වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සඳු හිරු තරු පවතිනතුරු ගී ගයන මේදා

සඳු හිරු තරු පවතිනතුරු ගී ගයන මේධා

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සිහින පියාපත්’ වගේම සිරස නාලිකාව ඔස්සේ විකාශය වන ‘සඳු හිරු තරු’ ටෙලි නාට්‍යවලින් ඔබ හමුවට එන චරිත ඔබට ගොඩක් හුරු පුරුදු ඇති. ඒ වගේම මේ ටෙලි සිත්තම් දෙකෙහිම ආරම්භය සනිටුහන් කරමින් ඔබ සවනට ළංවන තේමා ගීත ඒ වගේම ඔබට ළෙන්ගතු ඇති. ඔබට සුපුරුදු ඒ හඬෙහි අයිතිකාරිය තමයි මේධා. මේධා ධනංජනී.

මේ දිනවල රූපවාහිනි නාලිකා දෙකකම විකාශය වන ටෙලි වෘත්තාන්ත දෙකකම තේමා ගීත ගයන්නේ ඔබ. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සන්තෝසයි. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් විතර වෙනවා. ඒ කාලය තුළ ලැබුණු මේ අවස්ථා ගැන ගොඩක් සතුටුයි.

පුංචි කාලේ ඉඳලම ගායිකාවක් වෙන්න හිතාගෙන ද ඉගෙන ගත්තේ?

සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන හැදෑරුවේ මෝදර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්. පාසල් කාලයේදිත් සංගීතය හැදෑරුවා. 2006, 2007, 2008 වසරවලදී සමස්ත ලංකා පාසල් පද්‍ය ගායන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ගායනයට අමතරව නර්තනයත් හැදෑරුවා. සමස්ත ලංකා නැටුම් තරගවලදී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. උසස් පෙළ සඳහා කොළඹ යශෝධරා බාලිකාවට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණේ වාණිජ්‍ය අංශයෙන්. මීට අමතරව පාසලේ නිවේදන කටයුතු සඳහාත් සහභාගි වුණා. ඒ වුණත් පුංචි කාලේ ඉඳල ආසාව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

ගුවන් සේවිකාවක් වෙන්නට හීන දැකපු ඔබට ගායන ක්ෂේත්‍රයට එන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මුලින්ම චන්දික කුමාරසිංහ ප්‍රමුඛ වරංගා සංගීත කණ්ඩායම සමඟ විවෘත ප්‍රසංගයක ගීත ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ අනුව මම මුලින්ම ගායනා කළේ මරියසෙල්ගේ ‘රණ මොනරයි – රණ මොනරියි’ ගීතයයි. ඊට පසුව මට දිගටම එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වෙන්න ආරාධනා ලැබුණා. නිල්වලා ආයතනය හරහා තමයි තේමා ගීත ගායනයට අවස්ථාව උදා වුණේ. ඒ අනුව සිහින පියාපත් සහ සඳු හිරු තරු ටෙලි නාට්‍යවල තේමා ගීත, එතුමයි මෙතුමයි චිත්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණේ. ඒ වගේම මම සිංහල වගේම ඉංග්‍රිසි, දෙමළ සහ හින්දි යන භාෂා හතරෙන්ම සිංදු කියනවා.

යම් දිනෙක රංගනයට එක් වෙන්නට ආසාවක් නැද්ද?

පුංචි කාලෙදි ‘පාං බට්ටා’ ටෙලි නාට්‍යයට රංගනයෙන් එක් වුණා. ඊට අමතරව සිරස ටී වී ඔස්සේ විකාශය වූ කිඳුරංගනා, පතිනි ටෙලි නාට්‍යවලටත් දායක වුණා. ඒත් රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ.

කලා කටයුතු සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය?

අම්මා සහ තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. තාත්තා තමයි මගේ පිටුපසින් හැම තැනම ඉන්නේ. මට අක්කා කෙනෙක් හා මල්ලී කෙනෙක් ඉන්නවා. අක්කා විවාහකයි. මල්ලීට සංගීත කණ්ඩායමක් තියෙනවා. මේ කටයුතු සඳහා ඔහුගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා.

ඉදිරිය ගැනත් කියමුද?

ඉදිරියේදී පියල් යටවරගේ තුනේ කැලෑසිය නාට්‍යයේ තේමා ගීතය ඇතුලුව තවත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කීපයක ගී ගායන්න ආරාධනා නිල්වලා ආයතනය හරහා ලැබී තියෙනවා. ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන ගමන් රැකියාවක නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගීත ඇල්බම් එකක් එළි දක්වන්න සූදානම් වෙනවා. මීට අමතරව නිවේදන අංශයට යොමු වෙන්නත් ආසාවෙන් ඉන්නේ.

මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මේ දක්වා දුරක් එන්නට අත දුන් සියලු දෙනාටම ස්තුතියි.