වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ටෝනි රණසිංහ මෙගා සමඟ එක්වෙයි

ටෙනි ෆොටෝ අන්තර් ජාලයට එක් වෙයි

www.tennyfoto.com

සරසවිය ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ප්‍රථම සේයාරූ දැක්ම ‘සිහින සේයා’ පසුගියදා ජාතික කලා භවනේදී පැවැත්විණ. එහිදී ටෙනීගේ නිල වෙබ් අඩවිය නිළි රැජන මාලිනිය අතින් අන්තර් ජාලයට මුදාහල මොහොතයි මේ.


 

ටෝනි රණසිංහ මෙගා සමඟ එක්වෙයි

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙගා මුහුරත් උළෙලදා දමයන්ති ෆොන්සේකා සාම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල් වූ මොහාතයි මේ. නිෂ්පාදක තුසිත හල්ඔළුව, ප්‍ර‍්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් පසෙකින්.

සහය අධ්‍යක්ෂ දමින්ද මඩවල කුලුඳුලේ පුංචි තිරය වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන ‘මෙගා’ ටෙලි සිතුවමෙහි රංගනයට ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ එක් වී ඇත.

ඔහු සමඟ දමයන්ති ෆොන්සේකා, ගිහාන් ප්‍රනාන්දු, සුලෝචනා වීරසිංහ, ඩිල්ෂානි පෙරේරා, අරවින්ද දොඹගහවත්ත, නෙතලි නානායක්කාර, අජිත් ක්‍රිෂාන්ත ද සේරම්, සමන්ත මංජුල දසුන් පතිරණ, ලසන්ත උඩුකුඹුර , මධුශාන් නානායක්කාර, සමිත සුද්ෂ්වර චාමර ප්‍රියදර්ශන, දීපාල් ගුණරත්න, ජයන්ත මුතුතන්ත්‍රි, චන්දන බණ්ඩාර, මංගල ප්‍රනාන්දු, සුනෙත් ශාන්තප්‍රිය, ජයතිස්ස අතුළසිරි ඇතුළු නළු නිළියන් ගණනාවක් මෙගා රංගනයෙන් හැඩ ගන්වති. හරසුන් මෙගා නාට්‍යයක් තැනෙන අන්දම සහ ඉන් සිදුවන අනිසි ප්‍රතිවිපාක ඇසුරෙන් ‘මෙගා’ නාට්‍ය නිර්මාණය වෙයි. අසංක සායක්කාර මෙහි තිර රචකයාය.

තුසිත හල්ඔලුව, ඉන්දික සමරවීර සමඟ සේන සූරියප්පෙරුම මෙගා නිෂ්පාදනය කරයි. මෙගා මේ වන විට රූගැන්වෙමින් පවතියි.


 

අනුරාලෝකය 4 වැනිදා සිට කලා භවනේදී

ප්‍රවීණ චිත්‍ර ශිල්පි අනුර ශ්‍රීනාත්ගේ 33 වසරක් පුරා ඇඳි සිතුවම් රැගත් ‘අනුරාලෝකය නිර්මාණ දැක්ම ලබන අගෝස්තු මස 2, 3, 4, 5 යන දිනයන්හිදී පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ, ජාතික කලා භවනේදී පැවැත් වේ.

චිත්‍ර ශිල්පි පී. ඒ. ලීලාරත්නගේ සහායෙන් දැන හඳුනා ගත් කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා මහතා හරහා 1980 වසරේදී සුහද නම් චිත්‍ර කතා පත්‍රයේ ශිල්පියෙක් ලෙස අනුර ශ්‍රීනාත් චිත්‍ර කතා ක්ෂේත්‍රයට එක් විය. උපාලි පුවත්පත් සමාගම ආරම්භයත් සමඟ එහි මුල්ම වෘත්තිකයන් අතරට චිත්‍රමිත්‍ර නම් චිත්‍ර කතා පත්‍රයේ චිත්‍ර ශිල්පියෙකු ලෙස එක්වන අනුර චිත්‍රකතා ප්‍රකාශන විශාල ප්‍රමාණයක් හරහා අති විශාල චිත්‍ර කතා නිර්මාණ ගොන්නක් පාඨකයන්ට තිළිණ කිරීමට ද සමත් විය.

අනතුරුව වෙළෙඳ චිත්‍ර ප්‍රචාරණ කලාවට යොමුවන අනුර ශ්‍රීනාත් ප්‍රමුඛ පෙළේ ප්‍රචාරණ ආයතන කිහිපයකම සේවයෙන් අනතුරුව 1990 වසරේදී නිදහස් චිත්‍ර ශිල්පියෙක් ලෙස තම කලා ගමනේ ඉදිරිය පෙළගස්වා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අතින් නිර්මාණය වූ අලංකාරවත් චිත්‍ර රාශියකින් අනුරාලෝකය විචිත්‍රවත් කෙරේ.


මලී නැවතත් ප්‍රධාන චරිතයට

හිරු තනි වෙලා අහසේ වැඩ අරඹයි

යොවුන් අධ්‍යක්ෂ සම්පත් ශ්‍රී රෝෂන්ගේ නවතම ටෙලි සිතුවමෙහි මුහුරත් උළෙල පසුගියදා පිළියන්දලදී පැවැත්විණ. හිරු තනි වෙලා අහසේ යනුවෙන් නම තබා ඇති එය සුන්දරත්වයෙන් පිරුණු ආදර අන්දරයකි.

සංජය මොරගොල්ල සමඟ සමාධි අරුණි ඡායා මෙහි ප්‍රධාන චරිත මවති.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, ජනක කුඹුකගේ, කුසුම් රේණු, මීනා කුමාරි, නිරෝෂා හේරත්, නිපුනිකා හේවාගමගේ සහ බුවනි චාපා හිරු තනි වෙලා අහසේ රංගනයෙන් හැඩගන්වති.

මෙහි තිර රචනය රිහාන් රවීන්ද්‍රගේය. නිෂ්පාදන සම්බන්ධීකරණය නුවන් ජයසේකරගෙනි. පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂවරයාය. ශෙහාන් ගලහිටියාවගේ ගී පද රචනයට රංග දසනායක සංගීතය මුසු කරයි. තාරක අධිකාරි අංග රචනයෙන් ද, තරංග නිරිඇල්ල සහාය අධ්‍යක්ෂණයෙන් සහ එච්. එම්. සුගත් සිසිර මාධ්‍ය සම්බන්ධීකරණයෙන් මෙයට එක් වෙති.

හිරු තනි වෙලා අහසේ ද මීඩියා හෝම් හි ඉදිරිපත් කිරීමකි. නිෂ්පාදනය නුවන් සංජීවගෙනි.

- ප්‍රසාද්

ඡායා - ඉන්දික ප්‍රභාත්