වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




වයරිං කරපු බියංකාට රන්ජන්ගෙන් පොතක්

වයරිං කරපු බියංකාට රන්ජන්ගෙන් පොතක්

අනර්කලීගෙන් රන්ජන්ට කෑම පගාවක්

මොහොතකින් ඔහු පැමිණියේය.

‘අන්න ආදිත්‍ය ඇවිත්’ තාක්ෂණික කණ්ඩායමේ කෙනකු කියනු යන්තමට ඇසිණි.

‘කවුද ආදිත්‍ය . . .’

පැනය අපේ මාලන්ගෙනි.

මීට පෙර කිසිදු දිනෙක අසා නැති ආදිත්‍ය හමුවනු රිසියෙන් අපි මුහුදු වෙරළේ කෙළවර කබානාවේ ඈඳි ගත්තෙමු. එහා කෙළවරේ සිට සිනා හඬ නඟමින් ඔහු පැමිණියේය. ඒ ආදිත්‍ය අප කවුරුත් දන්නා හඳුනන රන්ජන් රාමනායකය. පෙර සිටම අප ළඟින්ම ඇසුරු කරන රන්ජන් දර්ශන තලවල ප්‍රසද්ධ රසකාමියෙකි. එබැවින් මේ දර්ශන තලයේ රසය පිළිබද දෙවරක් තෙවරක් සිතන්නට යමක් ඉතිරි වී නැති වග දැන් පැහැදිලිය.

මීට ටික මොහොතකට ප්‍රථමව බියංකා ෆොන්සේකා රන්ජන් ගැන කී කතා පොකුරෙහි මිහිරියාව මැකෙන්නට ප්‍රථම පැමිණි ඔහු අපේ අසුන් පෙළෙහි ඈඳී ගත්තේ සුබපැතුමක් ද එක් කරමිනි.

හොඳ වෙලාවට ආවේ . . . මෙතන මඩවලක් වෙලයි තිබුණෙ. ඔයා ගැන කතා පොතකට විතර තියෙනවා.

මම කීවෙමි.

මොනවද ඔය කතා . . .

කවදත් ළෙන්ගතු රන්ජන් පැනය නැඟුවේ සිනාසෙමිනි.

ඔයා බියංකට පොතක් දැම්මලු නේද?

ඔව් . . . ඔව් . . . ඔළුවටම දැම්මා . . .

මොකක්ද දැන් ඔය ඇත්ත කතාව . . .

රන්ජන් කතාව කීමට පටන් ගත්තේ දෑත පිරිමදිමින් අවට බලමිනි.

‘නාට්‍යයේ එක සීන් එකක් තිබුණා බියංකා පොත් සාප්පුවක පොතක් තෝරණ. එතනදි මං ඇවිත් පොත් රාක්කෙ වැදිල පොත් බිමට වැටෙනවා. බියංකා ඒ පොත් එකින් එක අහුලනවා. අපි දැන් මේ සීන් එක ගන්න රෙඩි වුණා. අපේ අධ්‍යක්ෂකතුමා සුරන්ජන් මහත්තයා ඔක්කොටම දර්ශනය ගැන කියලා ෂොට් එක ප්ලෑන් කළා. කීප වතාවක් ගත්තත් හරියට ආවේ නෑ. අපේ බියංකා නිතරම ඉන්නෙ වයරින් කරගෙන. එයාගේ කන් දෙකේ නිතරම හෙඩ් ෆෝන්. කන් දෙකෙන්ම ෆෝන් වයර් එළියට ඇදිලා. එයා හරියට මැෂිමකින් ජීවත් වෙන දරුවෙක් වගේ තමයි දැක්කම පේන්නේ.

දැන් ඉතිං මේ ෂොට් එක රෙඩි. මං ඇවිත් රාක්කෙ වැදුණාම පොත් පෙරළුණා. බියංකා අහුලනවා. වැඩේ හරියට වෙන්නෙ නෑනෙ. . . මං එතන තිබුණු ලොකුම පොතට අතින් පොඩි ටච් එකක් දුන්නා. පොත පෙරළිලා කෙළින්ම බියංකගෙ ඔළුව උඩ. බියංකා කරන්ට් වැදුණා වගේ නැගිට්ටා. දෙබස් ටික කියාගෙන කියාගෙන ගියා. අදටත් අපේ සුරන්ජන් මහත්තයා ගාව ඒ ලොකු කිලෝ 2 ක් විතර බර පොත තියෙනවා.

බියංකා දෙබස වැරැද්දුව ගමන් ඒ පොත පෙන්නුවම ගානට දෙබස් කියවෙනවා. රන්ජන් කතාව නිම කළේ අපේ කට්ටියේ උන් සියල්ල සිනහ ගන්වමිනි. විවිධ වැඩ අතරේ තවත් දර්ශනයක් ඇරැඹෙයි. ඒ අජිත් වීරසිංහ බියංකා සහ ඇමන්ඩා මුහුදු අවන්හලක හමුවන දර්ශනයකි.

ඔබත් මමත් ඉතා සෞම්‍යව තිරයේ දකින දර්ශන රූගත කිරීමට ඔවුන් බොහෝ වෙහෙසෙයි.

උදේ අනර්කලිත් ඇවිත් ගියා.

දර්ශනය රූගත කිරීමෙන් පසුව නැවත අපි කතා බහේය.

අම්මෝ . . . එයා පගාව දෙනවනෙ . . .

මොකක්ද ඒ කතාව . . .

මම නැවත රන්ජන් අසලට ළං වීමි.

මේ ළඟදි දවසක සෙට් එකේ හැමෝම කෑම කනවා. අනර්කලී එතන ඉඳල එක පාරටම අතුරුදන් වුණා. හෙව්වා හෙව්වා නෑ . . . මං නිකමට වගේ වාහන පාර්ක් එක බැළුවා. මෙන්න අනර්කලී හැංගිලා තනියම කුකුල් කකුල් කනවා. මාව දැක්ක ගමන් අනර්කලී මට පුංචි කුකුල් කකුලක් දුන්නා. මං ඉතිං ඒ පගාව අරගෙන රහස රකින්නට පොරොන්දු වුණා. ඔන්න මං ඒ රහස රැක්කා.

කතාබහ අතරට පැමිණියේ තිස්ස විජේසුරේන්ද්‍රය.

ගෑනු කියන්නෙ මල්ලි අනවශ්‍ය කරදරයක්. . .

තිස්ස අයියගෙ කතන්දරයෙන් අපි වටපිට බැළුවෙමු.

පිරිමි කියන්නෙ අත්‍යාවශ්‍ය කරදරයක්.

අනෙක් පසින් මතු වූයේ සංගීතා බස්නායකය. ඔවුන් ටෙලි නාට්‍යයේ බිරිය සහ සැමියාගේ මේ රංගනය අතරේ ටෙලි නාට්‍යයේ නොමැති දෙබස හිමින් උච්චාරණය කරමින් උන්නේ සතුටිනි.

ඒ අතර බියංකා ෆොන්සේකා ගීත අසමින් මුහුදු වෙරළ දෙස බලා හිඳී.

අර මං කිව්වෙ වයරිං කරපු ළමයා . . .

රන්ජන් නැවත සැවොම සිනහවේ ගිල්වයි.

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වන ඉටි මල් සුරන්ජන් විජේනාමගේ අධ්‍යක්ෂණයකි. වසර විසි පහක් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති සුරන්ජන් මෙවර තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වටා ගෙතුණු කතාවක් තමාගේ නිර්මාණයට එක්කොට තිබීම ද විශේෂත්වයකි.

ඉටි මල් හි ප්‍රධාන චරිත රඟපාන්නට රන්ජන්ට හා අනර්කලීට බාර වී ඇත. මහ හඬින් කියවෙන විහිළු තහළු මැද්දෙන් මේ දර්ශන රූගත වන අයුරු හරිම අපූරුය. ඒ රූ ගැන්වෙන දර්ශන හෙට දිනයේ ඔබේ ආලින්දය සරසනවා ඇත.

ඉටි මල් නළු නිළියන්:

රන්ජන් රාමනායක – ආදිත්‍ය රණරාජා

අනර්කලී ආකර්ෂා - පූජා වීරබාහු

තිස්ස විජේසුරේන්ද්‍ර – හැරල්ඩ් වීරබාහු

බුද්ධික ජයරත්න - හෙක්ටර්

අජිත් වීරසිංහ – කාලිංග

කංචන කොඩිතුවක්කු - සාගර

බියංකා ෆොන්සේකා - ජූඩි

සංගීතා බස්නායක – දුලාරි වීරබාහු

ලංකා කාරියවසම් – අනූෂා

අනූෂා රාජපක්ෂ – වෙරෝනිකා

අර්ඩ්ලි වෙදමුණි – ජයසුමන

රෝෂිත බී. පෙරේරා - කලංසූරිය

විශ්වනාත් විජේසූරිය – පූර්ණක

කලා අධ්‍යක්ෂණය - සුරේන්ද්‍ර ගාමිණී ප්‍රතාපගේ

වේශ නිරූපණය – ඩබ්ලිව්. ජයතිස්ස

කැමරාකරණය සහ ආලෝකකරණය – දිලීප් පුස්සැල්ල

නිෂ්පාදන කළමනාකරණය – ඉරෝෂන් බුද්ධික

සහාය කැමරාකරණය - අකිල සඳමල්

සංගීත අධ්‍යක්ෂණය – තීක්ෂණ අනුරාධ

සහාය අධ්‍යක්ෂණය – නිම්ෂාන් වීරක්කොඩි

රේඛීය නිෂ්පාදනය – චාමර සමරවික්‍රම

අධ්‍යක්ෂණය - සුරන්ජන් විජේනාම