වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දා මාලිනිය සමඟ සුභාවිත පරපුරකට අත්වැලක්

නන්දා මාලිනිය සමඟ සුභාවිත පරපුරකට අත්වැලක්

ආචාර්ය නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමය ආරම්භ වී මේ වන විට වසර තිස් දෙකකි. එමඟින් බිහි කළ පරපුර ද අති විශාලයි. මේ දිනවලදී ඒ සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා බව නන්දා මාලිනිය අපට දන්වා සිටිනවා. වයස අවුරුදු අටේ සිට ඉහළ වයස් කාණ්ඩවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාඨමාලා රැසක්ම මෙහි අන්තර්ගතයි. නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට එකතුවීමට කැමැති නවකයන්ට ලේකම්, නන්දා මාලිනී සංගීත ආශ්‍රමය, අංක 30, විජයබා මාවත, නාවල පාර. නුගේගොඩ යන ලිපිනයට මුද්දර සහිත කවරයක් එවීමෙන් අයැදුම්පත් ලබා ගත හැකියි.


සුදෝ සුදුවට පෙනෙන කලුම කලු මහත්තුරු අම්මාවරුන් වෙනුවෙන්

කුමුදු නිශාන්ත පෙරේරා අධ්‍යක්ෂණය කරන 'සුදෝ සුදුවට පෙනෙන කලුම කලු මහත්තුරු' වේදිකා නාට්‍යය එළඹෙන 28 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී ව්ඒච්ඒ ආයතනයේදී වේදිකා ගත වේ.

මෙය 'වුමන් ඉන් මැනේජ්මන්ට්' කාන්තා සංවිධානය තනි වූ අම්මාවරුන් වෙනුවෙන් ගොඩ නඟන අරමුදලට ආධාර පිණිස වේදිකා ගත කෙරේ.


කඩුවෙලදී තිත තබයි

ධම්මික හෙට්ටිගේ ගේ නාට්‍ය නිර්මාණය තිත මෙම මස 27 වැනිදා කඩුවෙල නගර ශාලාවේදී වේදිකා ගත වේ. මත් උවදුරෙහි ආදීනව කියාපාමින් ආදර්ශවත් කතා පුවතකින් හෙබි තිත නාට්‍යය සඳහා ධම්මික ජයශාන්ත, කුසුම් මල්දෙණිය, මයුර නිසල් ඇතුළු පිරිස රඟපාති.


එතෙර දනව්ව

ශෂි දිල්හාන් නානායක්කාර විසින් දෙමළ බසින් සිංහල බසට පරිවර්තනය කරන ලද දකුණු ඉන්දියානු දෙමළ කෙටි කතා එකතුව 'එතෙර දනව්ව' කෘතිය පසුගිය දින මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී දොරට වැඩුණි.

මෙම කෘතියෙහි දකුණු ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්්ටතම කෙටිකතාකරුවන් පස් දෙනෙකුගේ කෙටි කතා දහයක සිංහල පරිවර්තන අන්තර්ගත වේ.


පොත් ගුල්ලී නුවර යන්නීය

නාලක ස්වර්ණතිලකගේ වේදිකා නාට්‍ය නිර්මාණය පොත් ගුල්ලී මෙම මස 28 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ.. ලෝ ප්‍රකට ළමා කතා රචක රෝල්්ඩ් ඩාල්ගේ මැටිල්ඩා කෘතිය පාදක කර ගනිමින් පොත් ගුල්ලී නිර්මාණය කොට තිබේ. කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර සහ සංකාරා විජේරත්න ඇතුළු පිරිස මෙය රංගනයෙන් හැඩ කරති.