වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




අයිස් යුගයේ (නී) රසකතා

අයිස් යුගයේ (නී) රසකතා

අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ හතර වෙනි කොටස අයිස් ඒජ් - කොන්ටිනේන්ටල් ඩ්‍රිෆ්ටි කුඩා දරුවන්ට නම් ඉතා සතුටක් දනවන චිත්‍රපටයක් විය හැකියි.

ගිය සති අන්තයේ නැවත ප්‍රතිසංස්කරණය කර ත්‍රිමාන චිත්‍රපට පෙන්වීමටත් සූදානම් කරගත් අගනුවර ප්‍රකට සිනමා ශාලාවකදී මා එය නැරැඹුවා. කුඩා දරුවන්ගෙන්, ඇත්තටම කුඩා දරු පැටවුන්ගේ මිත්‍රශීලි ප්‍රතිචාරයෙන් මා තේරුම් ගත්තේ මෙය ඔවුන්ගේ මන පිනවන චිත්‍රපටයක් වූ බවයි. නමුත් ඔවුන්ගේ දෙමව්පියන් නම් එය එතරම් වින්දාදැයි සිතන්නට අමාරුයි. විශේෂයෙන්ම ත්‍රිමාන චිත්‍රපටවලට වැඩිපුර ගෙවිය යුතු මුදලත් සමඟ සලකන විට ඔවුන්ට මෙම චිත්‍රපටය ගෙවූ මුදලට සරිලන අන්දමේ විනෝදාස්වාදයක් ගෙන දුන්නාදැයි සැක සහිතයි.

නමුත් මේ චිත්‍රපටයේ එක් ගුණාංගයක් ගැන විශේෂයෙන්ම කිව යුතුයි. එය නම් මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ත්‍රිමාන චිත්‍රපටයක් බවයි. මෙහි මුල ඉඳන් අගටම ත්‍රිමාන ක්‍රියාදාම දර්ශනවලින් පුරවා තිබුණා.

මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සත්ව සුරතලුන්ගේ දඟ වැඩ අපේ මුහුණේ අතුල්ලන තරමට ත්‍රිමාන සජීවිකරණය සමත් වී තිබුණු අතර මේ දර්ශන මැද්දේ නිර්මාණකරුවන් දෙබස් ඇතුළත් කරන්නට සමත් වූයේ කෙසේදැයි විශ්මයක්. භූගර්භ විද්‍යාවට අනුව නම් මෙම චිත්‍රපටයේ කතාව වැරැදියි.

නමුත් කවුද මේ වගේ විනෝදාස්වාද චිත්‍රපටයක තාත්විකත්වය ගැන ප්‍රශ්න කරන්නේ? මන්ද ලොව තිබුණු එකම මහද්වීපය කැඩී එකිනෙකාගෙන් වෙන් වී ගියේ, මේ සතුන් ලොව බිහි වෙන්නට බොහෝ කලකට කලින්. එම නිසා ඒ ගැන විමසිලිමත් වන රසවතුන්, මුලදීම මෙහි තාත්විකභාවය අමතක නොකළහොත් එය රස වින්දනයට බාධාවක් වෙන්නත් පුළුවන්.

කුඩා දරුවන් නොමග යැවීම වැලැක්වීමට චිත්‍රපටය නැරැඹීමෙන් පසු හෝ ඔවුන්ට සත්‍යය වටහා දීම එක් අතකින් වැදගත්.චිත්‍රපටය ආරම්භයේ නාමාවලියට පෙර ඉදිරිපත් කරන දර්ශන පෙළේ (මීට පෙරත් චිත්‍රපට තුනේම මේ ආකාරයේ දර්ශනයක් තිබුණා) මේ මහද්වීප වෙන්වීමේ ක්‍රියාවලියට වගකිවයුත්තා ලෙස හංවඩු ගසන්නේ ස්කැට් නම් දඬු ලේනාවයි.

ඔබට මතක ඇති අර ඕක් ගහේ ගෙඩියක් පස්සෙ නහින්න හදන දඬු ලේනා? ඔව් ඔහු තමයි මේ මහා භූගර්භ විපර්යාසයට මූලිකයා වන්නේ. හිනා යන කාරණය නම් චිත්‍රපට හතරෙම ඒ කියන්නේ දැන් අවුරුදු 10 කට කිට්ටු වෙන්න මේ ලේන් දණ්ඩා පස්සෙන් එලවන්නේ එකම එක ඕක් ගස් ගෙඩියක් පස්සෙයි. නමුත් එදා වගේම අදත් මේ ඕක් ගෙඩිය කිසිදු ආපදාවකින් තොරව හොඳට බැබළි බැබළි තිබෙනවා.

ඉතින් මගෙන් අහන්න එපා ඕක් ගස ද ගෙඩිය ද මුලින්ම ආවේ කියලා. ඒක හරියට අර කිකිළි ද බිත්තරය ද මුලින් ආවා වගේ ප්‍රශ්නයක් තමයි. එවැනි ප්‍රශ්නයක් ගොඩ නැෙඟන්නේ චිත්‍රපටයේ ඕක් ගසක් නොපෙන්වන නිසාත්, අයිස් යුගයේ ඕක් ගස් නොතිබූ නිසාත්. නමුත් මේ ලේන් දණ්ඩාට නම් කොහෙන් හෝ එය මුණ ගැහුණු නිසයි.

මෙම අයිස් ඒජ් චිත්‍රපටය මීට පෙර චිත්‍රපට තුනෙහිම චරිත නැවතත් එකතු කර තිබෙනවා. ඒ අතර මැනී නම් මැමත් ඇතා, සිඩි නම් අලසයා, දියේගෝ නම් උල් දත් ඇති ව්‍යාඝ්‍රයා ප්‍රධාන වෙනවා. මැනී නම් මැමත් ඇතාට තම පවුලෙන් වෙන්වන්නට සිදු වන්නේ ඔහු කැඩී පාවී යන අයිස් කුට්ටියක් මත හිරවුණු නිසයි. අවසානයේ කෙසේ හෝ නැවත එකතු වන ඔවුන් අපි එකම පවුලක් යන ඉංග්‍රීසි ගීතය ගායනා කරමින් නටන නමුදු මේ මාංශ භක්ෂක සත්තුන්ට අයිස් යුගයේ බඩගින්නට කන්නට කියා ඉතිරි වී තිබුණේ එකිනෙකාවයි. ඉතින් මේ පවුල කොතරම් දුරට තාත්වික ද කියලා හිතන්නට නැවතත් මහන්සි වෙන්න එපා.

තවත් මෙහි හාස්‍යයට තුඩු දෙන කාරණයක් වන්නේ, හැම චිත්‍රපටයකම මෙන්ම මේ චිත්‍රපටයටත් දර්ශීය දුෂ්ටයෙක් අවශ්‍ය නිසා, නිර්මාණකරුවන් දුෂ්ටයන් කරන්නට තෝරා ගෙන තිබෙන්නේ මාළුයි. මුහුදේ සිටින මාළු මෙහි දුෂ්ට චරිත රඟපානවා. ඔවුන් අපේ හිත දිනාගත් ආදර ප්‍රධාන නළු නිළි කැලව ආහාරයට ගන්නට බලා සිටිනවා.

මට නම් මේ චිත්‍රපටය කම්මැලියි. චරිත එකකෝ උමතුයි නැත්නම් මොළේ නැති ඔලමොට්ටලයොයි. දෙබස්වලත් රසක් නැහැ. ක්‍රියාදාම තනිකරම ත්‍රිමාන තාක්ෂණයට පින් සිදු වන්නට නිර්මාණය කර තිබෙනවා. සින්දු කිහිපයක් පාළුව මකන්නට අතර මැදට ඔබා තිබෙනවා. නමුත් අමතක කරන්න එපා ටෝයි ස්ටෝරි 3 තිරගත වී ඩොලර් බිලියනයක් ලොව පුරා ආදායමක් ලබන්නට කලින් ලොව වැඩිම ආදායම ලැබූ සජීවිකරණ චිත්‍රපටය වුණේ අයිස් ඒජ් 3 යි. එම නිසා මෙම චිත්‍රපටයටත් ලොව පුරා තිරගත කිරීමෙන් මුදල් සම්භාරයක් හම්බ කිරීමට ඉතා විශාල හැකියාවක් ඇති බව නම් නොඅනුමානයි.

- වින්දන ආරියවංශ