වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




බලා ඉන්නවානේ හිමිකරු රංජන් ඉලංගසිරි

'බලා ඉන්නවානේ' හිමිකරු රංජන් ඉලංගසිරි

සංගීත ක්ෂේත්‍රයට පායා ආ අලුත්ම තරුවකි රන්ජන් ඉලංගසිරි. මේ දිනවල නිතර දකින, ඇසෙන ‘බලා ඉන්නවානේ’ ගීතයේ හිමිකරුවා ඔහුය.

ජාතික රූපවාහිනියේ රිදී තාරකා වැඩ සටහනෙහි ‘බලා ඉන්නවානේ’ සතිපතා විකාශය වුණා. බොහෝ දෙනෙකු ගීයට කැමැති බවක් පෙන්වනවා. ප්‍රතිචාර යහපත්.

ඉරාජ් තමයි ගීතය හදලා දුන්නේ. පද රචනය කැළුම් ශ්‍රීමාල්ගෙ.

රන්ජන්ගේ සංගීතයට අත හිත දුන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියාණන්ය.

කපුගේ මහත්තයා මට ඒ කාලයේ, ඒ කියන්නේ 2000 දි විතර මට ගීත කිහිපයක් නිර්මාණය කොට දුන්නා. ඒවා අයිති වුණේ ශාස්ත්‍රීය සංගීතය පැත්තට.

ඉන් ‘දෑස රිදෙන තුරු’ ගීතය තරමක් ශ්‍රාවකයෝ අතරට ගියා. ඒ වගේම ‘හරිම නරකයි’ නම් වූ ගීතයක් රූප රචනා සහිතව නිකුත් කළා.

ඒක ස්වාධීන රූපවාහිනිියේ නිතර ප්‍රචාරය වුණා. මමමයි එහි රඟපෑවේ.

කාලයක් සමඟම රන්ජන්ට හිතෙනව තම සංගීත ශෛලිය වෙනස් කරන්න.

බලා ඉන්නවානේ ගීය බටහිර සංගීත ශෛලියටයි නිරමාණය වුණේ. හැබැයි ඒක ඉක්මනින් මිනිසුන් වැළඳ ගත්තා. මින් ඉදිරියටත් මං ගයන්න සූදානම් එම ආරට කියලත් මං කියන්න කැමැතියි.

බලා ඉන්නවානේ ගීතය රූප රචනයට නඟලා තියෙන්නේ ප්‍රසාද් රණසිංහ.

ප්‍රසාද් මට ගොඩක් උදවු කළා ෂූට් එකේදී. ඒ වගේම ඔහු මට මුදලට සරිලන වීඩියෝවක් කරලා දුන්නා.

වීඩියෝවෙ පිටපතට අනුව මං පිටකොටුවෙ හෙල්මට් නැතිව යතුරු පැදියක යන්න ඕනේ.

මං ඒ දර්ශන පෙළට බොහොම බයෙන් තමයි සහභාගි වුණේ. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, පොලීසියෙන් නවත්වයි කියලයි බිය වුණේ.

ගායනයට අමතරව සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් ද කලක් වැඩ කළාලු.

අපි අපි වගේ II, රුවන් මාළිගා වැනි නාට්‍යවල කෙටි කලක් මං එලෙස සිටියා. පස්සෙ හිතුණා සංගීතයම විතරක් කළොත් හොඳයි කියලා.

මට කාලය පිළිබඳ ගැටලුවක් මතු වුණා.

රන්ජන් වෘත්තිකයකු වශයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කටුගස්තොට ශාඛාවේ සේවය කරනවා.

මේ මොහොතේ මා අපගේ කළමනාකරු පියරත්න මහතාව මතක් කළ යුතුමයි. ඔහු මගේ සංගීත වැඩ කටයුතුවලට ලබා දෙන්නේ අපමණ සහයක්. ඒ වගේම අප ශාඛාවේ නිලධාරි මණ්ඩලයත් මතක් කරන්න ඕනෑ.

රන්ජන් ඉලංගසිරි

ශාස්ත්‍රවෙල්ලිය,

කැකිරාව

මේ ඔහුගේ ලිපිනයයි.

නුදුරු දිනකදී තවත් අපූරු සංගීත නිර්මාණ ඔස්සේ ඔබ හමුවන්නට බලාපොරොත්තුªවන රන්ජන්ට ඒ ඔස්සේ සුබපැතිය හැකිය.