වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




පාන්දර යාමයේ අමරදේවයන් සරස්වතී අහිනන්දන ගීතය ගායනා කරයි

පාන්දර යාමයේ අමරදේවයන් සරස්වතී අහිනන්දන ගීතය ගායනා කරයි

පසුගිය සතියේ ඉතිරිකොටස

ඉන්දියානු චිත්‍රපට සඳහා නතු වී තිබූ දේශීය සිනමා කර්මාන්තය එයින් බේරා ගැනීමට සරසවියෙන් විමලසිරි පෙරේරා මහතාවිශාල කාර්යභාරයක් ඉටු කළේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවය.සත් සමුදුර චිත්‍රපටය ප්‍රදර්ශනයේදී ඔහු මේ කාර්ය මැනවින් කළ ආකාරය අදත් මට සිහිපත් වේ.

 

දේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට පටන් ගන්නා විට දකුණු ඉන්දීය එම්. ජී. ආර්.. සිවාජි ගනේෂන් රඟන චිත්‍රපටයක් ගෙනවිත් ප්‍රදර්ශනය කරන්නට තරම් එවක චිත්‍රපට සමාගම් උත්සාහ කළේ දේශීය සිනමාවට පහර ගහන්නටය. මෙවැනි කටයුතුවලදී විමලසිරි පෙරේරා සරසවිය හරහා සුවිශාල කාර්යභාරයක් ඉටු කෙරිණි.

එදා සරසවියේ ස්ථිර සාමාජිකයන් වූයේ විමලසිරි පෙරේරා මහතා, ධර්මදාස බොතේජු, එඩ්මන්පෙරේරා, අජන්තා රණසිංහ, ආර්. ඩී. ගුණරත්න, ලක්ෂ්මන් වික්‍රමසිංහත් පමණි. රෙජී බුත්සිංහල, ක්‍රිස්ටි පෙරේරා, ඩී. බී. ලියනගේ, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සෝමාදේවි පරණයාපා ආදී බොහෝ දෙනෙක් සරසවියට සම්බන්ධ වී සිටියේ නිදහස් ලේඛකයන් හැටියටය. රාජා ටී. බස්නායක, තලංගම ජයසිංහ ආදී තවත් බොහෝ දෙනෙක් ලේක්හවුස් ආයතනයේ වෙනත් පුවත්පත්වල රාජකාරි කරන අතරේ සරසවියට උදව් ලබා දුන්නෝය.

මම ද සරසවියේ ස්ථිර සාමාජිකයකු නොවූනෙමි. ඊට ප්‍රධාන හේතුව වූයේ නිදහස් ලේඛකයකු වීම ආර්ථික අතින් වාසිදායක වූ බැවිනි. එදා ස්ථිර මාධ්‍යවේදියකුට ගෙවනු ලැබුවේ රුපියල් දෙසිය හතළිහකි. එහෙත් වෙනත් ඕනෑම පත්තරයකට ලියා පළවන ඕනෑම ලිපියකට මුදල් ගෙවනු ලැබීය.

අමරදේවයන්

එදා කර්තෘ කෙනකුට නොලැබෙන මුදලක් අපි ස්වාධීන කෙනෙක් ලෙස ලබා ගත් හෙයින් ස්වාධීන කෙනෙක් හැටියට සිටීම අපිට වාසිදායක විය. පසු කලෙක පරිපාලනය මඟින් අපිට සීමා කිරීම් දැමීමත් සමඟ මා සිළුමිණ පුවත්පතට ස්ථිර සේවයට එක් වුණෙමි. ඒ දවස්වල මා නැවතී සිටියේ පංචිකාවත්තේ අබේසිංහාරාම පාරේ නිවසකය. පසු කලෙක අපේ සහයට රොහාන් පෙරේරා, අර්නස්ට් වඩුගේ, ඒ. ඩී. රංජිත් කුමාර ද එක් විය.

මාගේ පළමු මාධ්‍ය චිත්‍රපට දැක්ම සඳහා මා ගියේ රොක්සි සිනමා ශාලාවටය. ඒ ගියේ ද ලක්ෂ්මන් වික්‍රමසිංහයන් සමඟය. විමලසිරි පෙරේරා මහතා කවුරුන් හෝ යන වැඩකට පුරුදු වීම සඳහා අපව ද ඒ යන අය සමඟ යැව්වේය. නූටාන් ලංකාවට පැමිණිදා ඇයත් සමඟ සාකච්ඡා කිරීම සඳහා මාව පිටත් කරනු ලැබුවේ ආර්. ඩී. ගුණරත්න සමඟය. එදා නූටාන් අප සමඟ කිව්වේ ඇගේ නම නූතන් බවයි. ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ කරංජියා පැමිණි දවසේ ද මට ඔහුත් සමඟ සාකච්ඡාවක් සඳහා යාමට ද මට අවකාශ උදා විය.

පුංචි කාලයේ පටන් මම සිනමාවට ඇලුම් කළෙමි. බොහෝ විට ලෝක සිනමාව කෙරෙහි මගේ නැඹුරුව වැඩි විය. මා නිතර පොත පත කියවීම හා අලුත් තොරතුරු රැස් කර ගැනීමට පුරුදු වී සිටියෙමි. මා අතින් සරසවියට ආ පසු සිනමා සිත්තම් නමින් ලෝක සිනමාවේ අධ්‍යක්ෂවරුන් පිළිබඳ රූප රාමු සහිත ලිපි මාලාවක් මා සරසවියට ලිව්වෙමි.

එය බොහෝ සේ ජනප්‍රිය විය. ලෝකයේ සිනමාව භාවිත කරන විධි පිළිබඳව ද මම මෙහිදී සාකච්ඡා කළෙමි. සරසවිය කතු මඬුල්ලේ මා නොසිටියොත් මා සිටිනුයේ පුස්තකාලයේය. ඒ මා නිතර අලුත් දැනුම සොයා පොතපත පරිශීලනය කළ නිසාය. මාත් සමඟ ලේක්හවුස් ආයතනයේ සියලුම ප්‍රධාන පත්තරවල කර්තෘවරුන් සුහදතාවයක් ගොඩ නඟා ගෙන තිබුණි.

සුනිල් ශාන්ත

එයින් අපි දෙපළටම වාසි ගෙන ආවේය. මා දන්නා අලුත් තොරතුරු ඔවුන්ට දීමත්, ඔවුන්ට ලැබෙන සඟරා මට කියවීමට ලැබීමත් එයට හේතුව විය. ඉංග්‍රීසි පත්තරවල කර්තෘවරුන්ට ලැබෙන පොතපත පුස්තකාලයට යැවීමේ පුරුද්දක් තිබිණි. එය ඔවුන් මටත් කියවන්නට දී මා හරහා කියවීමෙන් පසු පුස්තකාලයට ලබාදීමට කටයුතු පවා සිදු කර තිබුණි. මා ඒවා කියවීමෙන් ලබන අතිරේක දැනුම අලුත් විශේෂාංග සඳහා ලොකු ආශිර්වාදයක් කර ගත්තේය.

ලේක්හවුස් ආයතනයේ සාමුහික ප්‍රයත්නයක මංගල්‍යයක් වූ සරසවිය සම්මාන උළෙල විචිත්‍රවත් වූයේ බොහෝ පිරිසකගේ දායකත්වයෙනි. මුල්ම සම්මාන උළෙල පැවැත්වෙන අශෝක සිනමාහලේ එදා ජයවිලාල් විලේගොඩ, එල්මෝ ගුණරත්න, වාගිස්ට එකතුව නළු නිළි පෙරහැරක් සංවිධානය කළෙමු.

අයිවෝ ඩෙනිස්

මා සිටි වකවානුවේ පැවැති සරසවිය සම්මාන උළෙල එකක් හැරුණු කොට අනෙක් සියල්ලටම මා සහභාගි වුණෙමි. එකම සම්මාන උළෙලක් සඳහා මා සංවිධාන කටයුතු සඳහා දායක වුව ද සම්මාන උළෙල පැවතිදා මට තදබල ලෙස උණ ගැනීම නිසා එයට සහභාගි වීමට නොහැකි විය. එදින සම්මාන උළෙල අවසන් කර සරසවියේ සියලු දෙනා මගේ ගෙදරට ආවේ මට කුමක් වූවාදැයි සොයා බලන්නටය.

සරසවිය සම්මාන උළෙලේ මට අමතක නොවන සිද්ධීන් දෙකක් ඇත. ඉන් එකක් වනුයේ සරස්වතී අභිනන්දන ගීතය පටිගත කළ අවස්ථාවය. ලංකා චිත්‍රාගාරයේ මෙහි රෙකෝඩින් සිදු කෙරිණි. ඒ සඳහා සරසවියේ උදව්කරුවන් ලෙස මමත් කුමාරදාස වාගිස්ටත් සහභාගි වුණෙමු. පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය පටිගත කළේ පාන්දර යාමයේය.

එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුට මේ ගීය ගායනා කිරීම සඳහා අවශ්‍ය හඬ ලබා ගැනීමට ඔහු මැදියම් රැයේ සිට චිත්‍රාගාර භූමියේ එළිමහනට වී සිටියේය. ඒ රාත්‍රී කාලයේ පටන් වැටෙන පින්නේ තෙමීම සඳහාය. ඔහුගේ පාළුව මකාලන්නට අපිට මධුවිත ටිකක් ගෙනවිත් දීමට සිදු විය. පාන්දර යාමයේ පින්නේ තෙමී සිටි අමරදේවයන් සරස්වතී අභිනන්දන ගීතය ගායනා කර පටිගත කිරීම් අවසන් වන විට පසුදා එළි වී තිබුණි.

තවත් සරසවිය සම්මාන උළෙලකදී අමරදේවයන් ගීත ගැයීම ප්‍රතික්ෂේප කළේය. එයට හේතු වූයේ උළෙලේ සංගීතය සපයන පිරිසත් සමඟ වූ අමනාපකමක් විය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය.

එතුමන්ගේ ප්‍රියතම ගායකයා වූයේ සුනිල් ශාන්තයන්ය. අමරදේවයන්ගේ නොපැමිණීමත් සමඟ වන අඩුව මකා ගැනීමටත් ප්‍රධාන ආරාධිතයාගේ කැමැත්ත අනුවත් කටයුතු කිරීමට සිතූ විමලසිරි පෙරේරා මහතා සුනිල් ශාන්තයන් සරසවිය සම්මාන උළෙල සඳහා ගෙන්වා ගැනීමට සැලසුමක් සකස් කළේය.

කිසිදු දිනක ප්‍රසංග වේදිකාවකට ගී ගැයීමට නැග නොසිටි සුනිල් ශාන්තයන් මේ සඳහා ගෙන්වා ගැනීමේ කටයුත්තට ඔහුව කැමැති කරවා ගැනීමට භාර කළේ මටත්, එස්. සුබසිංහ මහතාටත් ඩී. සී. කරුණාරත්න මහතාටත්ය. අයිවෝ ඩෙනිස්ගේ ගෙදරට ගොස් ඔහුත් ගෙන අර්නස්ට් පෝරුතොට පියතුමන් සමඟ සුනිල් ශාන්තයන් බැහැ දැකීමට ගොස් ඔවුන් මාර්ගයෙන් සුනිල් ශාන්තයන්ව කැමැති කරවා ගතිමි. සුනිල් ශාන්තයන් එදා වේදිකාවේ ගීත ගැයීමට කැමැති වූයේ අඩ අඳුෙර්ය.

ඒ අනුව අපි ඔහු කේන්ද්‍ර කොට එක් ලයිට් එකක් පමණක් දමා එදා වේදිකාවේ ඔහු ලවා ගීත ගායනා කර ගතිමි. එදා සුනිල් ශාන්ත අඩ අඳුරේ එසේ ගායනා කළ අවස්ථාව ඔහුගේ පළමු හා අවසන් වේදිකා ගී ගායනය විය. එදා සුනිල් ශාන්තයන්ගේ මධුර ගී හඬින් ප්‍රමුදිත වූ ඩඩ්ලි සේනානායක මහතා සුනිල් ශාන්තයන් ගී ගයා අවසන් වූ පසු වේදිකාවට ගොඩ වී ඔහුව බදාගෙන සතුට ප්‍රකාශ කළ අයුරු අදටත් මගේ මතකයේ ඇත.

මගේ පත්‍ර කලා ජීවිතයේ මුල් ගුරුවරයා වූයේ විමලසිරි පෙරේරාමහතාය. ඒ හා සමානව මගේ පුවත්පත් කලා ජීවිතයේ තිඹිරි ගෙය වූයේ සරසවිය පත්තරයයි. සරසවිය මට සරසවි භවනක්ම විය. මගේ ලේඛන ශෛලිය, භාෂා හැකියාව මේ හැම දෙයක්ම මට ලැබුණේ සරසවියෙන්ය. විමලසිරි පෙරේරාමහතා කතු පදවිය හෙබ වූ යුගය බොහෝ රසවතුන් රසවතියන් සරසවිය වටා එක් කළ යුගයක් විය.

ප්‍රවීණයන් මෙන්ම නවයන්ට ද ඔහුගේ නායකත්වය ලැබුණේ එක හා සමානවය. තරුණ සිතුම් පැතුම් තේරුම් ගෙන එදා අප වැනි නවකයන්ට දුන් මාර්ගෝපදේශකත්වය මිල කළ නොහැක. සරසවියෙන් මගේ ජීවිතයට ලැබු දැනුම අපමණය. සරසවියට වසර පණහක් පිරුණ ද එදා මා සරසවියෙන් ලැබූ ජවය අදත් මගේ නිර්මාණකරනයේ වස්තු බීජයයි.