වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුරේන්ද්‍ර මොකක්ද මේ වෙනස?

සුරේන්ද්‍ර මොකක්ද මේ වෙනස?

කාලානූරූපී change එකක්

ඉක්මනට විවාහ වෙන්න ලෑස්තියි

කලාකාරයෝ විදිහට අපිව වෙනස් ආකාරයෙන් දකින්න තමයි මිනිස්සු කැමැති. අනික මට පිටරට ෂෝස් නිතර ලැබෙනවා. ඒවට යද්දි මේ වගේ විලාසිතාවලට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සුරේන්ද්‍ර පෙරේරා ටිකක් වෙනස් වෙලා වගේ?

අපෝ නැහැ. එදා වගේම තමයි. මගේ ගතිගුණ නොවෙනස්ව අචලව තියෙනවා. එදත් අදත් කවදත් මෙහෙම්මම තමයි.

මං කිව්වෙ ඔබේ පෙනුම?

එත් එහෙම්මම තමයිනෙ.

ඔය හදන්නෙ ප්‍රශ්නෙන් මඟහරින්න. මං ඇහැව්වේ කොණ්ඩෙ ගැන?

කොණ්ඩෙ නම් ටිකක් වෙනස් කළා.

කවුද එහෙම කරමු කිව්වේ?

කාගෙවත් තීරණයක් නෙවෙයි, මේක මගේම අයිඩියා එකක්. කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් ඕනෙ.

කොහොමද අලුත් කොණ්ඩා මෝස්තරයට ලැබෙන ප්‍රතිචාර?

එක එක අය එක එක කතන්දර කියනවා.

බනින අයත් ඇති?

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවානෙ නේද?

කෙහෙන්ද ඔය විලාසිතාව හොයා ගත්තේ?

මට මගේ හිතවත්තු කොණ්ඩා මෝස්තරවල ෆොටෝස් එවනවා. එයින් දැකපු ඒවායින් සම්මිශ්‍රණය කරලා මං මේක හැදුවා.

ඔබ කාලෙන් කාලෙට විවිධ කොණ්ඩා මෝස්තර කරනවා. ඒත් මෙවර ඔබේ කොණ්ඩා මෝස්තරයට වැඩි අවධානයක් යොමු වෙලා?

වෙන්න ඇති. කලාකාරයෝ විදිහට අපිව වෙනස් ආකාරයෙන් දකින්න තමයි මිනිස්සු කැමැති. අනික මට පිටරට ෂෝස් නිතර ලැබෙනවා. ඒවට යද්දි මේ වගේ විලාසිතාවලට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාලානුරූපීව මං පොඩි චේන්ජ් එකක් මේ කරලා තියෙන්නේ.

කොහොමද ඔබේ සංගීත වැඩ කටයුතු?

මේ වසරේ මුලදී වගේ තමයි මං අන්තිමයට ගීතයක් රිලීස් කළේ. අහිංසක මගේ යනුවෙනුයි එය නම් කර තිබුණේ. අලුත් ගීතයක් එළි දක්වන්න හිතාගෙන ඉන්නවා.

මොන වගේ ගීතයක් ද මෙවර ඔබ ඔබගේ සංගීත රසික රසිකාවන්ට තිළිණ කරන්නේ?

ඇතැම් විට විරහා ගීතයක් වේවි. නැතිනම් බයිලා එකක්. බයිලා කිව්වට ඒක සික්ස් එයිට් සිංදුවක්. ඒත් තවම තීරණයක් ගෙන නැහැ.

ජෝතිපාලයන්ගේ ගීත කිව්වා ඇති කියලා හිතෙන්නේ නැද්ද?

ඒක රසිකයින්ගේ ඉල්ලීම. ඇතැම් තැන්වලට ගියාම ඔවුන්ගෙන් බේරිල්ලක් නැහැ ජෝතිපාල මහත්මයාගේ ගීතයක් කියන්න කියලා. මං කොහොමද එහෙම ඉල්ලීම් අහක දමන්නේ. මං මගේ සිංදු ගයන අතරතුරදි තමයි ජෝති ගීත කියන්නේ. මගේ ගීත පමණක් කියන්න හිතාගෙන ගිය ප්‍රසංගවලදී පවා මට අන්තිමේ සිදු වෙනවා ජෝතිපාල මහත්මයාගේ ගීත ගයන්න. එහෙම වුනත් මං ගයන්නේ ජෝති ජීවතුන් අතර නැති නිසා. එතුමා ජීවත් වෙලා හිටියා නම් මං තරඟයට පමණක් ජෝති ගී ගයාවි.

ඔය පෙනුමත් එක්ක මුල් කාලයේ රංගනයට ආරාධනා ලැබුණා නේද?

ඔව්. එහෙම ආරාධනා නම් ආවා. ඔවුනට මං පැහැදිලි කළා මං ගායකයකු මිසක නළුවෙක් නෙවෙයි කියලා. මෑතකාලීනව නම් එවැනි ඉල්ලීම් ආවේ නැහැ.

මේ වන විට ගීතයක් සඳහා මියුසික් වීඩියෝවක් අවශ්‍යමද?

මගේ මතයට අනුව නම් ඕනෑ. විඩියෝවක් නිර්මාණය කළාම වාසි ගණනාවක් සිද්ධ වෙනවා. ගීත වැඩි පිරිසක් අතරට යනවා. ඒ වගේම පිටරටවල ඉන්න අපේ රසික රසිකාවන්ට අපේ නිර්මාණ හොඳින් රස විඳින්නට පුළුවන්. අනික දැන් බොහෝ දෙනෙකු හුරු වෙලා තියෙන්නේ අලුත් ගීතයක් වීඩියෝ එකක් සමඟින්ම රස විඳින්න.

සුරේන්ද්‍ර ගැන තවත් අලුත් ආරංචියක් තියෙනවා?

ඒ මොකක්ද?

ඔබ මේ වන විට පෙම්වතෙක්ලු?

ඔව්. මං ආදරයේ සුන්දරත්වය විඳිමිනුයි ඉන්නේ.

කවුද ඇය?

ඒ ගැන වැඩි විස්තර පසුවට දන්වන්නම්. එයා මේ ක්ෂේත්‍රයේ නෙවෙයි. ඒක විතරයි දැනට කියන්න පුළුවන්.

කවදා විතර ද විවාහ වෙන්න බලාපොරොත්තු වන්නේ?

ඉක්මනටම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රේමවන්තියගේ ප්‍රතිචාර කොහොමද අලුත් කොණ්ඩා මෝස්තරයට?

ඇය ඒවා ගැන මුකුත් කියන්නේ නැහැ. මට නිදහසේ ජීවත් වෙන්න ඇය ඉඩ සලස්වාදී තිබෙනවා. ඇය දන්නවා මං මට නොගැළපෙන දේවල් කරන්නේ නැහැ කියලා.

දිගටම හලාවතම ඉන්නද බලාපොරොත්තුව?

ඔව්. මට මෙහෙ ඉන්න එක ලේසියි. කොළඹ ඉන්නවට වඩා මෙහෙ ගත කරන ජීවිතය මට නම් සුන්දරයි.

විරහ ගීත රැල්ල තවම නිම වී නැහැ වගෙයි. සුරේන්ද්‍ර ඒ ගැන මොන වගේ මතයකද ඉන්නේ?

මං විරහ ගීත රැල්ල ගැන අහිතක් හිතන්නේ නැහැ. සංගීත ලෝලීන් ඉල්ලන විදිහටනෙ ගීත නිර්මාණය වන්නේ. මේ රැල්ලත් එහෙම එකක් වෙන්න ඇති. හැමෝම ඉතින් ජීවත් වෙන්නත් ඕනනෙ. නිර්මාණවලින් විතරක්ම යැපෙන අයත් ඉන්නවා. කාටවත් දොසක් හෝ නරකක් කියන්නේ නැහැ මං.

සිංහල සිනමාවට ඔබෙන් තවමත් වැඩක් ගත්තේ නැහැ කියලා කවුරු හරි කිව්වොත්?

මට එයට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ඇතැම් අධ්‍යක්ෂවරුන්ට මගේ හඬ සිනමාවට ගන්න දැඩි වුවමනාවක් ඇති. ඒත් කොහොමෙන් කොහොම හරි මාව සම්බන්ධ කරගන්න අමාරු වුණා වෙන්න පුළුවන්. සමහරු කෝල් කරනවා පමණයි. තව අය කෝල් කරලා මං අහවලා කියලා පොඩි මැසේජ් එකක් දානවා. එතකොට කෝල් මිස් වුණත් අපට ආයේ මැසේජ් එක බලලා කෝල් බැක් කරන්න හැකියාව තිබෙනවා. එහෙම වුණත් සමහර අධ්‍යක්ෂකවරුගේ අවස්ථා මිස් වෙනවා. මං හිතන්නේ මගෙන් සිනමාවට වැඩක් ගන්න බැරි වෙන්න ඇත්තේ ඔය වගේ කරුණු කාරණා මත.