වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘රිදම්’ නාලිකාවට උදම් අනන අනාගතයක් ගෙනෙනවා

 ‘රිදම්’ නාලිකාවට උදම් අනන අනාගතයක් ගෙනෙනවා

චමිල ලොකුනාරංගොඩ රිදම් ගුවන් විදුලියේ නව වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස පත්ව සිටියි. රිදම් එෆ්. එම්. හි වඩාත් වැඩිපුර ශ්‍රාවකයන් අතරට ගෙන යාමට අලුත් සැලසුම් කිහිපයක් ඔහු මේ වන විටත් දියත් කොට තිබේ.

ඔබේ අලුත් සැලසුම් ගැන පවසමු ?

රිදම් යන නම ඇසුණ සැනින් ගොඩක් දෙනෙකුට හිතෙන්නේ ඒක නගරයේ අයට පමණක් සීමා වෙච්ච නාලිකාවක් කියලා. ඒක අපිට අවාසිදායක තත්ත්වයක්. හැකි ඉක්මනින් රිදම් එෆ්. එම්. ගමට ගෙනියනවා. ඒ වෙනුවෙන් අපි අලෙවි ප්‍රචාරණ වැඩ සටහන් කිහිපයක් පටන් ගත්තා. පැරැණි ගීතවලට වැඩි ඉඩක් දෙන්නත් තීරණය කළා.

රිදම් හි ප්‍රචාරය වන බොහොමයක් ගීත වේග රිද්මයේ ඒවා බව රහසක් නොවෙයි?

රිද්මය අපිට අත්‍යවශ්‍යයි. එහෙම කියලා අපි ස්ලෝ සිංදු ප්‍රචාරය නොකර ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට ශෙහාන්ගේ ‘පෙරදා මැවු සිනා’ ගීය අපි ප්‍රචාරය කරන්නේ මුල් කෘතියට අපිම තව බීට් එකක් එකතු කරලා. ඒක තමයි රිදම් එෆ්. එම්. හි අනන්‍යතාවය.

රිදම් වටා එක් රොක් වී සිටින ශ්‍රාවකයන් ගැන යමක් පැවසුවොත්?

රිදම් අහන්නේ බුද්ධිමත් ශ්‍රාවකයන් පිරිසක්. ඔවුන්ගේ ශක්තිය මතයි රිදම් මේතාක් කල් අචලව පැවතියේ. දිනකට සිංදු තුන්සියයක් අපි ප්‍රචාරය කරන්නේ ඔවුන්ගේ සතුට වෙනුවෙන්. ඊට අමතරව රීලෝඩ් දෙනවා. සෑම පැයකදීම නොනවතින ගී ප්‍රචාරය කරනවා. මේවා කරන එකම ගුවන් විදුලි නාලිකාවයි රිදම්. අප ශ්‍රාවකයන් ඉහළම තැන තියන්නයි අපගේ වෑයම. ඔවුනට තුති පුදන්නත් මෙය මා අවස්ථාවක් කර ගන්නවා.

වත්මන් ගුවන් විදුලි නාලිකාවන්හි නිවේදක නිවේදකාවනට චෝදනා එල්ල වෙනවා භාෂාව පාවිච්චි කරන්න දන්නේ නැහැයි කියලා?

රිදම් ඇරැඹි දවසේ සිට අද දක්වා අපි ශ්‍රාවකයන් සමඟ කතාබහ කළේ සරල භාෂාවෙන්.

ප්‍රශස්ත මට්ටමේ හරබර වචන යොදා අද කාලයේ ගුවන් විදුලියක නිවේදකයකු හෝ නිවේදිකාවක කතා කළොත් එතන හරි නොගැළපීමක් තියනවා. එහෙම භාෂාවකට ශ්‍රාවකයන් අද අකැමැතියි. කෙසේ නමුත් අද නිවේදක නිවේදිකාවන්ගේ ගැටලුව භාෂාව නෙවෙයි, දැනුම. දැනුමත් රැගෙනයි ගුවන් විදුලි සන්නිවේදකයකු විය යුත්තේ.

නවක ගායකයකුට හෝ ගායිකාවකට රිදම් එෆ්. එම්. හි ඉඩක් තිබෙනවාද?

අපි අලුත් ගී ඕනෑ තරම් ප්‍රචාරය කරනවා. පසුගිය කාලේ අතිශය ජනප්‍රිය වූ ගීත රැසක මුල් ප්‍රචාරකයා වූයේ අපි. නවකයකුගේ හොඳ නිර්මාණයකට ඕනෑම මොහොතක රිදම්හි දොරගුළු විවෘතයි.

රිදම් ඉදිරියට ගෙනියන නිෂ්පාදන පිරිස මතක් කළොත්?

අධ්‍යක්ෂ අලෙවි ධාරක අබේවික්‍රම, නිෂ්පාදන සහකාර කළමනාකරු තාරක තරංග , සංජීව මධුරංග තමයි ප්‍රවර්ධන අංශය භාර. දිනේෂ් රොද්‍රිගෝ ප්‍රවෘත්ති කළමනාකාරවරයා. ජානක, ස්නේහා, නිෂි, මීෂා, සිකු, අනු, ටාෂි, ගනේෂ්, අජේ, ලහිරු ප්‍රසන්ටර්ස්ලා විදිහට වැඩ කරනවා.