වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අපට ඕනෑ හැමදාම අලුත් දෙයක් කරන්න

අපට ඕනෑ හැමදාම අලුත් දෙයක් කරන්න

හිරු ගෝල්ඩන් අවෝඩ්ස් ගැන සරසවිය කතාබහ

සරසවිය සිනමා සම්මාන උලෙළ සිනමා සම්මාන ඉතිහාසයක් මේ රටේ ගොඩ නැඟූ මව් උලෙළයි. සිනමා පුවත්පතක් ලෙස වසර 55ක් සපුරමින් විවිධ බාධක මැද සිනමා උලෙළ 34ක් පැවැත්වීමට සමත් වූ එකම ආයතනය වන්නේද ලේක්හවුස් ආයතනය බව නිහතමානී සාඩම්බරයකින් පැවසිය යුතු වේ. ඒ අතර මවක දරුවන්ගේ හපන්කම් දෙස දයාවෙන් බලන්නා සේද සමස්ත සිනමා කර්මාන්තයේ යහපත උදෙසා වන ඕනැම කටයුත්තකට සහාය දීම ප්‍රතිපත්තිය කර සරසවිය පුවත්පත හිරු රූපවාහිනී නාළිකාව තෙවන වරට සංවිධානය කරන සිනමා උලෙළ වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 ට සුබ පතමින් තව දින දෙකකින් එනම් 27 වැනිදා සෙනසුරාදා සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන උලෙළ සම්බන්ධ තොරතුරු මෙසේ ගෙන එන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් සිල්වා සහ වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත දෙදෙනා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරවයි.

හිරු ගෝලඩන් අවෝඩ්ස් 2018 සඳහා සූදානම කොහොමද?

තුන්වැනි වරටත් පැවැත්වෙන උලෙළ සඳහා සියල්ල දැන් සූදානම්. මේ වෙද්දී පසුගිය වසර දෙකක වෘත්තාන්ත චිත්‍රපට 50ක්, කෙටි චිත්‍රපට 150ක් විනිශ්චය මණ්ඩල දෙකක් මඟින් සිව් වතාවක් නරඹා අවසන්. ප්‍රතිඵල පිළිබඳ අවසාන වශයෙන් තීරණය කරන්නේ හෙට (සිකුරාදා), උලෙළ පැවැත්වෙන අනිද්දා, 27 සෙනසුරාදා සවස 6ට තමයි ජූරි සභාපතිවරුන් අපේ සභාපතිවරයාට ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒ රහසිගතබව සහ විශ්වාසය උපරිමයෙන් තැබිය යුතු නිසා.

මෙවරත් ඉන්දියානු ශිල්පීන් සහභාගී වෙනවා?

ඔව් මේ වනවිටත් ඇතැම් ශිල්පීන් ලංකාවට ඇවිත්. ඔවුන්ගේ නර්ථනාංග ආදිය පුහුණුවීම් ඉන්දියාවේදීත් කෙරුණා. ඊයේ සිට අශිෂ් යාදව් සහ විනෝද් යන පුහුණුකරුවන් මෙරටදී ඔවුන්ගේ පුහුණුවීම් කරනවා. අපේ නළු නිළියන්ගේ නර්ථනාංග චන්න විජේවර්ධන, ගයාන් ශ්‍රීමාල් සහ අසංක ද සිල්වා යන නර්ථනවේදීන් යටතේ පුහුණුවීම් කරනවා.

ඉන්දියානු ශිල්පීන් ගෙන්වීමේ අරමුණ?

අපේ සිනමා කර්මාන්තයට වටිනාකමක්, ඇගයීමක් දෙන්න ඕනා. අපේ වැඩසටහනටත් වටිනාකමක් දෙන්න ඕනා. ඉන්දියාවේ ශිල්පීන් අපේ කර්මාන්තය අගය කරන අය. ඔවුන් තවදුරටත් දැනගන්නවා අපේ රටේ හොඳ චිත්‍රපට තිබෙන බව. පසුගිය වතාවේ ස්වර්ණා මල්ලවආරච්චිට ජීවිත කාලයටම එක් වරක් ප්‍රදානය කරන සම්මානය දුන් වෙලාවේ ඉන්දීය ශිල්පීන් කීවා මේ තරම් හොඳ චිත්‍රපට ලංකාවේ හැදෙන බව ඔවුන් ඒ වෙනතුරු

දැන සිටියෙ නැහැ කියලා. ඒ වගේ අපේ සිනමා සංස්කෘතිය පිළිබඳ කලාපයේ රටවලටවත් දැනෙන අයුරින් මෙය සංවිධානය කිරීමටයි ඒ පියවර ගන්නේ. අපේ කර්මාන්තය ඊළඟ මට්ටමට නඟා තබන්නයි අප උත්සාහ කරන්නේ.

බොහෝ දෙනා ඒ සඳහා වැය වන මුදල මෙරට සිනමා කර්මාන්තයේ උන්නතියට යෙදිය හැකි බව කියනවා?

ඒ අය කියන තරම් මුදලක් අපට වැය වන්නේ නැහැ ඔවුන් සහභාගී කරවා ගන්න. මෙය විශේෂයෙන්ම අපේ සභාපතිතුමාගේ පෞද්ගලික සම්බන්ධතා මත කෙරෙන ආරාධනයක්. ඒ නිසා යම් වියදමක් තිබුණත් එය ඔය කියන තරම් මුදලක් නෙවෙයි.

ඔවුන් ගෙන්වා ගැනීමෙන් අපේ ශිල්පීන්ට ඉන්දීය සිනමාවට සම්බන්ධ වීමේ අවස්ථා එහෙම ලැබුණාද?

මේ අපේ තුන්වැනි සම්මාන උලෙළ පමණයි. මෙහි ප්‍රතිඵල දකින්න අනාගතේ දකින්න ලැබෙයි. ඒත් අපි ඊට කලින් පටන් ගත්තා කෙටි චිත්‍රපට සඳහා ආධාර කිරීමේ ක්‍රමයක්. සිනමා කර්මාන්තයට පිවිසෙන්න කැමති අයනේ මුලින් කෙටි චිත්‍රපටයක් හදන්න පෙලඹෙන්නේ. ඔවුන් පැයකට අඩු සිනමා නිර්මාණයක් සඳහා තිර රචනය අපට ගෙනැවිත් දුන්නාම නිෂ්පාදන වියදම සහ එය අපේ නාළිකාවේ විකාශය කර දීම අප බාර ගන්නවා. මුලින්ම අපට ඉදිරිපත් වූ 150 සඳහා අවස්ථාව දෙමින් ඉන් පසු ඕනැම කෙනකුට ඒ අවස්ථාව ලබා දීමට අප කටයුතු යොදා තිබෙනවා.

උලෙළට අපේ නළු නිළියන්ගේ දායකත්වය කොහොමද?

සියයට දෙසීයකින් ලැබෙනවා. අපේ උලෙළට චිත්‍රපට සඳහා සහභාගී වූ සියලුම ශිල්පීන් සඳහා ආරාධනා කරනවා.

ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව?

අපි ප්‍රේක්ෂකයන් 1000කට අවස්ථාව ලබා දී තිබෙනවා මේ උලෙළට සහභාගී වන්න. ඉතිරි සමස්ත ප්‍රේක්ෂකයන්ට ලොව එකම රන් පළස මතින් යන ශිල්පීන් සජීවී විකාශය ලෙසත් උලෙළ ඊළඟ සතියේ නාළිකාව ඔස්සේත් නැරඹීමට අවස්ථාව දී තිබෙනවා.

ජූරිය?

ජාතික සහ අන්තර්ජාතික ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් මේ ජූරි දෙක සමන්විතයි. අප පසුගිය අවස්ථා දෙකේ වගේම මේ අවස්ථාවේදීත් සාධාරණ විනිශ්චයක් ලැබෙනු ඇති බව විශිෂ්ටයි. සම්මාන උලෙළ තුනක් අවසන් වූ පසු අපි ලෝක සිනමා උලෙළ දින දර්ශනයට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ නළු නිළියන් සහභාගී වන විදෙස් චිත්‍රපට ආදිය මේ උලෙළට සහභාගී වන මට්ටමට ආ පසු මෙය අන්තර්ජාතික උලෙළක් මට්ටමට ලොවට හඳුන්වා දීමයි අපේ අපේක්ෂාව.

වසර දෙකකට වරක් සම්මාන උලෙළ පවත්වන්නේ ඇයි?

අපේ රටේ වසරකට චිත්‍රපට 40ක් පමණ නිපදවුවත් ප්‍රදර්ශනයට නිදහස් වන්නේ 25ක් විතර සංඛ්‍යාවක්. ඒ නිසා තරගකාරීත්වය වැඩි කරන්නත්, ගුණාත්මක බව ඉහළ නංවන්නත් තමයි මේ ආකාරයෙන් වසර දෙකකට වරක් උලෙළ පවත්වන්න සභාපතිතුමා කල්පනා කළේ.

ස්ථානය වෙනස් කළේ?

අලුත් අත්දැකීමක් එක් කරන්න. හැමදාම අලුත් දෙයක් කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් එය කලින් කියනවාට වඩා අනිද්දාට සියැසින් බලා ගන්න කියා සියලු දෙනාට ආරාධනා කරනවා.