වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රුක්මණී 40 වන ගුණ සැමරුම

රුක්මණී 40 වන ගුණ සැමරුම

දිව්‍ය පූජාවක් සහ උපහාර උලෙළක්

රුක්මණී දේවිය වියෝ වී එළඹෙන 29 වැනි දිනට වසර 40 ක් සපිරේ. ඒ වෙනුවෙන් කෙරෙන දිව්‍ය පූජාවක් එදින සවස 3.00ට මරදාන ෆාතිමා දේවස්ථානයේදී පැවැත්වේ.

මට්ටක්කුලියේ ද මෙසනඩ් ආයතනයේ අධ්‍යක්ෂක ගරු ඇන්ජලෝ විජේවික්‍රම පියතුමා දිව්‍ය පූජාව සිදු කරනු ලබයි. මෙය රුක්මණී අනුස්මරණ සංගමයේ සංවිධානයකි. රුක්මණී දේවිය අනුස්මරණය කරනු වස් 'අමරණීය රුක්මණී' නමින් උපහාර උලෙළක් එදින සවස 6.00 ට මරදාන ටවර් රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා සකල කලා සංසදය කටයුතු යොදා ඇත. මේ වර්ෂිකව පවත්වනු ලබන උපහාර උලෙළකි. එය ප්‍රවීණ ජනප්‍රිය නළු නිළියන්ගේ ගායන, රංගන, නර්තනයෙන් 'මැවිලා පෙනේවි රූපේ' සංගීත සන්ධ්‍යාව පවත්වනු ඇත. ඒ සඳහා රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, නීටා ප්‍රනාන්දු, ජානකී කුරුකුලසූරිය, උපාලි කන්නන්ගර, කමල් අද්දරආරච්චි, ඉෂාක් බෙග්, එච්. ආර්. සොයිසා, සරත් රොද්‍රිගු, සදම් පෙරේරා සහභාගී වනු ඇත.


සුනිල් සරත් පෙරේරා ආලකමන්දාවට ගොඩ වෙයි

මෙම මස 30 වැනිදා රාත්‍රී 10.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වන ආලකමන්දාව වැඩ සටහන වෙන් වනුයේ ප්‍රවීණ ගීත රචක, ගත් කතුවර සුනිල් සරත් පෙරේරා වෙනුවෙනි. ඔහුගේ අඩ සියවසක කලා ජීවිතය පිළිබඳ මෙහිදි කතාබහ කෙරෙනු ඇත. ආලකමන්දාවෙහි පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙනි. විනීතා කරුණාරත්න මෙහි නිෂ්පාදකවරියයි. ආලකමන්දාව රූපවාහිනියේ ශ්‍රව්‍යදෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීමකි.


කුමාරි ගී මතක සිහිපත් කරයි

දෙරණ නාලිකාවේ නොවැම්බර් 01 වැනිදා විකාශය වන ගී මතක වැඩ සටහන සඳහා එක් වනුයේ නිවේදිකාවක, ගායන ශිල්පිනියක ලෙසින් මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වූ කුමාරි පෙරේරායි. නුර්ති, ග්‍රැමෆෝන් සහ ඒවාහි නව නිර්මාණ මෙදින ඇය විසින් ඉදිරිපත් කරනු ලබයි. ගී මතක වැඩසටහනේ සංගීත සංයෝජන රංජිත් යාපා ද අල්විස්ගෙනි. සංගීතය මෙහෙයවනු ලබන්නේ විශාරද සිදත් සෝමසුන්දරයි.


ධවල ඡායා

'ඕලන්ද සිරකරුවකුගේ ලංකා චාරිකාව' කෘතියෙන් ග්‍රන්ථ රචනයට පිවිසි පාලිත ජයකොඩිගේ අලුත්ම නවකතාව 'ධවල ඡායා' මෙම මස 30 වෙනිදා උදේ 10.00 ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.

'ධවල ඡායා' 1840 ගණන්වල ලංකා සමාජය හරහා ඇදී යන කෘතියකි. පාවාදෙන්නන් නිසා අසාර්ථකව ගිය තවත් එක් සිංහල කැරැල්ලක් අතරවාරයේ ලංකාවට සේන්දු වූ තරුණ එංගලන්ත පුවත්පත් කලාවේදියකු මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීම් සමුදාය මේ ඡායා ගොන්න අතර සැඟව තිබේ. පාවාදෙන්නන් හා හිත හොඳ මිනිසුන් අතර දෝලනනය වන ධවල ඡායාව ත්‍රාසය ද, කුතුහලය ද, ගැමි දිවි පෙවත ද හරහා වැටෙන්නේ සුන්දර ආදර කතාවකින් ද අලංකාරවත් වෙමිනි.


විවෘත ප්‍රසංගයක්

තුසිත තන්තිරිගේ විසින් ඉදිරිපත් කරනු ලබන 'ස්ක්‍රින් ටී ඇන් මියුසික්' ගීත ගායනා ප්‍රසංගය කඩුවෙල කොරතොට රජ මහා විහාර භූමිය අසලදී එළඹෙන 26 වන දින සවස පැවැත්වේ.

ගායනය, නර්තනය, රංගනය ඇතුළුව විශේෂ දක්ෂතාවයන් දක්වන ඕනෑම අයකුට කැමති භාෂාවකින් මේ සඳහා ඉදිරිපත් විය හැකිය. ඒ සඳහා ඔබ ඉදිරිපත් වන්නේ නම් පහත දුරකථන අංකයට තමන් කැමති ගීතය 0714166660 යන දුරකථන අංකය හරහා ඉර්ඉ මඟින් යොමු කළ හැකිය.