වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම දරුවනේ කාටද ?

ඇත්තටම දරුවනේ කාටද ?

අධ්‍යක්ෂ වී. සිවදාසන්ගෙන් විමසමු

සිවා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අන්දම:

සිවා ඉපදුනේ යාපනේ. තේ වතු පරීක්ෂකවරයකු ලෙස ජීවිතය ගෙව්වත්, ඔහුගේ සිත නතර වුණේ සැලෝලයිඩ් පටය ළඟ. මේ බව දැනගත් ඔහුගේ මස්සිනාගේ හිතවකු වූ විජය චිත්‍රාගාරයේ අධිපති කේ. ගුණරත්නම්ට සිවාව හඳුන්වා දෙනවා.

එහි රසායනාගාර අංශයේ සේවයට ඇවිත් ක්‍රම ක්‍රමයෙන් ක්ෂේත්‍රයේ ඉදිරියට එන ඔහු එහි ප්‍රධාන රසායනාගාර පාලකයා බවට පත් වෙනවා. ඒ 1977 දී. ඒ දවස්වල නිර්මාණය වූ චිත්‍රපටයන්හි පිටපත්වල තත්ත්වය පරීක්ෂා කොට අනුමැතිය දුන්නේ සිවා. චිත්‍රපටයන්ට ඇති ඇල්ම නිසාම ඔහු තිලක් වේහැල්ල සමඟ චිත්‍රපටයක් තනනවා. එහි නම කතරගම රූමතිය. සිවා තමයි එහි නිෂ්පාදක. දේශපාලන හේතුන් මත එය තිර ගත වන්නේ නැහැ.

1983 ජූලි කලබලය ඇතිවනවා. සිවා සන්තක සියලු දේ නැති වන්නේ ඔන්න එතකොට. විජය චිත්‍රාගාරය ගිනි ගැනීමත් සමඟ රැකියාව ද අහිමි වෙනවා. අනතුරුව 1985 දී තමන් ඉතිරි කරගත් මුදල් යොදා රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණය යටතේ තාත්ති මට ආදරෙයි චිත්‍රපටය ඉදිරිපත් කරනවා. එයින් ලැබුණු ආදායම් මත තවත් මිතුරෙකු ද සමඟ චිත්‍රපටයක් සිවා අධ්‍යක්ෂණය කරන්නේ කරන්නට වෙනත් වෘත්තියක් නොතිබුණු නිසයි. එහි නම ඔක්කොම රජවරු. ඉන් සාර්ථකත්වය ළඟා කර ගන්නා සිවා පසුව හොඳින් නැතිනම් නරකින්, ඔබ මට විශ්වාසයි, එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, ඔබ මගේම වේවා, දකින දකින මල් වැනි චිත්‍රපට ද ආරති, අපර්ණා, සුජාතා, ප්‍රථම හිරු මවු දෙවිදු ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් ද අධ්‍යක්ෂණය කරනවා.

හැටපස් වසරක් පරිණත සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් දර දිය ඇදි දෙමළ ජාතික නිර්මාණකරුවන් බොහෝ සිටියහ.

ලෙනින් මොරායස්, ටී. සෝමසේකරන්, ඒ. වී. චන්ද්‍රන්, කේ. වෙන්කට් ඔවුන් අතරින් අතලොස්සකි. වී. සිවදාසන් අයත් වන්නේ ද එම අධ්‍යක්ෂවරුන්ගේ කුලකයටය. තමන්ට අනන්‍ය වූ වපසරියක හිඳ අනේක විධ හැඩතලයන්ගෙන් යුතු සිනමාපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ හෙතෙම ජාති ජන්ම පසෙකලා ලාංකේය සිනමාවේ ජය කෙහෙළි නැංවූ අයුරු අපූරුය.

සිවා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු පමණක් නොව නිෂ්පාදකවරයකු මෙන්ම ලංකාවේ ඉහළම මට්ටමෙහි රසායනාගාර පාලකවරයකු ද විය. ඔහු විජය චිත්‍රාගාරයේ ප්‍රධාන රසායනාගාර පාලකයායි.

සිවදාසන්ගේ අලුත්ම චිත්‍රපටය දරුවනේ දැන් තිරගත වෙයි.

දරුවනේ ගැන කෙළින්ම ඇහුවොත්? දරුවනේ කාටද?

හැමෝටම. වයස් බේදයක් නැහැ. මේක ඉතාම ආදර්ශවත් චිත්‍රපටයක්. මවුපිය ගැටුම් බොහෝ පවුල්වල තිබෙන්නක්. 99% කටම යම්කිසි මතවාදයක් දැඩිව හුවමාරු වෙන කොට තමන් ළඟ ඉන්නෙ කවුද කියලා මතක නැහැ. පුංචි ළමුන් ඉදිරියේ පවා සමහර මවුපියෝ රණ්ඩු සරුවල් ඇති කර ගන්නේ ඒකයි.

එය නොවිය යුත්තක්. චිත්‍රපටය පුරාම මං එම අකටයුතුකම් පිළිබඳව විවරණයක යෙදෙනවා. චිත්‍රපටය නරඹන අයගෙන් අල්ප වශයෙන් කිහිප දෙනෙකුට තමන් පිළිබඳ ලැජ්ජාවක් ද ඇති වෙන්නට පුළුවන්. ලැජ්ජාවට පත් වෙලා හරි කමක් නැහැ තමන් හැදෙනවා නම්. දරුවනේ තුළ අපි හැමෝමව නියෝජනය කරන පුද්ගලයකු ඉන්නවා.

එබැවිනුයි මං දරුවනේ නොබියව හැමෝටම කියලා කිව්වේ.

ඔබ ‘හැමෝම’ යන්නෙන් අදහස් කළේ පවුලේ පිරිසද?

ඔව්.

ඔබ හිතනවද පවුල් පිටින් දරුවනේ බලන්න ඒවි කියලා?

දරුවනේ ළමා චිත්‍රපටයක් නිසා පවුලේ හැමෝටම සිනමාපටය නිමා වෙනකම් දෑස් ඇරගෙන නරඹන්න හැකියි. පවුල් පිටින් සිනමා ශාලාවට පැමිණීමේ යුගයක් තිබුණා. ඒක නැති කළේ අපේම නිර්මාණකරුවන් විසින්. මට වුවමනා ඒ වසන්තය නැවත උදා කරලා දෙන්න. මට ලොකු විශ්වාසයක් තියනවා පවුලේ ප්‍රධානියා මුලු පවුලම කර පින්නාගෙන දරුවනේ බලන්න ඒවි කියලා. දැනටමත් චිත්‍රපටය නරඹපු අය කට වචනයෙන් කටින් කට හොඳ ප්‍රචාරයකුත් යමින් පවතිනවා.

පසුගිය වකකවානුවේ දරුවන්ට යැයි ලේබල් ගැසූ චිත්‍රපට බොහොමයක් ප්‍රදර්ශනය වුණා. පවුල් පිටින් ගියා ඒවා නරඹන්න. නමුත් පවුල් පිටින්ම ශාලාවෙන් එළියට බැහැලා ගියේ බලවත් අප්‍රසාදයෙන්?

ඔය කතාව ඇත්ත. දරුවෝ කියන්නේ ඉතාම ඉක්මනින් මාර්කට් කරන්න පුළුවන් පිරිසක්. මොනවා හෝ චිත්‍රපටයක් කරල ඒක ළමයින්ට වඩාත් සුදුසුයි කියලා තිරගත කෙරුණා. හැබැයි ඒවා ළමයින්ට තියා වැඩිහිටියන්ටවත් සුදුසු නැහැ. ප්‍රේක්ෂකයෝ දැන් ඒ බොරුවට අහුවෙන්නේ නැහැ. දරුවනේ බලපු කෙනෙක් කවදාවත් කියන එකක් නැහැ තව අයකුට මෙය නරඹන්න එපා කියලා. හේතුව දරුවනේ සැබෑ ළමා චිත්‍රපටයක් නිසා. කිසිම කෙනෙක් මෙය නරඹා මුහුණ ඇඹුල් කරගෙන සිනමා ශාලාවෙන් එළියට එන එකක් නැහැ.

මෙහි එක දර්ශනයක් තිබෙනවා මවුපියන්ගේ රණ්ඩුව නවත්වන්න ළමුන් දෙදෙනා බොරු කියන. ඔබ කියූ චිත්‍රපටයේ ආදර්ශවත් බව එතැනින් බිඳී යනවා නොවේද?

මවුපියන්ගේ වාදය ඉවස ගන්න බැරි තැනයි ළමුන් බොරුවක් කියන්නේ. එය අයහපත් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මොකද නරක දෙයක් වෙනුවෙන් නොවෙයිනේ බොරුවක් කියන්නේ. බොරු කීම නරක පුරුද්දක්. ඒ වුණත් යහපත් දෙයක් කිරීම උදෙසා බොරුවක් කිව්වට වරදක් නැහැ කියලා මහත්මා ගාන්ධිතුමන් ප්‍රකාශ කරලා තියනවා.

දරුවනේ චිත්‍රපටයෙහි තරු නැහැ. මෙහි සිටින විශ්වනාත් සහ තිසුරි මේ වන විට ජනප්‍රිය මට්ටමේ හිටියත් චිත්‍රපටය රූ ගැන්වෙන විට ඔවුන් එතරම්ම ජනප්‍රිය අය නෙවෙයි. තරු නොමැතිව චිත්‍රපටයක් දුවා ගත හැකි වේවි යැයි ඔබට විශ්වාසයක් ඇති වූයේ කෙසේද?

මං විශ්වස කරනවා අපිට හිටියේ තාරකා යුගලයක් පමණයි. ගාමිණී ෆොන්සේකා එක් කෙනෙක්. අනෙක් කෙනා විජය කුමාරතුංග. ඔවුන් තමයි සුපිරි තරු. අද තරු යැයි කියා ගන්නා අයව චිත්‍රපටයට ගන්න කිසිදු අදහසක් මට පහළ වූයේ නැහැ. විශ්ව සහ තිසුරි චිත්‍රපටය තිරගත වෙද්දී ජනප්‍රිය වෙලා ඇති යැයි මට විශ්වාසයක් තිබුණා. ඒක දැන් ඇත්ත වෙලා. තරු යොදාගෙන චිත්‍රපටයන්ගෙන් හම්බ කර ගත්තේ ගාමිණී විජය ඉන්න කාලේ්. අද ඊට හාත්පසින්ම වෙනස්.

චරිතෙට ගැළපෙන කෙනාවයි මං ගත්තේ. අද තරු යැයි සිතන උදවියව ගත්තා නම් මහත් විනාශයක් වේවි චිත්‍රපටයට.

මං අහපු දේට නියම පිළිතුරක් ලැබුණේ නැහැ. මං ඇහැව්වේ තරු නොමැතිව චිත්‍රපටය දුවයිද කියලා?

ඇයි නැත්තේ. අලුත්ම මූණු දෙකක් යොදා ගෙන හදපු ජනක සහ මංජු වගේ චිත්‍රපටත් ඒ දවස්වල හොඳට දිව්වේ.

චිත්‍රපටය නැරැඹූ ඇතැමෙක් පවසනවා එහි තරමක් පැරැණි ගතියක් තියන බවට. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඒක මම පාවිච්චි කරපු ස්ටයිල් එක. මට වුවමනා විදිහටයි චිත්‍රපටයක් කළේ. අනික මෙය මිට වඩා ග්ලැමර් කරන්න බැහැ. එතකොට අතාත්ත්විකයි.

මේ වන විට අමුතුම අන්දමේ රැල්ලක් බිහි වෙලා. ඒ චිත්‍රපටයන්ට නරඹන්නන් නොමැති වූ වග පෙනී ගියාම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතියක් ගෙන පාසල් දර්ශන මඟින් මුදල් හෙවීම. සමහර අවස්ථාවලදී චිත්‍රපටය බලන්න ළමුන් රැගෙන යන්නේ පාසල්වලින් බලෙන් මුදල් ගෙන්න කියලා?

මේ තත්ත්වය මමත් දන්නවා. බලෙන් ළමුන්ව ශාලා වෙත ගෙන යෑම නම් කොහෙත්ම මං අනුමත කරන්නේ නැහැ. එහෙම වෙනවා නම් හරිම වැරැදියි. ළමයකුට වුණත් නිදහසේ සිතීමේ අයිතිය තියනවා.

දරුවනේ චිත්‍රපටයටත් අමාත්‍යාංශ අනුමැතිය ලැබුණා. එහෙම කියලා කිසිම ළමයකු බලෙන් එක්කන් එන්න එපා කියලත් මං කියනවා.

දරුවනේ ඔබේ සිනමා ගමනෙහි හැරවුම් ලක්ෂයද?

සත්තකින්ම. මගේ විතරක් නෙවෙයි, නිෂ්පාදක සුනිල් ටී.ටත් එම ප්‍රකාශය වලංගුයි.

මෙහි රඟන ප්‍රධාන ළමා නළුවන් දෙපොළ ගැන යමක් කිව්වොත්?

ෂයන් සහ යොහාන් කියන්නේ අති දක්ෂයන්. ඔවුන් වගේම සහය ළමා නළු නිළියන් ද එලෙසමයි. ඉතාම කලාතුරකින් රූගත කිරීමේදී ටේක් දෙකකට ගියේ.

දරුවනේ මංගල දර්ශනයදා මවුවරු බොහෝ දෙනෙකු ඇඬුවාලු. දරුවනේ හඬන්නට හදපු චිත්‍රපටයක්ද?

මෙහෙමයි. අපි කාවවත් බලෙන් ඇඬෙව්වේ නැහැ. මිනිස්සුන්ව බලෙන් අඬවන්නත් බැහැනේ. චිත්‍රපටය සංවේදියි. ඒකයි මේක චිත්‍රපටයක් බව දැන දැනත් සෙනඟ ඇඬුවේ.

දරුවනේ බලලා මිනිසුන් හැදෙයිද?

හැදෙන කෙනා හැදෙයි. නොහැදෙන්නා ජීවිතාන්තය දක්වා සිර කළත් හැදෙන්නේ නැහැ.