වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිසිර කුමාරතුංගගේ පරණ පත්තර

සිසිර කුමාරතුංගගේ පරණ පත්තර

සිසිර කුමාරතුංග සිංහල සිනමාවේ සිටින දුෂ්ට නළුවෙක්. ඔහුගේ රඟපෑම් අනර්ඝයි. ගිය සතියේ අපේ ටෙනීගේ සිහින සේයා ප්‍රදර්ශනයට ඔහුත් පැමිණ සිටියා.

ඡායාරූප නරඹන අතරතුරදී සිසිරට සරසවියේ මිතුරෙකුත් මුණ ගැසුණා. ඔහු හා කතාවට වැටුණු සිසිර එක දිගට තොරතෝංචියක් නැතිව කියවගෙන ගියා.

මා ගාව 1960 ගණන්වල සරසවිය පත්තර තියෙනවා. සත දහයට තිබුණ කාලේ පත්තර. මම පාරේ වැටිලා තිබුණත් කලා තොරතුරක් අඩංගු පත්තර පිටුවක් නම් හොරෙන්ම සාක්කුවේ දාගන යනවා. ඕනේ නම් මම ඔයාට පරණ සරසවිය පත්තර ටික දෙන්නද?

අපේ මිතුරාටත් මේ ගැන රහ වැටුණු නිසා ඔහු සිසිරගෙන් විමසුවේ ‘මට එහෙමනම් ඒ ටික දෙනවද කියලයි . . .

ටිකක් මුහුණ කළු කරගත් සිසිර කිවේ, හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒව හොඳටම කාවෝ කාලානේ. . . කියමින් සිටි තැනින් සිසිර හිමීටම මාරු වුණා.

තිලක් කුමාරට අනතුරක්

තිලක් කුමාර රත්නායක කියන්නේ අපට සිටින දක්ෂතම රංගන ශිල්පියෙක් වගේම හොඳ ප්‍රසංග වේදිකා නිවේදකයෙක්.

පසුගිය දවසක කෝපි කඩේ නාට්‍යයේ තිලක් රඟපෑවේ අතකුත් බැඳගන. මොකද කාරණේ කියලා හොයලා බලපුවාමයි වැඩේ තේරුණේ.

තිලක් හදිසියකට පාර මාරුවෙන අවස්ථාවකදී ත්‍රීවිලරයක හැපිලා. ඔහුගේ දකුණු අතේ වැලමිට ළඟින්ම කැඩිලාලු. හැබැයි සිංහල බේත් කරන ගමන් රඟපාන එකත් අතාරින්නේ නැහැලු. අසනීප වෙලාවකදීවත් තමන් ගැන නොසිතා රසිකයන් පිනවීම ගැන හිතන තිලක්ට ඉක්මන් සුවය සරසවිය අපි ප්‍රාර්ථනා කරනවා.

ප්‍රියන්තට තරු පෙනෙයි

ප්‍රියන්ත සෙනෙවිරත්න පසුගිය දවසක උත්සවයකට සහභාගි වුණා.

මේ වෙලාවේදී ප්‍රියන්ත ළඟට ඔහුගේ රසිකයෙක් ආවා.

‘ආ ප්‍රියන්ත මහත්තයා . . . අපේ පවුලේ අය හැමෝම ඔයාට කැමැතියි. අපේ අම්මා, නංගි, මගේ දරුවෝ මේ හැමෝම ඔයාට ගොඩක් කැමැතියි.

ප්‍රියන්ත ඔහුගේ කියවීමට ඉඩ දෙමින් ඔහේ අහගන හිටියා.

ප්‍රියන්තට මේ කියවීම එපා වුණා. ප්‍රියන්ත ගත් කටටම ඇහුවේ ‘ඇයි මට ඔයාලා ඔය තරම් කැමැති’ කියලායි.

හානේ ඔයා අනිත් නළුවන්ට වඩා කැත නිසා අනේ . . . කියමින් ඔහු ප්‍රියන්ත ළඟින් නික්ම ගියා.