වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දිග පළල මොකටද චරිතය හොඳ නම්

දිග පළල මොකටද චරිතය හොඳ නම්

උත්තම පුරුෂ නිපද වූ රිචඩ් අබේවර්ධන

චිත්‍රපට නිෂ්පාදනයකට යන්න තරම් මම පොහොසත් නැහැ. මට ටෙලි නාට්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් කියලයි හැඟෙන්නේ. තරණය, සීත රෑ, කිණිහිරියා මල්, සුදු කළුවර, සතියකට මට රට භාර දෙන්න චිත්‍රපටවල මම මේ වන වට රඟපාලා තියෙනවා.

ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් පුංචි තිරයට හරවත් ටෙලි නිර්මාණ රැසක් තිළිණ කළ රිචඩ් අබේවර්ධනගේ නවතම ටෙලි නිර්මාණය වූ උත්තම පුරුෂ පසුගියදා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් නිමාව දුටුවේ දසතින් පැසසුම් ඔහු වෙත තිළිණ කරමිනි. තවත් විවිධ වූ තේමාවන් ඔස්සේ ටෙලි නාට්‍ය නිර්මාණයන් කරමින් ප්‍රේක්ෂක නෙතට අපූර්වත්වයක් එක් කරලීමේ වෑයමක නිරන්තරයෙන් යෙදී සිටින රිචඩ් අබේවර්ධන හා කතාබස් කරමු.

ඔබේ ටෙලි නාට්‍ය නිෂ්පාදනයක් වූ උත්තම පුරුෂ ප්‍රේක්ෂක පැසසුම් ලබමින් පසුගියදා නිමාව දුටුවා නේද?

ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ උත්තම පුරුෂ ටෙලි නාට්‍ය අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට හොඳින් සමීප වුණා කියලයි මම හිතන්නේ. එහි නිර්මාණය වී තිබූ කතාව අපේ සමාජයේ එක් පැතිකඩක් විවරණයවීමක් විධියටයි මම දකින්නේ. මට අපේ රටේ ප්‍රේක්ෂකයන්ගෙන් සේම පිටරටවල වෙසෙන ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු සේම රංග ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා නේද?

1993 දී තමයි මම රංගනයට අවතීර්ණ වන්නේ. ටෙලි නාට්‍ය සේම චිත්‍රපටවලත් මම රංග ශිල්පියෙකු ලෙසින් කටයුතු කරලා තියනවා. අදටත් මම ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු වුවත් රංගනයේ නියැළීම කරගෙන එනවා.

බොහෝ විට ඔබ නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යවල ඔබ රංගනයෙනුත් දායක වුණා නේද?

උත්තම පුරුෂ, මිරිඟු දිය, අහංකාර නගරය, සුජාත පුත්‍ර, බලබිඳුම, සිහිනයකි ඔබ, සොඳුරු පියාපත්, මුරුගසන් වරුෂා, පිත්තල කොන්ඩෑරුම, මායා කැදැල්ල ආදී ටෙලි නිර්මාණ සියල්ලටම පාහේ මම රංගනයෙන් දායක වුණා.

ඔබේ ටෙලි නිෂ්පාදන තවත් තියෙනවද ප්‍රේක්කෂකයන්ට තිළිණ කරන්න?

ඔව්. මම නිෂ්පාදනය කරල රඟපෑ මායා කැදැල්ල තවම තියෙනවා ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න.

මේ දවස්වල ඔබ තවත් නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙමින් සිටිනවාද?

ධවල හස්තියා, පළිඟු පියාපත්, ඉරුදේව ටෙලි නාට්‍යවල ෂූටින්වල නිරතවෙලයි ඉන්නේ.

ඔබේ බොහෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනයන්හි අධ්‍යක්ෂවරයා වී තිබෙන්නේ සරත් ධර්මසිරි. මෙයට සුවිශේෂ හේතුවක් තියෙනවාද?

අපි දෙන්නාගේ අදහස් බොහෝ විට නිර්මාණ කාර්යයේදී එකිනෙකට ගැළපීමක් තිබුණා. ගමක තියෙන රසය අපි දෙන්නාම හොඳට අත්විඳපු පුද්ගලයෝ දෙන්නෙක්. අපේ නිර්මාණවලදීත් ඒ දේ පැහැදිලිව දකින්න තියෙන දෙයක්. තව පැත්තකින් අපි දෙන්නත් එකම ප්‍රදේශයක වීමත් මේකට හේතු වෙන්න ඇති.

රංගනය පැත්තෙන් ඔබ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ මොන නිර්මාණවලින් කියලද ඔබ හිතන්නේ?

සමස්ත ලෙස කොයි නිර්මාණයෙනුත් මිනිස්සු අතර කතාබහක් තිබුණත් මම හිතන්නේ මිරිඟුදිය, උත්තම පුරුෂ, අහංකාර නගරය ටෙලි නාට්‍යවල මම කළ රංගනය ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා කියලා.

ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ලෙස ඔබ ගමනක් ආරම්භ කරන්නේ කොයි කාලයේ පටන්ද?

2005 වසරේ සිට. සමන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ බලබිඳුම ටෙලි නාට්‍ය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය.

ඔබේ නිෂ්පාදනයන්හි අධ්‍යක්ෂවරු සේම නළු නිළියෝත් එකම කණ්ඩායමක්ද?

එහෙම නෑ, නළු නිළියන් එකිනෙකට වෙනස්. මමත් සමඟ කොතරම් සමීප වුවත් මගේ තවත් එක නිර්මාණයක රඟපා තිබුණත් මම අනිත් නිර්මාණයට නොගැළපෙනවා නම් මම කොහෙත්ම ගන්නේ නැහැ. අධ්‍යක්ෂවරුත් එහෙමයි. හැබැයි මගේ ටෙලි නිෂ්පාදන බොහොමයක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සරත් ධර්මසිරි. මම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ බණ්ඩාර දෙයියෝ, ඇත්කඳ ලිහිණි ටෙලි නාට්‍යවලත් රඟපාලා තියෙනවා.

සිනමා නිර්මාණ වෙත ඔබ මේ වන විට යොමු වෙලා තියෙන්නේ රංගනයෙන් පමණයි. ඇයි චිත්‍රපට නිෂ්පාදනයක් වෙත යන්න අදහසක් නැද්ද?

චිත්‍රපට නිෂ්පාදනයකට යන්න තරම් මම පොහොසත් නැහැ. මට ටෙලි නාට්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් කියලයි හැඟෙන්නේ. තරණය, සීත රෑ, කිණිහිරියා මල්, සුදු කළුවර, සතියකට මට රට භාර දෙන්න චිත්‍රපටවල මම මේ වන වට රඟපාලා තියෙනවා.

අද නිර්මාණය වන ටෙලි නාට්‍ය පෙන්න ගන්න තරඟයක් තියෙන වකවානුවක ඔබ ඒ පොර පිටියේ නොවීමේ රහස මොකක්ද?

මම නිෂ්පාදනය කරපු හැම ටෙලි නාට්‍යයක්ම මේ වන විට විකාශය වෙලා තියෙනවා. කවුරුවත් මගේ නිෂ්පාදනයක් මේ වනතුරු ප්‍රතික්ෂේප කරලා නැහැ. මගේ නිෂ්පාදනවලට රූපවාහිනී නාළිකාවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. කොටින්ම කියනවා නම් මම අද කෙරුව දුන්න නිෂ්පාදකයෙක් කිව්වොත් හරි. පෝලිම් කියන වචනය මගේ නිර්මාණ අතරට තවම ආවේ නම් නැහැ.

ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් නිෂ්පාදනය කළ ඔබ සම්මානනීයවීමක් සිදු වුණේ නැද්ද?

මම නිෂ්පාදනය කළ ළමා නාට්‍යයක් වූ පිත්තල කොන්ඩෑරුම නාට්‍යයේ මම රඟපෑ මල්හාමි චරිතයට මට සුමති ටෙලි සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් හිමි වුණා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර එමට ලැබුවත් නිර්මාණ සඳහා සම්මානනීය ඇගැයුම් නැත්තේ ඇයි?

ඒක තමයි ප්‍රශ්නය. අපිට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක රුචිකත්වයට හදන්න පුළුවන්. ප්‍රේක්ෂකයෝ රංගන ශිල්පීන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ කුසලතාවය ඉහළින් අගයමින් නිර්මාණය තමන්ගේ දෙයක් බවට පත් කර ගනිමින් උපරිම වින්දනයක් ලබනවා. ඒත් ඒ නිර්මාණ විනිශ්චය සඳහා ඉදිරිපත් කළාම ඒ විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට රුචියක් නැතුව යනවා. ඕකයි අප්‍රභංසය.

ඔබ සම්මාන බලාපොරොත්තුවෙන් රංගනයේ නියැළෙන්නෙක්ද?

කොහෙත්ම නැහැ. මම හැම විටම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ, මම රංගනයක් ඉදිරිපත් කරන්නේ මණ්ඩල රුචිකත්වයට නොවෙයි. මම හැම වෙලේම බලන්නේ මගේ ආදරණිය රූපවාහිනී ප්‍රේක්ෂකයෝ ගැන. ඒ අය මගේ රංගනය මගේ නිෂ්පාදනය බලලා ලබන සතුට ඒ ගැන කතා කරන දේ තමයි මගේ සම්මානය.

රංගනයේදී ඔබට ලැබෙන ඕනෑම චරිතයක් රඟපානවාද?

මගේ සිරිතක් තමයි ලැබෙන චරිතයේ දිග පළල නොබැලීම. ලැබෙන චරිතය කුමක් වුණත් ඒ දේ සතුටින් කරනවා. ආරාධනා සීන් එකට ද දෙකට ද සියයකට ද කියනදේ මට වැදගත් නෑ.

ප්‍රේක්ෂක හද හඳුනා ගැනීමේ රහස ඔබ කුමක් කියා ද සිතන්නේ?

බොහෝ විට මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ අපේ සාමාන්‍ය මිනිස්සු අතර. ඔවුන්ගේ දුක සැප අතර. පාරේ බස් එකේ ගමනක් යන මට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් චර්යා රටාවන් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. ආඩම්බරකමේ වෙස් මුහුණ මම ගලවලා දාපු සරල කෙනෙක්. මම ටෙලි නිර්මාණයක් වෙත මගේ ශක්තිය යොදන්නේ සමාජයෙන්ම මම සොයා ගත් මිනුම්දණ්ඩක් මත. ඒ තමයි කෝච්චි රසය, බස් රසය. මෙන්න මේ දෙකේදී මිනිස්සු යමක් දැකලා ඒ ගැන කතාවෙන දේ අනුව තමයි මම දැනගන්නේ මගේ නිර්මාණය කොච්චර සාර්ථක ද කියලා.

අද වෙන කොට ඔබේ වෘත්තීය රංගනය?

එහෙම වෙලා තියෙනවා. අද මම මුදලක් ලබන්නේ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා අලෙවි කිරීමෙන්. ඒ වගේම ටෙලි නාට්‍යයක, චිත්‍රපටයක රඟපෑම මඟින්.

ලිපිනය මතක් කළොත්?

රිචඩ් අබේවර්ධන, ඉහළ කඩිගමුව, කුරුණෑගල.