වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනීගේ චිත්‍රපට නාම ගීයක් වෙයි

මාලිනීගේ චිත්‍රපට නාම ගීයක් වෙයි

හෙළ නිළි රැජන මාලිනියට උපහාර පිණිස එතුමිය රඟපෑ චිත්‍රපට නාම එකතු කොට තැනූ රූප රචනා සහිත ගීයක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති චාම් උත්සවයකදී එළි දුටුවේය.

අර්ජුන බාලසූරිය සහ විනෝජ් බාලසූරිය මේ සඳහා හඬ මුසුකොට තිබේ.

රචනය ජනක් අම්බලන්ගොඩගෙනි. මෙය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයකි.

පහත සඳහන් වනුයේ එම ගීතයේ පදමාලාවයි.

යෞවනයට ඔබ සොඳුරු යුවතිය

හද කුල්මත් කරනා

වසන්තයට ඔබ මල් පොකුරක් විය

නෙත් යුග මන බඳිනා

දිලින්දෙකුට ඔබ සෙනෙහෙ ගඟක් විය

සිතගත ඔප කරනා

කලා ලොවට ඔබ අග රැජිනක්මය

පොදු ජන සිත දිනනා

අම්මාවරුන්ගේ සුමනාවතියයි

පුරන් අප්පුගේ බණ්ඩාර මැණිකෙයි

නිර්මලාය ඔබ සිරි මැදුරේ විසූ

බික්කුණිය ඔබ උත්පලවණ්ණා

ගුරුතුමියයි ඔබ සුරංගනාවිගේ

බඹරු ඇවිත්හි හෙලන්ය ඒ දවසේ

මරු සිරාගෙ සිත සැනෙන් සසල කළ

රන් මැණිකේ ඔබ වේ මට පෙම් කළ

රිදී තිරයෙ නවකයින්

දිරිය මව දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ පැරැණ්නන්

දිරිය දුව දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ රසිකයින්

දිරිය කත දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ සැබෑ ගැහැනිය

අග රැජින දුටුවෙ ඔබෙන්


විජය කුවේණි 75

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය තිරගත වන්නට පටන් ගෙන දින හැත්තෑ පහක් සපිරෙයි. මේ වන විට එය අති සාර්ථක අන්දමින් රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වන බව එහි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.

මේ වන විට චිත්‍රපටයේ සමස්ථ ආදායම කෝටි එකොළහ ඉක්මවා තිබේ. ලක්ෂ නවයකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් විජය කුවේණි රසවිඳ ඇත.


වසන්ත කුමාර සමු ගනී

මුද්‍රා නාට්‍ය ශිල්පියකු මෙන්ම දක්ෂ නර්ථන ශිල්පියකු ද වන වසන්ත කුමාර අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු 93 ක් වූ ඒ මහතා අටදරු පියෙකි.

මනමේ, බෙරහඬ, සිංහබාහු එතුමාණන්ගේ නර්තන අධ්‍යක්ෂණයෙන් ඔපවත් වූ නාට්‍ය කිහිපයක් වන අතර කුඹුරු පණත, හිරෝෂිමා වැනි නාට්‍ය ඔහුගේ නිෂ්පාදනයන් වේ.

ඔහුගේ අවසන් කටයුතු ඉකුත්දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.