වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ගිණි සිළුව අරන්

ගිණි සිළුව අරන්

ක්‍රීඩාවයි කලාවයි අංශ දෙකක් වුවත්, කලාවෙන් බැබළෙන්නේ නැති ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. 2012 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට, මෙගා තරුව අමිතාබ් බච්චන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමට ඉඩ ලැබුණේ එනිසාය.

ඔලිම්පික් සංවිධාන කමිටුවෙන් මේ ආරාධනාව ලැබුණු පසු අමිතාබ් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ‘මෙය මටත්, රටටත් අභිමානයක්’ ඔහු ට්වීටර් වෙබ් අඩවියේ සටහන් කළේය.

2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන එකම ඉන්දියානු කලාකාරයා අමිතාබ් නොවෙයි. ඒ. ආර්. රහ්මන්ගේ තනුවක් ද සමාරම්භක උත්සවයේදී වාදනය විය. ඉලෙයි රාජාගේ ගීතයකින් ද එම උළෙල වර්ණවත් කෙරිණි.

වතුර වැඩි වෙලා

වෛවර්ණ ජල බිඳු තාරකාවන්ගේ සිරුරේ දැවටෙන විට මොන තරම් සුන්දර ද? එහෙත් එය ඔවුන්ට නම් කටුක අත්දැකීමක් වන අවස්ථා එමටයි.

ළඟදී එවන් අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නේ සෝනක්ෂි සිංහය. ඒ ‘දාබන්ග් 2’ ගීතයක් රූගත කරද්දීය. ‘ගෝ ගෝ ගෝවින්දා’ ගීතය දින තුනකදී රූගත කර අවසන් විය යුතු නමුත් සෝනක්ෂිගේ ඇසට වර්ණවත් දියර ඉසී තුවාල වීම නිසා රූගත කිරීම තාවකාලිකව නතර කර තිබේ.

ආදරේ ගණන්

ආදරය, මුදල්වලින් පෙන්වීම බොලිවුඩ් තිරයේ පෙම්වතුන් තිරයේදී මෙන්ම තිරයෙන් මෙපිටදී ද ඉතා කැමැත්තෙන් කරන්නකි. ආදිත්‍ය චොප්රා ඉන්දියානු රුපියල් කෝටි 1.25 කින් රාණිට ‘ආදරය’ පෙන්වන්නට සිතුවේ එනිසාය.

ඔහු ඇයට අවුඩි 8 ඩබ් 12 මෝටර් රථය මිලදී ගෙන රාණිගේ ඔහුට ඇති ආදරය තවත් වැඩි කර ගත්තේය.

රාණි වාහනය දැක සතුටින් ඉපිළ ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඇය අවුඩි රථවලට දක්වන්නේ පුදුමාකාර ඇල්මකි.

ආදිත්‍යගේ දික්කසාද නඩුව අවසන් වීමෙන් පසු රාණි ඔහුගේ ‘දුල්හනියා’ (මනාලිය) වනු ඇත.

පෙම් දම නිසා වගේම මිතු දම නිසා ද බොලිවුඩ් තරු, මෝටර් රථ තෑගි ලෙසින් හුවමාරුකර ගනිති. සල්මන්, කරීනාට බීඑම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් තිළිණ කළේ මෑතකදීය.

ෂර්ලින් ෆ්ලේ බෝයි කවරයේ

‘ෂර්ලින් චොප්රා’ සරාගී සුරූපිනියට ඉල්ලුමක් ඇත්තේ බොලිවුඩයෙන් පමණක් නොවෙයි. ඇයට දැන් සිය ලාලිත්‍යයෙන් ලොවම වසඟ කරන්නට අවස්ථාව ලැබී තිබේ.

විනෝද් පාන්ඩේගේ ‘රෙඩ් ස්වස්තික්’ සිනමා පටයෙන් රසික නෙත්වලට රසඳුනක් වූ ඇය ‘ප්ලේබෝයි’ සඟරා කවරය සරසන්නට සූදානමින් සිටින්නීය.