ද හැම අතින්ම විශිෂ්ටයෙක්

සුමින්ද හැම අතින්ම විශිෂ්ටයෙක්

හතළිස් වසරක මිතුදම ගැන තිලක් ගුණවර්ධනගේ මතකය මහලු වියට ආසන්න ඉසා කෝකිලාන කඳු මුදුනේ සිට අවට බලයි. ඉසාගේ කෙස් වැටිය සුදුය. රැවුල ද සුදුය. දෙනෙත් තැන්පත්ය. බැස යන හිරු රත් පැහැයෙන් පෙනෙයි.

චරිත තුනක් ටෙලි නාට්‍යයේ ඉසා, සුමින්ද සිරිසේන මගේ ජීවිතයේදී මුණ ගැසුණු එක් අසාමාන්‍ය පුද්ගලයෙක්. ජීවිතයේ විවිධාකාර ජීවන අවස්ථා සිය ආත්මය කොට ගෙන ඒවා රංගනය මඟින් ඉදිරිපත් කිරීමෙන් ඇති කරනු ලබන කම්පනය කරණ කොට මම ඔහු අපූරු නළුවෙකු ලෙස දකිමි.

අද වන විට ඔත්පලව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මේ විශිෂ්ට රංගධරයා පිළිබඳව ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ සහ ජාතික රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තිලක් ගුණවර්ධන සිය මතකය අවදි කළේ ඒ අයුරිනි. සුමින්ද රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට ආවේ 1986 වසරේදී.

ඒ මවිසින් නිෂ්පාදනය කළ ජයකොඩි සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ කුමාරිහාමි ටෙලි නාට්‍යයෙනි. මේ පිළිබඳව ඔත්තුව මට දුන්නේ පර්සි ජයමාන්න. පොත කියවන විට මට හිතුණා ‘හිච්චි මහත්තයා’ගේ චරිතයට ගැළපෙනම පුද්ගලයා සුමින්ද කියලා. ඒ අනුව හිච්චි මහත්තයාගේ චරිතයෙන් සුමින්ද ප්‍රේක්ෂකයන්ට සමීප වුණා.

එහිදී සිරිල් වික්‍රමගේ, දමයන්ති ෆොන්සේකා, ලියෝනි කොතලාවල, එඩ්නා සුගතපාල නළු නිළියන් සමඟ සුමින්දගේ චරිතය ප්‍රබල වුණා. චරිත තුනක් ටෙලි නාට්‍යයේ ඉසාගේ චරිතයත් ඔහුගේ රංගන ප්‍රතිභාව මැනැවින් නිරූපණය කළා. හර්බට් රංජිත් පීරිස්ගේ ‘හිරුට මුවාවෙන්’, විමලරත්න අධිකාරීගේ ‘ඉසිවර අසපුව’ ජීවිතය සුන්දරයි, වටමළුව, සියපත, දයාරත්න රටගෙදරගේ බෝගල සවුන්දිරස්, සිත නිවන කතා, සුසිරන් ද සිල්වාගේ එකට ගැටුම, ඉසුරු යෝගය වැනි ටෙලි වෘත්තාන්තවලදී ඔහුගේ විශිෂ්ට රංගනයන් අදටත් ප්‍රේක්ෂක මනසේ රැඳී තියෙනවා.

දුක, වේදනාව මෙන්ම සතුට, ප්‍රිතිය පමණක් නොව ආදරය, දයාව, කරුණාව, උපේක්ෂාව යන විවිධ මනෝභාවයන් සිය රංගන කෞෂල්‍යයට නතුකර ප්‍රතිනිර්මාණය කිරීමට සමත් සුමින්ද රූපවාහිනියත්, වේදිකාවක් ආක්‍රමණය කළ අභියෝගාත්මක නළුවෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, කදාවළලු, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුනිගේ වංසක්කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා, ජයලත් මනෝරත්නගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ලගේ විනිශ්චය, මවිසින් අධ්‍යක්ෂණය කළ කොන්තනෝනා, සමුගැනීම සුමින්දගේ විශිෂ්ට රංගන දායකත්වය ලද වේදිකා නාට්‍ය කීපයක්. රංගනයේදී සුමින්දගේ කැපී පෙනෙන විශේෂත්වය වූයේ ඔහු කිසි විටෙකත් එකම ආකාරයේ චරිතවලට කොටු වී නොසිටීමයි.

ඒ වගේමයි නිහතමානිකම නම් වූ අනගි ලක්ෂණය ඔහු ක්ෂේත්‍රයට පැමිණි දා සිට අද දක්වාම ඔහු තුළින් විද්‍යාමාන වුණා. අධ්‍යක්ෂවරයාට අවනත වෙමින් සාර්ථකව නිර්මාණය සඳහා දායකත්වය ලබා දීම සුමින්දගෙන් මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. පටිගත කිරීමක් අවසානයේ තම රංගනය පිළිබඳව තමන් කෙතරම් සෑහීමකට පත් වුවත් හරියට ආවද? හොඳට කළාද? අඩුපාඩු තියෙනවද විමසීමත් ඔහුගේ නිහතමානි ලක්ෂණයක්.

ඒ වගේමයි චරිතයක් වෙනුවෙන් ඔහුගේ කැපවීම. තම චරිතය පිළිබඳ පර්යේෂණ කිරීම, ගවේෂණයේ යෙදීමේ ගුණාංගයන් සුමින්ද සතු වුණා. චරිත තුනක් නාට්‍යය පටිගත කළ රදාවාන, කන්නිමහර ගම්මානයට ගොස් එහි මිනිසුන් සමඟ ගැවසිලා ඔහු චරිතය සඳහා අවශ්‍ය මානසිතත්වය ගොඩ නඟා ගත් අයුරු මා දුටුවා. ඇත්තෙන්ම සුමින්ද ඔහුට ලැබෙන චරිත නිරූපණය කිරීමට දැඩි ලෙස කැප වුණා.

වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍යවල දක්නට ලැබෙන්නේ වචන කියවීමක් පමණයි. දෙබස් කට පාඩම් කරගෙන චරිතාංග නළුවෙක් වෙන්න බෑ. ඒ සඳහා සතතා අභ්‍යාස කරන්න ඕන. සුමින්ද ලයනල් වෙන්ඩ්ට් හි සිට ඒ අභ්‍යාස ලැබුවා. ඔහු ඒ ආභසය සිය රංගන ජීවිතයට ආලෝකයක් කර ගත්තා. මනමේ නාට්‍යයේ පොතේ ගුරු චරිතයෙන් එය අපූරුවට ගෙන හැර දැක්වූවා. එහිදී ඔහුගේ ගායනයෙන් ප්‍රේක්ෂකයන්ට නාට්‍යයේ ජීවමාන හැඟීම ලබා දුන්නා කියලා මට විශ්වාසයි.

සුමින්ද සිරිසේන නම් වූ නළුවා කිසි දිනෙක සිය රංගන ජීවිතය ගෙන ගියේ ව්‍යාපාරික මට්ටමෙන් නොවෙයි. ඔහු කිසි දිනෙක මුදල් පසුපස හඹා ගියේ නෑ. ඔහු නළුකම පවත්වාගෙන යන්නට වාණිජ පරමාර්ථ වලින් කටයුතු නොකළ සුවිශේෂී පුද්ගලයෙක්. ඇත්තෙන්ම ඔහු නළුකමින් මහා ධනස්කන්ධයක් රැස් කළේ නෑ. මා දන්නා පරිදිම ඔහු රංගනයෙන් ලබා ගත්තේ ප්‍රතිචාර හා දැනුම පමණයි.

1967 දී කොළඹට පැමිණි සුමින්දගෙත් මගේත් හැඳුනම්කම පටන් ගන්නේ 1970 දී ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවේදී. වසර 40 කට පමණ පෙර පටන් ගත්තු ඒ මිත්‍රත්වය අද වන තුරු කිසිදු පළුදුවීමකින් තොරව ගලාගෙන යනවා. එවැනි ලෙංගතු, අවංක, නිහතමානි මිනිසුන් හමුවන්නේ කලාතුරකින්. රෝහල්ගතව සිටින මේ මහා නළුවාට ආශිර්වාද පතා ආගමික කටයුතුවල නිරත වන්නට හැකි නම් එය මහා පුණ්‍යකර්මයක් බව සුමින්දට ආදරය කරන රසික ඔබට කියන්නට කැමැතියි. චිරං ජයතු සුමින්ද.