වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ජෝන් ද සිල්වා කැන්ටිමට මොකද වුණේ?

නිරන්තරයෙන්ම වේදිකා නාට්‍ය, සම්මාන උත්සව ආදිය පැවැත්වෙන අතර, එයට දිනපතා එන පිරිස ද විශාලය. එහෙත් එහි පවස නිවා ගැනීමට හෝ සුළු ආහාරයක් ගැනීමට මෙහි ආපන ශාලාවක් (කැන්ටින් එකක්) නැත. එම ආහාර අවශ්‍යතාවයට අප ඇස්වාට්ටුව හන්දියටම යා යුතුය. එහෙත් ලැබෙන කෙටි විරාමයේදී එය කළ නොහැක.වියදම ද කාලය ද ප්‍රශ්නයකි. ජෝන් ද සිල්වා රඟහල් භූමියේම සුළුවෙන් හෝ කුඩා ආපන ශාලාවක් ඇරැඹියොත් එය ප්‍රේක්ෂක අපට මහත් අස්වැසිල්ලකි.

මොරටුව, කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්

සිහින පුරය හරවත්ය

සතියේ දින පහ පුරාවටම සවස 7.30 ට සිරස නාලිකාවේ විකාශය වන සිහින පුරය ටෙලි වෘතාන්තය හරවත්ය. නාගරික මිනිස්සුන්ගේ ජීවන රටාවන් තුළ පවතින ගති සොභාවයන් මනා ලෙස කැටි කොට එන මෙය ගිරිරාජ් කෞෂල්‍යගේ කතා සංකල්පයකි. ඔහුගේ රංගනයත් මෙම ටෙලි නාට්‍ය හරය බව මගේ හැඟීමයි. විශාල නළු නිළි පිිරිසක් කතාවට උචිත ආකාරයට මෙහෙය වන රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය ද මෙහිදී කැපී පෙනෙයි. හාස්‍ය නම් සැබෑ හාස්‍යය ඇත්තේ මෙවැනි ටෙලි නාට්‍ය තුළය. අවසන කිව හැකි වන්නේ සිහින පුරය මරේ මරු යන්නයි.

අජිත් ලක්මාල් - මීගමුව.

දයාබර ප්‍රේමකීර්ති ගැන

කිසියම් පුද්ගලයකුගේ නාමයෙන් පාරක් නම් කරනවා නම් ඒ මියගිය පසුවයි. බලපං මචං මං මැරුණේ නැහැ. ඒත් මගේ නමින් පාරක් තියෙනවා. අපි දැන් යන්නේ ඒ පාරේ තමයි. එදා එහෙම කිව්වේ බොරැල්ල කොටා පාරෙහි ගමනක් යන අතරතුරදීය.

එයට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ මාධ්‍ය මිතුරන් මෙන්ම සමහර රසිකාවන් ඔහුව ඇමතුවේ කොටා යන නමිනි. ඔහුට එය ප්‍රියජනක නමක් වූයේය. කරුණාරත්න අබේසේකරයන්ගෙන් පසුව ලංකාවේ වැඩිම ගී ප්‍රමාණයක් රචනා කළේ ඔහුය. ඒවා බොහොමයක් රචනා කළේ කල්යල් බලා නොව ක්ෂණිකවය.

ඒ පදවැල් සිතුවිලිවල තිබුණේ මිණි කැටවන් අපූරු අදහස්. එදා ඔහු දිග හරින ලද සිගරට් පෙට්ටියක ලියූ බැහැයි කියල බැහැයි කියලා බෑ නම් කාටුන් ළමා ගීතය ළමා ළපටි කොයි කාටත් ඉතාමත් ආදර්ශවත් ගීතයකි. ප්‍රේමකීර්ති ජීවයෙන් සමුගෙන වසර 22 ක් වුව ද ඔහුගේ නාමයෙන් අපට ඉතිරි කළ නිර්මාණ සැමදාමත් අප අතරය.

ලක්ෂ්මන් රණසිංහ- වත්තල.

විමුක්ති චත්‍රක්ට ප්‍රණාමය

ශ්‍රී ලාංකික සිනමාකරුවකු විදේශීය රටක විශේෂ ආරාධනාවක් උඩ ඉන්දියාවේ බෙංගාල සිනමාවේ චත්‍රක් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එම චිත්‍රපටය ඉන්දියාව නියෝජනයෙන් කෑන්ස් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට වරම් ලැබීම ගැන මාගේ ප්‍රණාමය එහි අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරට පිරිනමමු.

කෑගල්ල තටාකය පාරේ - තිලකරත්න විල්වල

ඇන්ජි වැජඹේවා

නන්දන උයනේ ජනති වන

මියුරසින් ගී ගැයූ ඔබේ ගී සර

අප හද තුළ

ආදරය මුසු හැඟීම්

උද්දීපනය කරන බව නොරහසකි

සිංහල සිනමා ගිරි ශිඛරය මතින් වෑහෙන

ගී නදියක උල්පත වන්නේ ඔබයි

ඔාබ් මෘදු හඩින් ගැයූ ගීත

දහස් ගණන් රසික රසිකාවන්

ආදරයෙන් වැළඳ ගත් බව සැබෑය

ඔබේ හඬ මෙන්ම සුහදශීලිත්වය

වචනවලට පෙරළිය නොහැක

ඇන්ජලින් නොහොත් අපේ ඇන්ජි

ඔබේ හඬ මේ ලක් අඹරේ

සදාකල් වැජඹේවි.

කසුනි නදීකා

පානදුර.

ගයනවා නම් ගයන්න

නවක ගායික ගායිකාවන් සජීවි ප්‍රසංගවලදී තැටියක් ධාවනය කොට ගීිතයේ වචනවලට කට සෙලවීම අනුමත කළ නොහැක. ගයනවා නම් සජීවීව ගයන්න. එහෙම නොවන අය ගායකයන් කියා අප පිළිගන්නේ නැහැ.

නුවන් ධර්මවර්ධන

කුරුඳුවත්ත.

නව පරපුර මොට වෙලාද?

ඉස්සර තරම් උසස් නිර්මාණකරුවන් බිහි නොවන්නේ ඇයි ද යන්න මට සිතා ගන්න බැහැ. අපේ නව පරපුරේ අය දැනුමෙන් මොට වෙලාද මන්දා.

කරුණාරත්න නිමල් ශාන්ත

හෝකන්දර.