වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල් නෙල්සන් ගේ ගායනා සමඟ

නිහාල් නෙල්සන් ගේ ගායනා සමඟ

අ. ත. ක. ස. හැත්තෑ හය -7 දා

අගනුවර තරුණ කවි සමාජය සංවිධානය කරන අතකස අභිමන් හැත්තෑ හය වැනි සංවත්සර උළෙල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 07 වැනිදා සවස 2.30 ට කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මාපලගම සේන ගනේවත්ත, ගුණවංශ අල්ගම, කරුණාරත්න අරන්දර, කුරුවිට පියසීලි, ලයනල් ගුණසිරි, නන්දා කොළඹගේ, ඇඹරලුවේ අනුර සහ මේධා රත්නායක යන කවීන්ගේ කවි මිහිරෙන් එදින සභාව කුල්මත් වනු ඇත. චන්දන වික්‍රමසිංහගේ නර්තන වින්‍යාසයෙන් විචිත්‍රණය වෙන මෙදින ගායනයෙන් නිහාල් නෙල්සන් සමඟ විශාරද දිමිත්‍රා රත්නායක එක්වේ.

සංගීතය රාජ්‍ය සංගීත කණ්ඩායමෙනි. අතකස අභිමන්හි ප්‍රධාන සංවිධායක මඩුල්ල වශයෙන් බොරලැස්ගමුවේ ප්‍රණීත් පෙරේරා (සභාපති), ආසිරි විජේසේකර, ශාස්ත්‍රපති නන්දන පළිහක්කාර, නාකුළුගමුවේ ගුණරත්න, සරත් විමලසිරි, පාලිත හෑගොඩ සහ උපුල් සිල්වා කටයුතු කරති.

‘ජොලි වැඩකාරයෝ’වැඩ නිමයි

සහය අධ්‍යක්ෂවරයකු වූ නිහාල් ප්‍රේමචන්ද්‍ර අධ්‍යක්ෂණය කරන ජොලි වැඩකාරයෝ ඩී. වී.ඩී සිනමාපටයේ වැඩ කටයුතු මේ දිනවලදී නිම වෙමින් පවතියි.

නිහාල් ප්‍රේමචන්ද්‍ර, නිරෝෂනී ප්‍රේමවංශ, මහේන්ද්‍ර වීරරත්න, රිද්මා තරංගනී, රුවන් හේවගේ, නිලංගනී පෙරේරා, සරත් ඉඳුරුවගේ, සඳුනි විතාරණ, කපිල ප්‍රේමවංශ, රංජිත් තිලකරත්න, බන්දුල ජාගොඩ, මහේෂ් පතිරණ, ගුණදාස කටුවාවල, අජිත් ප්‍රේමකාන්ත මෙහි රංගන දායකත්වය සපයති. කැමරාකරණයෙන් සහ සංස්කරණයෙන් ශාන්ත සෙනෙවිරත්න, අංග රචනයෙන් ශාමනී දමයන්ති ද, නිෂ්පාදනයෙන් කපිල ප්‍රේමවංශ ද මීට එක් වී තිබේ.

කතාව, දෙබස්, තිර රචනය නිහාල් ප්‍රේමචන්ද්‍රගෙනි. නිහාල් , පෙම් රජදහන, දුර්ගා වැනි සිනමාපටයන්හි සහය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කොට ඇත.

ඉසුරු විමන ඇරැඹි දා

මොහාන් නියාස්ගේ නවතම ටෙලි සිතුවම

දමිතා අබේරත්න භාග්‍යා වෙයි

මොහාන් නියාස්ගේ නවතම ටෙලි සිතුවම වන ඉසුරු විමනෙහි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ ෆින්ගාරා හෝටල පරිශ්‍රයේදී පැවැත්විණ.

දමිතා අබේරත්න මෙහි භාග්‍යා ලෙස රඟන්නීය. බුද්ධික ජයරත්න, සීතා නානායක්කාර, චංචලා වර්ණකුලසූරිය, ලක්ෂිකා ෆොන්සේකා, සරත් චන්ද්‍රසිරි, ලියෝනි කොතලාවල, සඳුන් විජේසිරි, රූපා ගෝමස්, නිල්මිණි කෝට්ටේගොඩ, සුගත් ජානක ඉසුරු විමනෙහි නළු නිළි කණ්ඩායමයි.කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ගයනි සතරසිංහ අංග රචනා ශිල්පිනියයි. රොෂාන් ජයසුන්දර සහය අධ්‍යක්ෂවරයාය. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කරයි.

ඉසුරු විමන ඉරාජ් ගුණසේකරගේ නිෂ්පාදනයකි. අධ්‍යක්ෂණය සේම කතාව, දෙබස්, තිර රචනය ද මොහාන් නියාස්ගෙනි. මිලා, සිතට වහල්වීමි, සීතාම්බර සළු, සිහිනයක් පාට පාටින් මොහාන් මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි සිතුවම් අතර වේ.

රුහුණු රටේ කුමරු 04 දා

සඳන් ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක කුමාරනායක එදිරිසිංහයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘රුහුණු රටේ කුමරු’ මෙම මස 04 වැනිදා දවස පුරා ගාල්ල හක්මන කෝංගල මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

නාමල් රාජපක්ෂ සහ සනත් ජයසූරිය යන මහත්වරුන් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගිවීමට නියමිතය.

ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් දිග හැරෙන මෙම විචිත්‍රවත් ප්‍රසංගය තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ඉදිරිපත් කිරීමකි.

‘ආදරයට විලංගුවක්’ 4 දා ලුම්බිණියේදී

අජිත් හේමසිරිගේ ‘ආදරයට විලංගුවක්’ වේදිකා නාට්‍යයේ විසි පස් වැනි වර්ෂ පූර්ණ දැක්ම මෙම මස 04 වැනිදා සෙනසුරාදා හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

දයාසිරි හෙට්ටිආරච්චි, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි,නදීශා වික්‍රමරත්න, හර්ෂ සිරිමාන්න, එල්මෝ ප්‍රසන්න, ජගත් කරුණාසේන, ඩික්සන් ජෙරාඩ්, ඩැනී සමරවීර, විජේසිරි මෙන්ඩිස්, ලලිතා රංජනී, මානෙල් ගුරුගේ, අජිත් හේමසිරි යන රංග ශිල්පීහු රංගනයෙන් දායක වෙති.

‘ආදරයට විලංගුවක්’ හි ගී රචනා කරන ලද්දේ හිමාලි මංගලිකා පතිරණ වන අතර සංගීතය අසික කුමාර ගෙනි. අංග රචනය අජිත් හේමසිරිගෙනි. - තිලානි ශානිකා

පද්‍ය සාහිත්‍ය විශේෂ කලාපය 7 දා දොරට වඩී

රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සම්පාදිත සාහිත්‍ය අර්ධ වාර්ෂික පද්‍ය සාහිත්‍ය විශේෂ කලාපය මෙම මස 07 වැනිදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ශ්‍රී ලංකා ජාතික පුස්ථකාල සේවා හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මෙදින ප්‍රධාන ආරාධිතයාය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහි මුලසුන හොබවන අතර මහාචාර්ය ආනන්ද තිස්ස අල්විස්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, බුද්ධදාස ගලප්පත්ති, සුනිල් ගුණවර්ධන යන විද්වත්හු මෙයට සහභාගි වෙති. මෙහි මුඛ්‍ය දේශනය මහාචාර්ය සමන්ත හේරත් ගෙනි. ශෂිකා නිසංසලා සහ ලක්මිණි උඩවත්ත පද්‍ය ගායනා දායකත්වයෙන් දායක වෙති.

මෙම උත්සවය සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සංවිධානයකි.

සෙනසුරු මාරුව ඕස්ට්‍රේලියාවේ තිරගත වෙද්දී නිෂ්පාදක රංජිත් අභාවප්‍රාප්ත වෙයි

සෙනසුරු මාරුව සිනමාපටය ඕස්ට්‍රේලියාවේ තිරගත කරන්නට ගොස් සිටියදී එහි නිෂ්පාදක

රංජිත් ජයසූරිය හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු මීට ප්‍රථම රන්කෙවිට i, ii, බහුභාර්යා, ගිනි අවි සහ ගිනි කෙළි, සෙනසුරු මාරුව ඇතුළු චිත්‍රපට ගණනාවක් තිලිණ කරන්නට දායක වූ නිෂ්පාදකවරයකි. අරුත්බර සිනමාපට අපට තිලිණ කරන්නට දායක වූ ඔහුට නිවන්සුව ලැබේවායි සරසවිය අපි පතමු.