වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




පික්චර් පිස්සා පොත්ගුල දන් දෙයි

පික්චර් පිස්සා පොත්ගුල දන් දෙයි

පික්චර් පිස්සා මුල් පිටපත රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා වෙත එහි කතුවරයා විසින් පිළිගැන්වූ අයුරු. ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහතා ද පසකින් සිටී.

මම පික්චර් පිස්සෙක් මි. අපේ තාත්තා මා දෝෂ දර්ශනයට ලක් කරමින් මට පැවසූ නම මා පැළඳ ගත්තේ ආඩම්බරයෙනි. එහෙත් ඒ නමින් පසුගියදා පොතක් දොරට වැඩියේය.පොත මා ගැන නොවේ. එම පොත ලියැවුනේ මා (අප ) වැනිම පික්චර් පිස්සෙකු වූ සුනිල් මිහිඳුකුල අතිනි.එය සිනමාව හා වෙනත් කලා මාධ්‍යයන් පිළිබඳ සුනිල් ගේ ලිපි එකතුවකි.

මේ ලිපි එනමින් එයට පෙර සරසවිය,දිනමිණ. සහ සිළුමිණ පුවත්පත් වල පළවූයේය.මට ද ගුරුවරයකු වන සුනිල් කලකට ඉහත සරසවිය කතු පදවිය ද දැරුවේය. සුනිල් ගේ පික්චර් පිස්සා චිත්‍රපට පිළිබඳ විචාර පමනක් නොව ඒ පිළිබඳ ආදරණීය මතක සටහනක් ද වන්නේය.බුනුවෙල් ගේ විර්දියානා චිත්‍රපටය පිළිබඳ වරක ලියන සුනිල් ඊළඟ ලිපියක සඳහන් කරනුයේ කලකට ඉහත චිත්‍රපටයක් රූ ගත කරනු යැයි සිතා බලන්නට ගිය ගමනක් පිළිබඳ විස්තරයකටය.

එය වරක ඉතා ගැඹුරින් ද වරක වඩා සෝපාහාසාත්මක වද විග්‍රහ කරන්නට සුනිල් සමත් වෙයි. ගාමිණී ෆොන්සේකා රඟපාන චිත්‍රපටයක් රූ ගත කෙරෙන්නේයැයි දකින සුනිල් බස් රියෙන් බසියි.එහෙත් රූ ගත කරන චිත්‍රපටයක් නැත.සිදු වන්නේ මිනින්දෝරු කණ්ඩායමක් මැනුම් කටයුත්තක යෙදීමයි. ඒ චිත්‍රපට පිස්සන්ට වන අකරතැබ්බයන්ය. චිත්‍රපට පිස්සන් පිළිබඳව ඉංග්‍රීසියෙහි යෙදෙන ෆිල්ම් බෆ් යන්න පිළිබද පොත දොරට වැඩි දා අප හිතවත් ජැක්සන් ඇන්තනි ගැඹුරු විග්‍රහයක යෙදිණ.

චිත්‍රපට පිස්සන් වූ කලී අරුම පුදුම කොට්ඨාශයකි. ඔවුහු චිත්‍රපට තාරකාවලට පෙම් බඳීන්නේ දිවි පරදුවට තබමිනි.සිනමාකරුවන් පැත්තක දමා තිරය මත පතිත වන නළු නිළියන් ගේ තාරකා ගුණයෙන් මහත් කප්රුකක් හෙල්ලිය හැකි බව මුල් වරට ලොවට පෙන්වූයේ හොලිවුඩ් පුරවරයයි. සිනමා තාරකා සම්ප්‍රදාය ලොව ගොඩ නැගූ අමෙරිකාවේ අර්වින් තැල්බර්ග් සහ ලුවී බී.මේයර් දෙදෙනා එමගින් විපුල ඵල නෙලා ගත්හ.

හතලිස් ගණන් වල මෙරට තිර ගත වූ චින්තාමණී චිත්‍රපටයේ රඟපෑ නිළියට වහ වැටුණු අපේ සිනමා ලෝලින් ඇය සොයා දකුණු ඉන්දියාවට ගිය වග වාර්තා වෙයි.

අපේ මාලිනියට ගාමිණී ට විජයට වහ වැටුණු සිනමා ලෝලින් එමටය.සිනමා ලෝලින්ගේ සොඳුරු ආදරය හොඳ හිතින් වැළද ගන්නට කිසිවකු අසමත් නම් ඉක්මනින් සිනමාවෙන් සමු ගන්නට කෙනෙකුට සිදු වෙයි.තාරකාවක් කන බොන අන්දම ආදර කතන්දර ආදි බොහෝ දේ රස කර විකිණිය හැකි පුවත් ය.ඔවුනට පෙම් බඳීන සිනමා ලෝලි රසිකයන් පිළිබඳ අපූරු කතා එමටය. එහෙත් සුනිල් වැනි චිත්‍රපට පිස්සන් සෙස්සන්ගෙන් වෙනස් වනුයේ ඔවුන් සිනමාතරු වලට පමණක් නොව සිනමාකෘති වලටත් ඒ වායේ නිර්මාණකරුවන් ටත් පෙම් කරන බැවිනි.

එහෙත් සුනිල් මේ කෘතිය හරහා කියාපාන එක් ඇත්තක් නම් අග්‍රගණ්‍ය සිනමාකෘතින් රස විඳීන අතරතුර සිනමාව යනු පොදු ජන වින්දනය උදෙසා තැනෙන්නක් බැව් ද සැළකිය යුත් බවය.බොහෝ දෙනා සිනමාව වාණිජ සහ කලාත්මක යන දෙඅන්තයක ලා කෝදුවකින් මැන ගනිති.සුනිල් එහි ලා සාර්ථක වනුයේ ඔහු සම්භාවනීය සිනමා කරුවන් රැසකගේ නම් කටපාඩම් කර ගත් ලේබල් ප්‍රබුද්ධයකු නොවන බැවිනි.

එමෙන්ම මේ පික්චර් පිස්සා සිනමාව පමනක් නොව ගීතය නාට්‍යය සාහිත්‍ය ඇතුළු සෙසු මාධ්‍යයන් හි ද පෙම් බඳීන්නෙකු වෙයි.එබැවින්ම සුනිල් ගේ පික්චර් පිස්සා මා වැන්නන් අබිබවා සෙසු කලා මාධ්‍යයන් හි ඔහු විදි චමත්කාරය කියා පාන්නට සමත් වෙයි.සාමාන්‍ය පික්චර් පිස්සෙක් සහ සිනමා විචාරකයකු අතර ගොඩ නැගෙන වෙනස් කමට එය කදිම සාධකයකි. සිනමාකෘතියක් කියැවීමට සිනමාවම පමණක් සෑහෙන්නේ නැත. ඒ අර්ථය ඉස්මතු කර අප හමුවේ කියා පාන්නට සුනිල් තෝරා ගන්නා බස නිරවුල් එමෙන්ම රසවත්ය.

මුලින් පල වූයේ තීරු ලිපි පෙළක් ලෙස බැවින් ඒ සියල්ල කැටි කරනුයේ තවත් රූපකායන් රැසක් අපටම මවා ලන්නට ඉඩ තබමිණි.එමෙන්ම සිනමාව බැහැර කොට ගත් කළ එයට දායක වන අපූරු සහෘද මතක කතා පෙළක් එහි ඇතුළත්ය.සුනිල් සිනමාව පිළිබඳ ලියන්නට පටන් ගත් අවදියත් අද සිනමාව විදින ආකාරයත් අතර තිබුණේ බරපතල විපර්යාස වලට ලක් වන කාල පරාසයකි.එකල සිනමාව යනු බහුතර රසික සමූහයක් මැද උනුනුන් විඳ ගන්නා මාධ්‍යයකි.එහෙත් අද සිනමාව ගෘහ මෙවලමක් ලෙස පරිවර්තනය ව ඇත්තේය.

එදා සිනමාව විඳ ගත් යුත්තේ අදාල ප්‍රදර්ශකයා හෝ වෙනත් කිසිවකු විසින් ප්‍රේක්ෂක අපට තෝරා දුන් කළ ය.දකින රූපයේ ආලෝකය පාළනය වනුයේ අපට ඕනෑ හැටියට නොවේ. එහෙත් වත්මනෙහි සිනමාව තනිව තමන්ටම තෝරා ගෙන තමන්ටම නැරඹිය හැක්කේය.සුනිල් මේ ඇතැම් චිත්‍රපටයක් රස විදින්නේ ඔහුටම ආවේණික රොමැන්ටික් සිහිනයක් ගැලෙමිනැයි මම සිතමි.

ඒවායේ ඇතැම් අර්ථකතනයන් තමන්ගේම ඇතුළු හද ගැබ හෙළිදරව් කරන්නාක් වැනිය.එමෙන්ම සුනිල් වැනි විචාරක පරම්පරාවක් බිහි වීමේ රහස ද ඔහු නොදැනුවත්වම හෙළි කරන්නේ මේ ග්‍රන්ථය මගිනි.එකල තරුණයන් වූ සුනිල් ලාට මග පෙන්වන්නට හෝ ඇසුරු කරන්නට මහ පුරුෂයන් රැසක් උන්නේය. සිරිල් බී.පෙරේරා,බෙනඩික්ට් දොඩම්පේගම,පියල් සෝමරත්න වැනි සිනමා කලාවේ මහ පුරුෂයන්ගේ ඇසුර ලබන සුනිල් වැනි තරුණයන් ඊළග පරම්පරාවේ සිනමා විචාරයේ පූර්වාදර්ශය වන්නේය.

මෙවර ඔහුගේ ග්‍රන්ථය එළි දුටුවේ ලේක්හවුස් ආයතන පරිශ්‍රයේය.එදා සුනිල් කිසිවකු විසින් හෝ නොසිතන කටයුත්තක් කළේය.ඒ ඔහු සතු අගනා පුස්තකාලය ලේක්හවුස් ආයතනය වෙත පරිත්‍යාග කිරීමයි.සුනිල්ගේ පුස්තකාලය සිනමාව හා කලා විෂයන් සම්බන්ධ ඉතා අගනා එකතුවක් විය.එමෙන්ම එහි ඇති පොත පත සහිත දැනුම ඕනෑම කෙනෙකුට බෙදා දෙන්නට සුනිල් කිසි විටකත් මැලි නොවිණ.එය ඔහු රැස් කළේ මහත් වෙර වෑයමකිනි. ධාතුසේන රජුගෙන් දායාද විමසූ කළ කලාවැව පෙන් වූ ආකාරයට අප විසින් එක් කළ මහා ධන සම්බාරය වනුයේ පොත පතය.

එබඳු පොත පත කිසිවකුට දෙනවා තබා එසේ සිතන කිසිවකු අහලින් පහලින් යන්නටත් අකමැති මා වැන්නෙක් ඒ තරම් අපූරුවට පොත පත දන් දෙන්නට සුනිල් සිත හදා ගත්තේ කෙලෙසදැයි තවවමත් අදහා ගත නොහැකිව සිටියි.එයට හේතුව සුනිල් පොත පතට ආදරය කළ ආකාරය මා දන්නා බැවිනි.එහෙත් එම සිතුවිල්ලේ දී සුනිල් මා අබිබවා දහස් දුර ගෙවා ඇතැයි ආදරයෙන් සටහන් කරන්නට කැමැත්තෙමි.