වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

චිත්‍රපට, වේදිකා, ටෙලි නාට්‍ය නළු ජයසේකර අපොන්සු දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද?

වෙන්නප්පුවේ වියානි ගුණවර්ධන

අපොයි නැහැ.

*

සමහර ටෙලි නාට්‍යවල පෙන්වන පරිදි, හමුදා නිලධාරීන්ගේ නිවෙස්වල තම බිරිඳට සහ දරුවන්ට බලපවත්වන්නෙත් හමුදා නීතිය ද?

සුජාතා ගුණවර්ධන – කඩවත

සුජාතා, ඔයා දන්න හඳුනන හමුදා නිලධාරින්ගේ බිරින්දෑවරුන්ගෙන් අහල බලන්න.

*

මාලිනී ෆොන්සේකා නිළි රැජණගේ ලිපිනය පළ කරනවද?

එම්. බී. ප්‍රසන්න කුමාර – කළුබෝවිල, දෙහිවල

හා පළ කරන්නම්. 520/9, සුසිලාරාම පාර, මාළඹේ.

*

මොකද මේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු චිත්‍රපට බලන්න කාන්තාවන්ට සහ ළමයින්ට සමහර දිනවලට භාග ටිකට්පත් අලෙවි කරන්නේ. පිරිමින්ට ඇයි එවන් උදව්වක් නොකරන්නේ?

ප්‍රේමසිරි ලියනආරච්චි – කන්කිරිය – බණ්ඩාරවෙල

ඔයා, ඔය ඊර්ෂ්‍යා නොකර, කාන්තාවක් එක්ක ගියා නම් හරිනේ.

*

චිත්‍රපට බජාර් ගී අතරට පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේ නිහාල් නෙල්සන් සහ බන්දු රණසිංහ ගායනා කළ කෂිලි බිෂිලි නැහැ ගීතය ලංකාවේ ප්‍රථම බජාර් ගීතය ද?

මුතුරංග බණ්ඩාර – අනුරාධපුරය

බොහෝ දුරට හරියන්න පුළුවන්.

*

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සිය දුටුගැමුණු චිත්‍රපටය රූගත කිරීම නැවැත්තුවේ ඇයි?

උදයන්ත සිරිසේන – රුවන්වැල්ල

එහි විශාල නිෂ්පාදන පිරිවැය දැරීමට නිෂ්පාදකයෙක් නොවුණ නිසා.

*

සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ ‘අංගුලිමාල’ චිත්‍රපටයේ අංගුලිමාල ලෙස රඟපෑ භාරත් භුෂාන්ට සිංහල හඬ කැවූ ශිල්පියා කවුද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ඩොමී ජයවර්ධන.

*

කලාශූරි ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල සමඟ යුග ගී ගායනා කරන ලද චිත්‍රපට මොනවාද?

විල්ෆ‍්‍රඩ් පෙරේරා - රත්මලාන

අනුපමා චිත්‍රපටයෙන් පසු බොහෝ චිත්‍රපටවලට ජෝති - ලතා සුසංයෝගී ගායනා දක්නට ලැබුණා.

*

පනහ හැට දශකවල මෙරට ජනප්‍රිය වූ සීරියල් චිත්‍රපට, ටාසන් ට්ත්‍රපට, ගොපලු චිත්‍රපට දැන් නිපද වන්නේ නැත්තේ ඇයි? පළමු ටාසන් චිත්‍රපටයේ රඟපෑ නළුවා කවුද?

ජයම්පති නවරත්න – මාතලේ

සීරියල් චිත්‍රපට දැන් හැදෙන්නේ නැහැ. සීරියල් චිත්‍රපට කියන්නේ කතාවක් නොමැති දිගටම ගලාගෙන යන චිත්‍රපටයි. මෙම චිත්‍රපට නිහඬ යුගයේදී ජනප්‍රිය වුණා.

සීරියල් නැතුවට දැන් ගෙදරට එන මාලා ටෙලි නාටක බලන්න පුළුවන්නේ.

පළමු ගොපලු චිත්‍රපට නළුවා ලෙස සැලකෙන්නේ 1918 තැනුණු ‘ටාසන් ඔෆ් ද ඒප්ස්’ චිත්‍රපටයේ රඟපෑ එල්මෝ ලින්කන්ය.

*

ලොව බොහෝ සිනමා විචාරකයන්ගේ අගැයීමට බඳුන් වූ ප්‍රංශ ජාතික වීර ශුද්ධවන්තයින්ගේ ජීවිත කථාව ඇතුළත් ‘ජොවාන් ඔෆ් ආර්ක්’ නමැති චිත්‍රපටය ගැන යමක් කියන්න.

ඇන්. ඩබ්. පෝල් පෙරේරා - කුලියාපිටිය

‘ජොවාන් ඔෆ් ආර්ක්’ නවකතාව පසුබිම් කරගෙන චිත්‍රපට, නාට්‍ය රාශියක් තැනුවත් ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ ‘කාල් තියෝඩර් ඩ්‍රයර්’ නම් විශිෂ්ට ඩෙන්මාර්ක සිනමාකරු විසින් 1928 වසරේදී නිර්මාණය කළ ‘ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආර්ක්’ නමැති චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය රඟපෑ රොනී ෆැල්කොනැමිට් ගේ රඟපෑම ලෝකයේ අලුත් ගණයේ රඟපෑමක් ලෙස සලකනවා. කොහොමටත් මේ චිත්‍රපටය ලෝක සිනමාවේ සන්ධිස්ථානයක් හැටියටයි සලකන්නේ. මේ චිත්‍රපටයට පාදක වුණේ ජොආන් ඔෆ් ආර්ක් හි ජීවත් වූ ශාන්තුවරියක් පිළිබඳ කතාවක්. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ඩ්‍රයර් නිර්මාණය කරනුයේ ප්‍රංශ භාෂාවෙනි. ඒත් පළමු ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශය පාවාදීමේ සහ විවිධ කෙනෙහිලිි මැද තිබූ යුගයක මෙම චිත්‍රපටය නිපදවීමට ෆ‍්‍රෑන්ක් මිලියන හතක් යොදවා තිබුණා.

*

මෙතෙක් රූපවාහිනී නාලිකාවකින් ප්‍රදර්ශනය වූ චිත්‍රපට මොනවාද?

පාලක සමන් පෙරේරා - ජාඇල

මෙරට තිරගත වූ තුන්වැනි සිංහල චිත්‍රපටයේ සිට අද තිරගත වුණු දරුවනේ හැරුණු විට ඉතිරි ඒවා බොහෝමයක් ටෙලිවිශනයේ විකාශය වුණා.

*

කොළඹ ගාමිණී සිනමාහලේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් සිංහල වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කර තිබේද?

ඩබ්. රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ඔව් එවකට එය හැඳින් වූයේ නැෂනල් තියටර් නමින්.

*

ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් චිත්‍රපටවල ගීත ගයා තිබේද?

හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුව

අයිවෝ රේඛාව ඇතුළු චිත්‍රපට රාශියක ගීත ගයා තිබෙනවා.

*

ජැක්සන් ඇන්තනී යනු දක්ෂතම රංගන ශිල්පියකු මෙන්ම කලා මාධ්‍යයන් දහසයක් පරිහරණය කරන එකම කලාකරුවා යන්න මගේ හැඟීමය. ඒත් බොහෝ අය ඔහුට ආණ්ඩුවට කඩේ යන බව පවසා පරිභව කරන්නේ ඇයි?

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත

පල ඇති රුකටයි පාර වදින්නේ.

සඳු දැක සිවුපාවුන් මොර දෙන්නේ . . .