වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩයේ ලිංගික අපචාර වසංගතයක් වන ලකුණු

බොලිවුඩයේ ලිංගික අපචාර වසංගතයක් වන ලකුණු

පසුගිය කාලයේදී හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ලිංගික හිරිහැර වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙනු දක්නට ලැබුණා. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරමින් හොලිවුඩයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව චෝදනා එල්ල කළා. ලෝක සිනමා ක්ෂේත්‍රය ඇතුලුව අනෙකුත් රැකියා ස්ථානයන්හි සිදුවන ලිංගික අපචාර සිදුවීම්වලට එරෙහිව නැඟි සිටීමට උපකාර කිරීම අරමුණු කොටගෙන රංගන ශිල්පිනියන්, අධ්‍යක්ෂවරියන් සහ ලේඛිකාවන් විශාල පිරිසකගේ දායකත්වයෙන් 'ටයිම්ස් අප්' නමින් ව්‍යාපෘතියක් ද මීට පෙර ආරම්භ කෙරුණා. පසුගිය කාලයේ පැවති ගෝල්ඩන් ග්ලෝබ්, කාන් වැනි සිනමා උලෙළවලද ලිංගික අපචාරවලට එරෙහිව විශේෂ වැඩපිළිවෙල දියත් කෙරුණා.

මෑතකදී ඉන්දීය නිරූපිකාවක සහ නිළියක වන තනූශ්‍රී දත්තා ප්‍රවීන නළු නානා පටේකර් දසවසරකට පෙර Hork Ok Please දර්ශන තලයේදී තමාට අතවර කළ බවට කළ ප්‍රකාශය සමඟින් බොලිවුඩය ද කැලඹීමට ලක් වුණා. මේ සිදුවීම සමඟින් තමන් කලකිරීමට ලක් වී සිනමාවෙන් සමුගෙන අමරිකාවේ පදිංචියට ගිය බවද ඇය පැවසුවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක් පිරිසක් නානා පටේකර් වෙනුවෙන් කතා කළ අතර තවත් පිරිසක් තනූශ්‍රී වෙනුවෙන් ඇයගේ සහායට පෙරට පැමිණියා. ලිංගික අතවර කිරීම් සම්බන්ධ චූදිතයන් හෙළිකිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වන 'මී ටු' ඔස්සේ කාන්තාවන් තමන් මුහුණදුන් ලිංගික හිංසාවන් පිළිබදව හෙළිකරමින් ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ල කරමින් සිටිනවා. මේ අතරට බොලිවුඩයේ ජනප්‍රිය තරු කිහිප දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා.

නානා පටේකර්ගෙන් පසු අතවර චෝදනා එල්ල වුණේ නළු ආලෝක් නාත්හටයි. නිෂ්පාදිකාවක සහ තිරරචිකාවක වන වින්තා නන්දා, නිළියන් වන සන්ධ්‍යා මිර්දුල් සහ දීපිකා ආමීන් ආලෝක් නාත් තමන්හට අතවර කළ බවට චෝදනා නඟනවා. නිළි කන්ගනා රනවුත් චිත්‍රපට අධ්‍යක්ෂ විකාශ් භාල් ට එරෙහිව අතවර චෝදනා කර සිටිනවා. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ඉහළ ජනප්‍රියත්වයක් ලද Queen චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේද කන්ගනා රනවුත් ය. තමන්ගේ සාර්ථකත්වය දරාගත නොහැකි වූ පිරිසකගේ මෙහෙයවීම මත මෙම චෝදනා නැඟෙන බව විකාශ් පවසනවා. අධ්‍යක්ෂ සුභාෂ් ගායි, සජීඩ් ඛාන්, නළු රාජත් කපුර්, සංගීත ශිල්පීන් වන අනූ මලික්, කයිලාශ් ඛේර්, අභිජිත් භට්ටාචාර්ය ද බොලිවුඩ් 'මී ටූ' චෝදනා ලැයිස්තුවේ සිටිනවා.

මේ ලැයිස්තුවට අලුතෙන්ම එක් වූ තරුව වන්නේ සුෂාන්ත් සිං රාජ් පුත්. ඔහුට චෝදනා නගන්නේ, Fault In The Stars චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයේදී (Kizzie And Manny) එහි ප්‍රධාන කාන්තා චරිතයට පණ දෙන සන්ජනා සන්ගි විසින්. Kizzie And Manny දර්ශන තලයේදී සුෂාන්ත් තමන් අපහසුතාවයට පත් කරන බව සන්ජනා පවසන්නේ කඳුළු පිරි දෙනෙතින්. මෙම චිත්‍රපටය ඇය රංගනයෙන් දායකවන කුලුඳුල් සිනමා නිර්මාණය යි. සන්ජනාගේ මෙම චෝදනා සුෂාන්ත් ප්‍රතික්ෂේප කර සිටිනවා. දීපිකා පදුකෝන්, ශ්‍රද්ධා කපූර්, රන්බීර් කපූර් වැනි බොලිවුඩයේ ජනප්‍රිය තරු කිහිප දෙනෙකුටම කළමනාකාරවරයකු ලෙසින් කටයුතු කළ අනිර්බාන් බ්ලාහ්හට නිළි මීරා ඔමාර් විසින් අතවර චෝදනා නැඟුනු පසු අනිර්බාන් සියදිවි නසා ගන්නට තැත් කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එපමණක් නොව 'මී ටූ' මේ වන විට වසංගතයක් බවට පත් වෙමින් බොලිවුඩ් සිනමා කර්මාන්තයේ කටයුතු අඩාළ කරන්නක් බවට පත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට චෝදනා ලද නිර්මාණකරුවන්ගේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු අතරමඟ වී ඇති බවත් පැවසෙනවා. එදිනෙදා ගෙවීම් කරන සුළු සේවකයන්ගේ රැකියා අවධානම් මට්ටමට වැටී ඇති බවත් රූගත කිරීම් වෙනුවෙන් ස්ථාන වෙන් කිරීම් මෙන්ම තාක්ෂණික අංශයේ සැපයුම් අංශ මේ නිසා දැඩි අපහසුතාවයට පත් වී ඇති බවත් පැවසෙනවා. විකාශ් භාල් අධ්‍යක්ෂණය කර රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Super 30 චිත්‍රපටය සජීඩ් ඛාන් අධ්‍යක්ෂණය කර නානා පටේකර් ද චරිත නිරූපණයට නියමිතව තිබූ Housefull 4 චිත්‍රපටය මේ වන විට සිය නිර්මාණ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සැලොනි චොප්රා සහ රැචෙල් වයිට් නම් නිළියන් දෙදෙනා සහ කරිෂ්මා නම් මාධ්‍යවේදිනියක විසින් සජීඩ් ඛාන් වෙත චෝදනා එල්ල කිරීම නිසා Housefull 4 චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඔහු ඉවත් කර Housefull 3 අධ්‍යක්ෂණය කළ ෆර්හාඩ් සම්ජි වෙත භාර දී තිබෙනවා.

එසේම අනුරාග් කාශ්‍යප්, වික්‍රමාදිත්‍ය මොට්වානේ, විකාශ් භාල් සහ මධු මන්තේනා ගේ නිෂ්පාදන ආයතනය වන 'පැන්ටොම් ෆිල්ම්ස්' සමඟින් 'රිලයන්ස් එන්ටර්ටේන්මන්ට්' සම නිෂ්පාදනයෙන් නිර්මාණය කිරීමට නියමිත වූ චිත්‍රපට පෙළක නිර්මාණ කටයුතු ද 'මී ටු' විසින් අඩාලකර දමා ඇත. Super 30, ගණිතඥ ආනන්ද් කුමාර්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කෙරන චිත්‍රපටය, 83 චිත්‍රපටය, Ghoomketu චිත්‍රපට ඒ අතර වේ. අමීර් ඛාන් චිත්‍රපට සමාගම යටතේ නිර්මාණය කිරීමට නියමිත Mogul චිත්‍රපටය අධ්‍යක්ෂණය භාර වී තිබූ සුභාෂ් කපූර් වෙත නිළි ගීතිකා ත්‍යාගි අතවර චෝදනා එල්ල කර සිටියි. මේ නිසා අමීර් ඛාන් සහ කිරන් රාඕ විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනනේ කවුරුන්ද යන්ද පිළිබඳව තීරණයක් ගනු ඇති බවත් වාර්තා වෙනවා.

'මී ටූ' ඉන්දියාව තුළ ව්‍යාප්ත වීම සමඟින් බොලිවුඩයේ පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවලද ජනප්‍රිය පුද්ගලයින් වෙත මෙලෙස අතවර චෝදනාවලට මුහුණ දී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි රාහුල් ජෝරි සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ කනිෂ්ඨ අමාත්‍ය එම්.ජේ. අක්බර් ද මී ටු චෝදනාකරුවන් අතරේ සිටිනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම අතවර චෝදනා හමුවේ අමාත්‍ය එම්.ජේ. අක්බර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද භාර දී ඇති බවයි. 'මී ටු' ඔස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුටම චෝදනා එල්ල වුණා. 'මී ටු' තවමත් අවසන් වී නැත. දිනෙන් දින 'මී ටු' චෝදනා ලැයිස්තුවට ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් එක් වෙමින් තිබේ. මීළඟට 'මී ටු' චෝදනා නඟන්නේ කවුරුන් වෙත ද යන්න බොලිවුඩය ද සීරුවෙන් බලා සිටියි.